සුප්‍රකට ඉන්දියානු ව්‍යාපාරිකයකු, කර්මාන්තකරුවකු, හා දානපතියකු වූ රතන් ටාටා 2024 ඔක්තෝබර් 9 දින තම දිවි සැරිය අවසන් කර තිබේ. 1990 සිට 2012 දක්වා ටාටා ගෲප් සහ ටාටා සන්ස් හි සභාපති ලෙසත්, 2016 ඔක්තෝබර් සිට 2017 පෙබරවාරි දක්වා අන්තර්කාලීන සභාපති ලෙස ද කටයුතු කළේය. කලක් රෝගාතුරව සිටි ඔහු මිය යන විට 86 වැනි වියේ පසු විය.
ටාටා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූයේ ජම්ෂෙඩ්ජි ටාටාය. ඔහුගේ ප්‍රත්‍රයා වූ රතන්ජි ටාටා විසින් දරුකමට හදාගත් නේවල් ටාටා රතන් ටාටාගේ පියා විය. 1937 දෙසැම්බර් 28 වැනි දින බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ බොම්බායේ, පාර්සි සොරොස්ට්‍රියානු පවුලක උපත ලද රතන් ටාටා දස හැවිරිදි වියේ දී ඔහුගේ මාපියන් වෙන් වූ අතර, පසුව ඔහුව හදා වඩා ගත්තේ නවාජ්බායි ටාටා නොහොත් රතන් ජි ටාටාගේ වැන්දඹුව විසිනි.
1955 දී උසස් පාසලින් ප්‍රථම උපාධිය හිමිකරගත් රතන් ටාටා කෝනෙල් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර, 1959 දී ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය හිමිකර ගත්තේය. කීර්තිමත් ව්‍යපාරිකයකු ලෙස සමාජයේ වැජඹි ඔහු තමන් උපාධිය ලද විශ්වවිද්‍යාලය අමතක කළේ නැත. 2008 දී කෝනෙල් විශ්වවිද්‍යාලයට ඩොලර් මිලියන 50 ක් පරිත්‍යාග කළේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ විශාලතම ජාත්‍යන්තර පරිත්‍යාගශීලියා බවට පත් වෙමිනි.
ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය අත ඇතිව යළි ඉන්දියාවට පැමිණි රතන් ටාටා 1961 දී ටාටා සමාගමට එක් වූ අතර ආරම්භයේ දී ටාටා ස්ටීල් ආයතනයේ සේවකයෙක් ලෙස කටයුතු කළේය. 1970 දශකයේ ඔහුට ටාටා සමූහයේ කළමනාකාර තනතුරක් හිමි විය. 1991 දී, ජේ.ආර්.ඩී. ටාටා, (ටාටා සන්ස්) සමූහයේ සභාපති ධුරයෙන් ඉවත් වූ අතර, ඔහු තම අනුප්‍රාප්තිකයා ලෙස නම් කළේ රතන් ටාටාය. ජේ.ආර්.ඩී. ටාටාගේ නිල කාලය යටතේ විශාල මෙහෙයුම් නිදහසක් ලද විවිධ අනුබද්ධ සමාගම්වල ප්‍රධානීන්ගෙන් ටාටා හට දැඩි ගැටලු ඇති විය. ඊට ප්‍රතිචාර වශයෙන්, ටාටා විසින් විශ්‍රාම යන වයස නියම කිරීම, අනුබද්ධ ආයතන සෘජුවම සමූහ කාර්යාලයට වාර්තා කිරීම සහ ටාටා සමූහ සන්නාමය ගොඩනැගීම සඳහා අනුබද්ධිත සමාගම් තම ලාභය ලබාදිය යුතු බවට තීන්දු කරමින් තම බලය තහවුරු කිරීමට ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාවට නැංවීය. ටාටා නවෝත්පාදනයට ප්‍රමුඛත්වය දුන් අතර තරුණ දක්ෂයන්ට බොහෝ වගකීම් පවරන ලදී. ඔහු සාර්ථක ආයෝජකයකු වූ අතර විවිධ සමාගම් 30 ක් පමණ ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඔහුගේ නායකත්වය යටතේ, අනුබද්ධ සමාගම් අතර මෙහෙයුම් විධිමත් කරන ලද අතර, සමූහය ගෝලීයකරණයට සම්බන්ධ නොවන ව්‍යාපාරවලින් ඉවත් විය.
එයාර් ඉන්දියා ගුවන් සමාගම ද ටාටා සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමකි. එය කලින් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ හිමිකාරීත්වය යටතේ මධ්‍යම රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක් විය. එයාර් ඉන්දියා, ඉන්දියන් එයාර්ලයින්ස් සහ එලායන්ස් එයාර් ඒකාබද්ධ කිරීම, අධීක්ෂණය කිරීම සඳහා එය සීමාසහිත ඉන්දියාවේ ජාතික ගුවන් සේවා සමාගම ලෙස 2007 මාර්තු 30 දින සංස්ථාගත කරන ලදී. එය 2010 ඔක්තෝබර් 26 දින එයාර් ඉන්දියා ලිමිටඩ් ලෙස නැවත නම් කරන ලදී.
එයාර් ඉන්දියා ලිමිටඩ් පෞද්ගලීකරණය කරන ලද අතර එය මිලදී ගත්තේ ටාටා සමූහ ව්‍යාපාරයයි. ඔවුහු එයාර් ඉන්දියා ලිමිටඩ් සමඟ එයාර් ඒෂියා ඉන්දියා ඒකාබද්ධ කිරීමට පියවර ගත්හ.
වසර 21 ක් ඔහු ටාටා සමූහයට නායකත්වය දුන්නේය. එම කාලය තුළ සමූහයේ ආදායම 40 ගුණයකින් වැඩි වූ අතර ලාභය 50 ගුණයකින් වැඩි කිරීමට සමත් විය. ඔහු සමාගම භාරගන්නා විට, වැඩි ආදායමක් ලැබුවේ භාණ්ඩ අලෙවියෙන් වුවද ඔහුගේ ධුර කාලය අවසානයේදී වෙළෙඳ සන්නාම රැසක් ටාටා සමාගම හා එක්ව තිබිණි. Tetley, Jaguar Land Rover සහ Corus වැනි සමාගම් රැසක කොටස් අත්පත් කරගත්තේ ඉන්දියාව කේන්ද්‍ර කරගත් ටාටා සමූහ ව්‍යාපාරය ගෝලීය සමාගමක් බවට පත් කිරීමේ උත්සාහයක් ලෙසිනි. මෙම අත්පත් කර ගැනීම් මගින් ටාටා ඉන්දියාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාර සමූහයක සිට ගෝලීය ව්‍යාපාරයක් දක්වා ව්‍යාප්ත කිරීමටද, ජාත්‍යන්තර මෙහෙයුම් සහ විකුණුම් වලින් 65% කට වඩා වැඩි ආදායමක් හිමිකර ගැනීමට ද සමත් විය.
“ටාටා නැනෝ” මෝටර් රථයේ සංකල්පය ඔහුගේ විය. එය සාමාන්‍ය ඉන්දියානු පාරිභෝගිකයාට පහසුවෙන් ලබාගත හැකි මිලකට අලෙවි කළේ වැඩි පිරිසකට මෝටර් රථයක් හිමිකර ගැනීමට අවකාශය ලබා දෙමිනි. ඉන් නොනැවතුණු ඔහු ටයිගර් විදුලි මෝටර් රථය ඉන්දියාවට හඳුන්වා දුන් අතර එහි කර්මාන්ත ශාලාවක් ගුජරාටයේ ආරම්භ කොට විශාල පිරිසකට රැකියා අවස්ථා උත්පාදනය කළේය. ඔහු තම විදුලි වාහනය පිළිබඳ සඳහන් කර ඇත්තේ “ඉන්දියාවේ විදුලි සිහිනයේ නව පිම්මක් සැබෑවීමක්” ලෙසිනි.
2012 දෙසැම්බර් 28 වැනි දින 75 හැවිරිදි රතන් ටාටා, ටාටා සමූහයේ ඔහුගේ විධායක බලතලවලින් ඉල්ලා අස්විය. එහිදී ඔහුගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් නායකත්ව අර්බුදයක් මතු විය. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ නීති අංශය, ටාටා පවුලේ ඥාතියකු සහ ටාටා සමූහයේ විශාලතම තනි කොටස් හිමියා වූ ෂාපූර්ජි පල්ලොන්ජි සමූහයේ පල්ලොන්ජි මිස්ත්‍රිගේ පුත් සයිරස් මිස්ත්‍රි පත් කිරීම ප්‍රතික්ෂේප කළේය. 2017 ජනවාරි 12 වැනි දින, නටරාජන් චන්ද්‍රසේකරන් ටාටා සන්ස්හි නව සභාපතිවරයා ලෙස නම් කෙරිණි.
ටාටා තම ධනය වෙනත් සමාගම් කිහිපයකම ආයෝජනය කර තිබුණි. ඔහු ඉන්දියාවේ ප්‍රමුඛතම ඊ-වාණිජ්‍ය වෙබ් අඩවියක් වන ස්නැප්ඩීල් හි ද, ඉන්දියානු තේ සමාගමක් වූ ටී බොක්ස්, කෑෂ්කරෝ ඩොට් කොම්, ඕලා කැබ්ස් වැනි සමාගම්වල ද ආයෝජනය කර ඇත. එමෙන්ම Xiaom නම් චීන ස්මාර්ට් ෆෝන් සමාගමහි ද Nestaway නමැති ඔන්ලයින් දේපල වෙළෙඳාම් සමාගමේ ද කොටස් ඔහුට හිමි බැව් වාර්තා විය. පරම්පරා අතර මිත්‍රත්වයන් දිරිගැන්වීමේ අරමුණින් ටාටා විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන ගුඩ්ෆෙලෝස් නම් ව්‍යාපෘතියක් ද ආරම්භ කළේය.
රතන් ටාටා අධ්‍යාපනය, වෛද්‍ය විද්‍යාව සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා විශාල ලෙස තම ධනය පරිත්‍යාග කළ අයෙකි. ඉන්දියාවේ ප්‍රමුඛතම දානපතියකු වූ ඔහු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ටාටා ශාලාව ඉදිකළ අතර සැන් ඩියාගෝහි නවීන පර්‌යේෂණ ගොඩනැගිල්ල සඳහා ඩොලර් මිලියන 70 ක් පරිත්‍යාග කළේය.
ටාටා සමූහයට අනුබද්ධ ආයතනයක් වන Tata Education and Development Trust ආයතනය මගින් ඩොලර් මිලියන 28 ක ටාටා ශිෂ්‍යත්ව අරමුදලක් පිහිටුවා ඇති අතර කෝනෙල් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඉන්දියානු සිසුන්ට ඉන් මූල්‍ය ආධාර සැපයේ. ඒ අනුව වසරකට සිසුන් 20 කට එම ශිෂ්‍යත්වය යටතේ අධ්‍යාපනය ලැබිය හැකිය.
ටාටා අවිවාහකයෙකි. වරක් තමා විවාහ නොවීම පිළිබඳව ඔහු කියා සිටියේ, “මම හතර වතාවක් විවාහ වීමට උත්සාහ කළා. ඒ සෑම අවස්ථාවකදීම මම බියෙන් හෝ කිසියම් හේතුවක් නිසා පසුබැස ගියෙමි” යනුවෙනි.
ඔහු 2008 දී ඉන්දියාවේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂන් සම්මානයෙන්ද, 2000 දී ඉන්දියාවේ තෙවැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන්ද පිදුම් ලබාඇත. දැඩි ලෙස රෝගාතුර වූ රතන් ටාටා අසාධ්‍ය තත්ත්වයෙන් බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කරන ලද අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2024 ඔක්තෝබර් 9 වැනි දින රාත්‍රියේ ජීවිතක්ෂයට පත් විය. ඔහුගේ අභාවයෙන් පසු මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කරන ලදී.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා