“නුවරඑළියේ ගොවීන් වන අපට වගා කරන්න පුළුවන් කැරට්, බීට්, ලීක්ස්, ගෝවා, අල කියන ප්‍රධාන එළවළු කිහිපයක් පමණයි. අපට වී වගා කරන්න බැහැ. පහතරට එළවළු හිටුවන්නත් බෑ. නමුත් දැන් කාලෙක ඉඳන් පහතරට පළාත්වල වගේම උඩරට නුවරඑළියෙන් තරමක් දුර පිහිටි කැප්පෙටිපොළ, බදුල්ල, ඇල්ල වගේ වෙනත් බෝග සහ කුඹුරු වගා කළ ගොවීනුත් සුපුරුදු ගොවිතැනින් ඈත්වෙලා කැරට්, බීට් ගෝවා වගා කරන්න පටන් අරන්. ඒ විතරක් නොවේ. ඉස්සර දුම්කොළ වගා කරපු පුත්තලමෙ ගොවීනුත් කැරට්, ගෝවා වගා කරන්න පටන් අරන්. මේ නිසා සිදුවන්නේ එළවළුවලට නිසි මිලක් නොලැබීමයි. ඒකෙන් පුත්තලමේ ගොවියාත් අමාරුවේ වැටෙනවා. මම කියන්නේ ඒ ඒ පළාත්වලට හොඳින් වැවෙන ආවේණික බෝග වගා කළොත් තමයි වඩාත් සුදුසු වන්නේ.”
දේශයට එලෙස අදහස් දැක්වූයේ නුවරඑළියේ එළවළු ගොවි මහතකු වන අනුර ජයන්තය. ඔහු එළවළු වගාවට එළැඹ ඇත්තේ 1986 සිටය.
නුවරඑළිය එළවළු වගාවේ අනිවාර්ය සාමාජිකයන් වන්නේ කැරට් සහ ලීක්ස් ය. අමතරව බීට්රූට්, රාබු, සලාද, ගෝවා, නෝකෝල් වගාවත් සිදුවේ. ඊට අමතරව චීන ගෝවා (පච්චෝයි, නපා), මල් ගෝවා, බෘකෝලි, බ්‍රසල්ස් ස්ප්‍රවුට් වගේ බෝගත් වගා කෙරේ.
නුවරඑළිය අද දැඩි ඉඩම් හිඟයකින් පෙළෙන පෙදෙසකි. කිකිලියමාන, හක්ගල, ගැල්වේස්ලෑන්ඩ් වැනි රක්ෂිත වනාන්තර කිහිපයක් ද මෙහි පවතී. වගාබිම් පැතිර තිබෙන්නේ නුවරඑළිය නගරය අවට, කඳපොළ, සීතාඑළිය, මහගස්තොට, අඹේවෙල, කුඩාඔය, හයිෆොරස්ට්, රාගල වැනි පෙදෙස්වලය. කඳුබෑවුම්වල දැඩි වෙහෙසක් සහ වියදමක් දරා සකස් කළ වගාබිම්වල ක්‍රමානුකූලට එළවළු වගා කිරීම දක්නට ලැබේ. අලංකාරව දිස්වන කැරට් සහ ගෝවා යායන් මේ අවට දැකගත හැකිය.
“නුවරඑළියෙ එළවළු ලස්සනට වැවෙනවා. මේව දැකලා පහතරට ගොවියොත් ඒ එළවළුවලට ආස හිතිලා වගා කරන්න පටන් ගත්තා. මේවා සමබරව වගා කිරීමට උපදෙස් දිය යුත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයයි. එතැන නිලධාරින් කොච්චර ඉන්නවාද? අපට නම් ක්ෂේත්‍ර නිලධාරින් ඇවිත් වගා උපදෙස් දීලා නැහැ. වැලිමඩ, කැප්පෙටිපොළ පැත්තේ කුඹුරුවල දැන් විශාල වශයෙන් කැරට් හිටවනවා. මේවා ප්‍රමිතියට හැදෙන්නෙ නෑ. එවිට මිල බහිනවා.” අනුර වැඩිදුරටත් කීවේය.
පහතරට වී ගොවීන් එම වගාවෙන් ඉවත් වී නුවරඑළියට ආවේණික වූ කැරට්, ගෝවා, බිට්රූට් වැනි එළවළු දෙමහුන් බීජ භාවිත කරමින් වගා කිරීම නිසා උඩරට ගොවීන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට උඩරට ගොවීහු රාශියක් පවසා සිටිති. නුවරඑළියේ කඳපොළ ගොවියකු තම අදහස් පැවසුවේ මෙසේය:
“නුවරඑළියේ එළවළු වවන ගොවීන්ට කිසිම සහනාධාරයක් රජයෙන් ලැබෙන්නේ නෑ. නුවරඑළිය ප්‍රදේශයේ කවදාවත් වී වගා කරන්න බැහැ. වැලිමඩ ඇතුළු ප්‍රදේශවල ගොවීන් එයාලට ලැබෙන පොහොර සහනාධාරයෙන් වී වගා කරන්නේ නැහැ. ඒ වෙනුවට අපට ආවේණික වුණු එළවළු වගා කරන එකෙන් වෙන්නේ අපේ එළවළුවලට ස්ථාවර මිලක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවීමයි.
ඉස්සර නුවරඑළිය ජනතාව වගා කළේ හොඳ තත්ත්වයෙන් තිබෙන බීජ. ඒවා නුවරඑළියේ විතරයි සරුවට වැවෙන්නේ. නමුත් දැන් තියෙන දෙමුහුන් බීජ ඕනෑම තැනක වැවෙනවා. දේශගුණය ඒවාට බලපාන්නේ නෑ. සහල්වලට නිසි ස්ථාවර මිලක් නොමැති නිසා තමයි පහතරට ගොවියොත් දැන් උඩරට එළවළු වවන්න පටන් අරන් තිබෙන්නේ.
“මේකෙන් සිදුවන්නේ විශාල හානියක්. එළවළුවල මිල සීඝ්‍රයෙන් කඩා වැටෙනවා. අපට නිෂ්පාදන වියදමවත් හොයාගන්න අමාරු වෙනවා. ඒත් එක්කම ලංකාවේ පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් නිෂ්පාදනය අඩුවීමෙන් පිටරටින් හාල් ගෙන්නලා වැඩි මිලට හාල් මිලදී ගන්න අපටම සිදු වෙනවා.
හාල් කිලෝවක් මිලදී ගන්න නුවරඑළියේ කැරට් කිලෝ හතරක් විකුණන්න වෙලා තියෙන ශෝචනීය තත්ත්වයකට අපි දැන් පත්වෙලා ඉන්නේ. මේක ටික කලකට ඉස්සර සිදුවුණේ නෑ. ඒ කාලෙ මෙහෙ එළවළුවලට හොඳ මිලක් ලැබුණා. ඒවා පහතරට ජනතාවට පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාවත් ලැබුණා. කිසිම සහනාධාරයක් නැතුව විශාල වියදමක් දරලා බෝග වගා කරලා අපට තුට්ටුවට දෙකට දෙන්න වෙලා තියෙනවා. මේක හරිම කනගාටුදායක සිද්ධියක්.
පහතරට ගොවීන්ට අපට තරම් ගැටලුවක් මතුවන්නෙ නෑ. ඔවුන්ට පොහොර සහනාධාරයට පොහොර ටික හරි ලැබෙන හින්දා. වත්මන් කෘෂිකර්ම ඇමැති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් අප ඉල්ලා සිටින්නේ පහතරට ප්‍රදේශවල වී වගාව අනිවාර්ය කර අපට ආවේණික එළවළු අපට බලන්න අවශ්‍ය වාතාවරණය සකසා දෙන ලෙසයි. එසේ නොමැති නම් පහතරට ගොවීන්ට වගේම අපටත් සහනාධාර ලබා දෙනවා නම් අපි ඒ වැඩසටහන අගය කොට සලකනවා.සම්පූර්ණයෙන් අපට සහනාධාරයක් දෙන්න බැරි වුණත් සීයට පනහක පොහොර සහනාධාරයක් ලබා දෙනවා නම් වත්මන් ආර්ථික තත්ත්වය හැටියට අපට ලොකු උදව්වක්.” ඔහු වැඩිදුරටත් විස්තර කළේය.
ඊට අමතරව අනුර ජයන්ත අප සමඟ කීවේ තේවතුවල එළවළු වැවීමට ඉඩම් බදු දීම නිසාත් අලුත් එළවළු වගාබිම් බිහි වී එළවළු සැපයුම ඉහළ ගොස් මිල අඩුවන බවය. අඹේවෙල, කඳපොළ, මීපිලිමාන, පට්ටිපොළ, ශාන්තිපුර වැනි පෙදෙස්වල තේවතුවල ඉඩම් එසේ බදු දී තිබේ. ඔහු පවසන්නේ ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් නිෂ්පාදනවලට හිමිවිය යුතු බවයි.
එදිනෙදා පරිභෝජනය කරන ආහාර ද්‍රව්‍යවලින් උඩරට එළවළුවලට විශාල තැනක් ලැබිලා තියෙන්නේ ආහාර රටාවේ ඇතිවුණු වෙනස්කම් නිසාය. දැන් අපි කන එක වේලක හෝ උඩරට එළවළුවක් අන්තර්ගත වනු දැකගත හැකිය. දශක කිහිපයකට පෙර මේ තත්ත්වය වෙනස් ආකාරයක් පෙන්නුම් කළේය. පහතරට එළවළු වගාව එකල වැඩිපුර පැතිර තිබුණි. මෑ, බෝංචි, තක්කාලි, බණ්ඩක්කා, පතෝල, වැටකොළු, බටු වැනි පහතරට එළවළු මිලත් අද ඉහළ ගොසිනි. සමහර අවස්ථාවල උඩරට එළවළු ඊට වඩා අඩු මිලට ලබාගත හැකි නිසා පාරිභෝගිකයෝ ඒවා මිලදී ගනිති.
පාරිභෝගික ජනතාවට අවශ්‍ය හැකි තරම් අඩු මිලට එළවළු මිලට ගැනීමටය. අද වැඩිවන එළවළු මිල හමුවේ වැඩි දෙනෙක් පරිප්පු කන සමාජයක් බිහිව තිබේ. ඉඩම් හිඟය, තමන්ට ඇති සීමිත සම්පත්වලින් උපරිම ඵල නෙලා ගැනීම සඳහා උඩරට ගොවියා විශාල මහන්සියක් දරති. පහතරට ගොවියාට ලොකු ඉඩම් හිඟයක් නැත. එහි කුඹුරු ඉඩම් බහුලව තිබේ. මේ නිසා කුඹුරු පහසුවෙන් එළවළු වගාබිම් බවට හැරවීම සිදුවේ.
නුවරඑළිය ගොවීන්ගේ විරෝධය ගැන දැන ගැනීමට අප කතා කළේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂටය:
“ගොවීන් මේ විදිහට විරෝධය දක්වන්නේ ඔවුන්ට මුහුණදීමට සිදුව ඇති ප්‍රශ්න ගණනාවක් නිසයි. ඔවුන් එය දකින්නේ නුවරඑළියේ එළවළුවලට නිසි මිලක් නොලැබීමට හේතුව වෙනත් ප්‍රදේශ වගාවට එළඹීම කියලයි. නමුත් මේ ගැටලුවේ පැති ගණනාවක් තිබෙනවා.
ලංකාවේ කෘෂි බෝග සැලසුම් සහ වගාවේ කාලරාමුව ගැන රජයේ අදාළ ආයතනවලින් නිසි සම්බන්ධීකරණයක් සිදු වන්නේ නෑ. ආණ්ඩුවේ කෘෂි ප්‍රවර්ධන වැඩසටහන් තෝරාගත් ප්‍රදේශ කිහිපයක පමණයි සිදුවන්නේ. කෘෂි නිලධාරීන් වගා වැඩසටහන් හදලා තිබෙන්නේ. නමුත් ඒවා ක්‍රියාත්මක වන්නේ නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අතර අන්තර් සම්බන්ධතාවක් නෑ. මේ ආයතන දෙක ඒකාබද්ධ වගා වැඩසටහනක් සකස් කළ යුතුයි. එවිට ගොවියාට තම එළවළුවලට සාධාරණ මිලක් වගේම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට එළවළු ලබාගැනීමට හැකියාව ලැබේවි. ලංකාවේ කෘෂි වෙළෙඳපොළේ සහතික මිල ගැන ගැටලුවක් තිබෙනවා. මිලේ විකෘතියක් තිබෙන්නේ. මේ මිල ගොවියාට වගේම පාරිභෝගිකයාට සාධාරණ වන්නේ නෑ.”
ලංකාවේ එළවළුවලට බලපා ඇත්තේ නිසි පාලනයකින් තොරව සිදුවන ගොවිතැන බව පෙනේ. කල්පිටිය, පුත්තලම මෙන්ම හම්බන්තොට, ලුණුගම්වෙහෙර වැනි ප්‍රදේශවලත් අද උඩරට එළවළු වගාව ව්‍යාප්ත වෙමින් පවතී. එයට හේතුව පහතරට කෘෂිබෝගවලට සාධාරණ මිලක් නොමැතිවීමයි. පසුගිය කාලයේ කහ වගාව විශාල වශයෙන් කළ විට සිදුවූයේ කහවලට මිලක් ලබාගත නොහැකිවීමයි. විකුණාගත නොහැකි එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලින්ට කෑමට ඉවත දැමීම සාමාන්‍ය සිද්ධියක් වී පවතී. උඩරට එළවළු මෙන්ම පහතරට එළවළු ද අධිකව පැමිණි විට මිල පහළ බසී. අන්තිමට සිදුවන්නේ ප්‍රවාහන වියදමවත් පියවාගත නොහැකිව ගොවියා අසරණ වීමයි. කෙතරම් මිල අඩුවුවත් පාරිභෝගිකයාට අඩු මිල හිමි නොවන්නේ අතරමැදියා විසින් මිල මෙහෙයවන නිසාය. කෘෂි වගාව සැලසුමකින් කිරීමෙන් සහ අතරමැදියාගේ අධික ලාභය පාලනය කිරීමෙන් ගොවියා මෙන්ම පාරිභෝගිකයාත් ආරක්ෂා වන බව අපගේ හැඟීමයි.
• කුසුම්සිරි විජයවර්ධන