2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

නොක්ස්ගේ මතක රැඳි එළදැත්ත

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

පේරාදෙණියෙන් ගම්පොළ පාරේ ගොස් වැලිගල්ල හන්දියෙන් හැරුණුවිට අප පිවිසෙන්නේ උඩුනුවර පෙදෙසටය. උඩරට රාජධානියට අයත් පැරණි විහාරාරාම ඇතුළු ස්ථාන රැසක් පිහිටි උඩුනුවර කුඹුරු සහ කුඩා කඳුගැට සහිත බිම් පෙදෙසකි. කෙසෙල්, පොල්, කොස්, අඹ වැනි ගහකොළ අතරේ කැපී පෙනෙන්නේ කරාබු ගස්ය. මෙහි පිහිටි එළදැත්ත ගම්මානය තවමත් පුරාණ ස්වරූපය තරමකට හෝ රැඳී තිබෙන ප්‍රදේශයකි. එය වැලිගල්ල හන්දියේ සිට කි.මී. තුනක් දුරින් පිහිටි ගම්මානයකි. උඩරට රාජධානියේ දෙවැනි රාජසිංහ රජුගේ (1634-1686) සිරකරුවකු ලෙස සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් අපේ රටෙන් පලා යන්නේ එළදැත්තේ නිවසක් තනා පදිංචිව සිටි කාලයේදීය. අපි පසුගිය දා ගම්පොළට ආසන්නව පිහිටි ලැගුම්දෙණියට සහ එළදැත්තට ගියේ මේ ගම්වල පැතිර පවතින නොක්ස්ගේ මතක සටහන් අවුස්සා බැලීමටය.

නොක්ස් එංගලන්තයට පලා යාමෙන් පසුව ලංකාවේ සිරගත අත්දැකීම් පිළිබඳව ලියූ An Historical Relations of the Island of Ceylon නම් පොත ලංකාවේ 17 වැනි සියවසේ ජන ජීවිතය ගැන අගනා කෘතියක් ලෙස ලෝකය පුරා සම්භාවනාවට ලක්ව තිබෙන්නකි. මේ පොත ඩේවිඩ් කරුණාරත්න අතින් එදා හෙළදිව නමින් ද, ප්‍රේමචන්ද්‍ර අල්විස් අතින් නොක්ස් දුටු ලක්දිව නමින් ද පරිවර්තනය වී තිබේ. නොක්ස් සහ ඔහුගේ පියා ඇතුළු පිරිස රැගත් නැව කුණාටුවකට හසුවීමෙන් පසු අලු‍ත්වැඩියා කර ගැනීමට කොට්ටියාරම් වරායට (ත්‍රිකුණාමලය) පැමිණි අවස්ථාවේ මේ පිරිස දෙවැනි රාජසිංහ රජුගේ සිරකරුවන් බවට පත් වෙති. ඒ 1660 අප්‍රේල් 4 දායි. ඒ වනවිට නොක්ස් වයස අවුරුදු 19 ක ගැටවරයෙකි.
රොබට් නොක්ස්ගේ පියාත් සමඟ තවත් නාවිකයන් 18 දෙනකු එම නැවෙන් මෙරටට පැමිණ තිබේ. මහනුවර නගරයට කැඳවන මේ පිරිස මුලින්ම සිර අඩස්සියට පත් කරන්නේ කුරුණෑගලට නුදුරු බණ්ඩාරකොස්වත්ත නම් ගමේයි. එහිදී හටගත් උණ රෝගයෙන් නොක්ස්ගේ පියා මිය ගියේය.

ඔහු එහි නිවසක් තනා වාසය කරන අතර මහනුවර අවට තැනකට යන ලෙස යළිත් රාජ නියෝගයක් ලැබේ. ඒ ස්ථානය ගම්පොළට නුදුරු ලැගුම්දෙණියයි. ඔහු ඇතුළු ඉංග්‍රීසි සිරකරුවන්ට රජ අණ පරිදි ගම්වැසියෝ ආහාර පාන ලබාදීම් සිදු කළහ. මම එදා හෙළදිව පොත පෙරළමින් නොක්ස් ලියූ අත්දැකීම් අතරට පිවිසුණෙමි. මේ ලැගුම්දෙණිය ගැන නොක්ස් ලියන අන්දමයි:

“මෙම නගරයට පැමිණීමේදී පළමු කොට ම තුළ ඇතිවූ දුක්මුසු බව ඉතා දැඩි විය. මේ දිවයිනේ මට දකින්නට ලැබුණු ඉතාම නිසරු ස්ථානය මෙය බව කිය හැකිය. මෙම සුළු නුවර කඳු මුදුනක පිහිටියේය. අසල සෙසු නගරයක් නොවීය. එම කඳු ප්‍රදේශයෙහි වූයේ ගෙවල් 4 ක් හෝ 5 ක් පමණි. බොහෝ විට සිංහල රජතුමා හිස ගසා දමනු රිසි වූ අපරාධකාරයන් එවනු ලැබූයේ මෙතැනටය. රජතුමා විශේෂ නියමයෙන් අප මෙතැනට එව්වෙ අප බිය වද්දනට වත්දෝ හෝ යි අපට සිතිණි. (එදා හෙළදිව - පරි. ඩේවිඩ් කරුණාරත්න 323 පිට).

ලැගුම්දෙණිය ගමේ පැල්පතක සිටිමින් හිස් වැසුම් වියමින් ඒවා විකුණා මුදල් එකතු කිරීමේ යෙදී සිටි ඔහුට ටික කලක් ගතවන විට විකුණන්නට ඇති ඉඩම් කැබැල්ලක් ගැන අසන්නට ලැබේ. ඒ ලැගුම්දෙණියේ සිට මඳ දුරකින් පිහිටි එළදැත්ත නම් ගමේයි. ලැගුම්දෙණියට නොක්ස් කිසි කැමැත්තක් නොදැක්වූ නිසා ඔහු එළදැත්තේ ඉඩම මිල දී ගැනීමට තීරණය කළේය. ඒ වනවිට ඔහු සිරකරුවකු වී අවුරුදු 6-8 ක් පමණ ගත වී ගොසිනි. අර්ධ ලාංකිකයකු වෙමින් සිංහල කතා කළ මේ සුදු මිනිසා විට කෑමෙන් කහට බැඳුණු දත් දෙපෙළකින් යුක්ත විය.

ලැගුම්දෙණියේ නොක්ස් සිය මිතුරන් තිදෙනා සමඟ ජීවත් වූ ස්ථානය යැයි සලකන තැන 1908 දී ගලක කෙටූ සමරු ඵලකයක් පිහිටුවා තිබේ. පසුගිය සියවස මුලදී ඉංග්‍රීසි ආණ්ඩුවේ මධ්‍යම පළාතේ ඒජන්ත වූ ජේ.පී. ලු‍විස්, රොබට් නොක්ස් විසූ පෙදෙස් ගැන සොයා බලා මෙහි ස්මාරකයක් ස්ථාපිත කර ඇත.

එළදැත්ත පිහිටා ඇත්තේ උඩුනුවර දවුලගලට යාබදවයි. ගමේ කුඹුරු යායට පිවිසි විට ඈතින් දවුලගල ගල් පර්වතය නැගී සිටින අයුරු අපට දිස් වේ. ඇම්බැක්කේ දේවාලය මෙන්ම පැරණි එළදැත්ත වලව්ව ද මෙයට නුදුරින් පිහිටි අතර වලව්ව දැන් හෝටලයක් බවට පත්ව තිබේ. කඳු අතර නිම්නයේ පිහිටි අලංකාර වෙල්යාය ද ඇළ දොළ ද ගමේ අලංකාරය ඉහළ නැංවීමට සමත්ය. ගම්වැසියන් තවමත් අවුරුදු 350 කට පෙර සිටි නොක්ස් ගැන සඳහන් කරන්නේ මහත් ආදරයෙනි.;

එළදැත්තේ ඉඩම ලාරිස් 25 ක් ගෙවා මිලදී ගැනීමට නොක්ස් තීරණය කළේය. මේ ඔහු ඒ ඉඩම ගැන තම හැඟීම් පවසන ආකාරයයි:

“මේ ඉඩම් කැබැල්ල මගේ චිත්තාරාධනයෙහි අතිශයින්ම සමත් විය. මෙය වූ කලී තුන් පැත්තකින් කුඹුරුවලින් වටවූ ඉඩමක් විය. එම ඉඩමට අයත් කුඹුරු කැබැල්ලක් ද ඉඩමේ කෙළවර විය. ජලාශ්‍රිත වූ මේ කුඹුරු කැබැල්ල පිහිටියේ මගේ ඉඩමේ ඉදිරි පාර්ශ්වයෙහිමය. මේ ඉඩමෙහි පොල් ගස් අටක් විය. රටෙහි තිබුණු හැම පළතුරු වර්ගයකටම අයත් ගස් එහි තිබුණි. (එදා හෙළදිව - පරි. ඩේවිඩ් කරුණාරත්න, 326 පිට).

නොක්ස්ට ඒ අවට වාසය කළ මිතුරන් වූ රොජර් ගෝල්ඩ්, රැල්ෆ් නයිට් සහ ස්ටෙෆාන් රට්ලන්ට් එහි නිවෙසක් තැනීමට උදව් කළහ. මේ නිසා කෙටි කලකින් නිවස තනා ගැනීමට හැකියාව ලැබුණි. ගොවිතැන සහ සතුන් ඇතිකිරීමත් ඔහු කළේය. වසර කිහිපයකට පසු ඔහුගේ ළඟම මිතුරකු ලෙස සිටි ජෝන් ලව්ලන්ඩ් මිය යන අතර ඉන් පසු තවත් මිතුරන් දෙදෙනෙක් සිංහල කාන්තාවන් සමඟ විවාහ වීම සඳහා නොක්ස්ගෙන් වෙන්ව ගියහ. අවසානයේ එම නිවසේ ඉතිරි වන්නේ නොක්ස් සහ ස්ටීවන් රට්ලන්ඩ් පමණය. ලංකාවෙන් පැන යන අවස්ථාවේ නොක්ස් සමඟ සිටියෙත් ඔහුය.

එළදැත්ත ගම්මුන් පවසන්නේත්, පුරාවෘත්තවල සඳහන් වන්නේත්, රොබට් නොක්ස් ගොවිතැනට අති දක්ෂයකු බවයි. උඩරැටියකු ලෙස සරම ඇඳි මෙම විදේශිකයා ගොවිතැනට දැඩි කැමැත්තක් දක්වා තිබෙන බව ඔහුගේ පොතේ විස්තරවලින් අපට පැහැදිලි වේ. පුනහැල නොක්ස්ගේ කොටුවේ සිට වැටී ඇති අදත් දැකගත හැකි ගල් පඩි සහිත මාර්ගය ඔහු පවත්වාගෙන ගිය එළු ගාලට යාමට හා ඒමට භාවිත කොට තිබෙන බව පැවසේ.

“මේ පීල්ලට කියන්නේ නොක්ස් පීල්ල කියලා. ඒ කාලෙ නොක්ස් නෑවෙ මේකෙන් කියල තමයි කියන්නේ.” මඟ පෙන්වූ ගුරුවරිය දිය පීල්ලක් පෙන්වමින් පැවසුවාය. අද නම් එහි ජලය ගලා යන්නේ මඳ වශයෙනි. එයට යකඩ බටයක් සවිකර ඇත්තේ එ තුළින් ජලය ගලා යන ලෙසිනි. අතීතයේ පීල්ලෙන් විශාල ජල ප්‍රවාහයක් ගලා යන්නට ඇතැයි මට සිතුණි. ගමේ කුඹුරු යාය අද්දර පිහිටි ජල පිහිල්ලක් හඳුන්වන්නේ නොක්ස් ස්නානය කළ ජල පිහිල්ල ලෙසයි. එහි ජලය නියඟ කාලයක වුවත් නොසිඳෙන බවයි පැවසෙන්නේ. මෙකී පිහිල්ලට ගල් පොත්තකින් වැසූ ආරක්ෂිත ජල උල්පතකින් ජලය සැපයේ. විශාල ගම්වැසියන් පිරිසක් නෑමට මෙන්ම රෙදි සේදීම වැනි කාර්යයන්වලට මේ ජලය භාවිත කරනු දැකගත හැකිය.

ඒ අසල මාර්ගයට යාබදව පිහිටියේ කළුගලින් කළ සිහිවටන ටැඹකි. ඒ රොබට් නොක්ස් එළදැත්තේ ගත කළ කාලය සිහිපත් කිරීමට ඉදිකළ එකකි. එය පිහිටුවීමට මුල්ව ඇත්තේ ලැගුම්දෙණියේ නොක්ස් සිහිවටනය ඉදිකරවූ සිවිල් නිලධාරි ජේ.පී. ලු‍විස්මය.

“කුඹුරු යායට යන්න නම් මෙතැනින් පඩිපෙළ බැහැලා යන්න ඕනෑ.” අපට මඟ පෙන්වන ගුරුවරිය පැවසුවාය. අපි කොන්ක්‍රීට් පඩි බසිමින් පහළ නිම්නයේ පිහිටි කෙත්යායට පැමිණියෙමු.

මේ කුඹුරුවලට ජලය සපයමින් අවට කඳුවලින් උපත ලබනා ඇළ මාර්ගයක් ගමන් කරයි. එම ඇළ මාර්ගයේ එක් ස්ථානයක අපූරු වාරි නිර්මාණයක් දැකගත හැකිය. කුඹුරේ විශාල කමත යටින් ඇළ මාර්ගය ගමන් කරන්නේ උමං ඇළ මාර්ගයක් ලෙසයි. ඇළට මායිම් වූ උස් බිම ගෙවතු තනමින් ඈතට ඇදී යයි. මේ කමත හඳුන්වන්නේ ද නොක්ස්ගේ කමත ලෙසිනි.  ඇළ මාර්ගයට උමඟ සකස් කර ඇත්තේ කළුගල් පතුරු සක්ක ගල් සේ එකිනෙක හේත්තු කරමින් හරහට විශාල ගල් පතුරු අඩුක් කරමිනි. ඒ සඳහා කිසිම බදාමයක් භාවිත කර නොමැත. මෙම ඇළ දිගින් අඩි 163කි. එය ඇතුළෙන් කෙනකුට කොන්ද නවාගෙන ගමන් කිරීමට හැකියාව පවතී. අපගේ මිතුරකු ඇළට බැස එතුළ මඳ දුරක් ගමන් කර ආපසු පැමිණියේය. මේ ඇළ කුමන කාලයක කළ එකක් දැයි නිශ්චිත සාධකයක් නැත. ගැමියන් පවසන්නේ මෙය නොක්ස් ගොවිතැනට වතුර ලබා ගැනීමට කළ නිර්මාණයක් ලෙස වුවත් ඒ ගැන ඔහුගේ පොතේ නම් කිසිම සඳහනක් දැකගැනීමට නොහැකිය. එය පසුකාලීන නිර්මාණයක් වීමට ඉඩ තිබේ.

එළදැත්තේ සිටින ගමන් රටින් පලා යාමට සිතින් සැලසුම් කළ නොක්ස් තොප්පි වෙළෙදාමේ යෙදෙන මුවාවෙන් රට මැද අනුරාධපුරයට ගමන් කරන්නේ තම මිතුරු රට්ලන්ඩ් සමඟය. එහිදී වෙළෙඳාමට මුව මස් ලබාගෙන උඩරටට ගෙන ඒමට අවශ්‍ය බව පෙන්වා අවට ඇවිදිමින් මන්නාරමට ළඟා වීමට ඇති හැකියාව ගැන රහසේ සොයා බැලීම සිදු කරයි. ඊට පසු මල්වතු ඔය දිගේ මන්නාරම බලා ගමන් කරන නොක්ස් සහ රට්ලන්ඩ් අරිප්පුවල පිහිටි ඕලන්ද බලකොටුවට පැමිණ උදව් ඉල්ලා සිටිති. ඕලන්ද නැවකින් කොළඹට යන ඔවුන් එංගලන්තය බලා යාත්‍රා කරන්නේ 1679 වසරේ ඔක්තෝබර් මස 18 දිනයි.

(අපට මඟපෙන්වූ විදුහල්පති ඩැනියල් හීන්බණ්ඩාට ස්තුතිය හිමිවේ.)

කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : අන්තර්ජාලයෙනි