පසුගිය කාලයේ රුපියල් 390 ක් වැනි අගයක් දක්වා ඇමෙරිකානු ඩොලරය ඉහළ ගියේ මෙරට ආර්ථිකයට දරුණු පහරක් එල්ල කරමිනි. රටට අවශ්‍ය ඉන්ධන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ලබා ගැනීමට රටේ මුදල් නොමැති වූ අතර, දිගු තෙල් පෝලිම් හා විදුලි කප්පාදු රට පුරා පැවතියේය. මේ වන විට රටේ යම් ස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය වාරික නිදහස් කිරීමත් අප විසින් ගෙවීමට තිබූ දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් හේතුවෙන් එම තත්ත්වය ඇති විය.
ඔක්තෝබර් මාසය ආරම්භ වන විට බොහෝ කලකට පසු ඩොලරයේ ගැනුම් හා විකුණුම් මිල රුපියල් 300 ට වඩා අඩු මට්ටමකට පැමිණ තිබේ. ඒ අනුව මෙරට බැංකු කිහිපයක ඔක්තෝබර් 7 දින විනිමය අනුපාතික පැවතියේ මේ අයුරිනි. ලංකා බැංකුව ඩොලරයක ගැනුම් මිල රු. 290.00 ක් හා විකුණුම් මිල රු. 298.00 ක් ලෙසින්ද, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ගැනුම් මිල රු. 287.15 ක් හා විකුණුම් මිල රු. 298.75 ලෙසින්ද, සෙලාන් බැංකුව ගැනුම් මිල රු. 289.50 ක් සහ විකුණුම් මිල 298.25 ලෙසින්ද, NDB බැංකුව ගැනුම් මිල රු. 290.00 ක් සහ විකුණුම් මිල රු. 298.00 ක් ලෙසින්ද, කොමර්ෂල් බැංකුව ගැනුම් මිල රු. 288.28 සහ විකුණුම් මිල රු. 298.00 ලෙසින්ද, සම්පත් බැංකුව ගැනුම් මිල රු. 289.00 සහ විකුණුම් මිල රු. 298.50 ක් ලෙස ද පැවතියේය. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වැනිදායින් පසුවය.
ඇමෙරිකානු ඩොලරයේ නිරූපිත එතැන් (පවතින) විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී හෝ ලබාගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළෙඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් (පවතින) විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත ගනුදෙනුවල සාමාන්‍ය අගයයි. ඒ අනුව ඩොලරයේ අගය විටින් විට ඉහළ පහළ යන අතර එසේ ඉහළ පහළ යෑමට විවිධ හේතු පවතී.
ඩොලරය අවප්‍රමාණය වීමට බලපෑ සාධක කවරේද? මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා මෙලෙස සඳහන් කළේය.
“වෙළෙඳපොළ තුළ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වෙතැයි සිතා ජනාධිපතිවරණයට පෙර බොහෝ ආනයනකරුවන් කඩිනමින් ඒ සඳහා කළ යුතු ගෙවීම් සිදු කිරීමට පියවර ගත්තා. එයින් වෙළෙඳපොළේ ඩොලර් ප්‍රමාණය යම් මට්ටමකින් පහළ ගියද, මැතිවරණයෙන් පසු නව ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දිගටම කටයුතු කරන බව පැවසීම හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වීමත් සමඟ වෙළෙඳපොළ ස්ථාවර වුණා. ඒ නිසා කවුරුත් ඩොලර් තමන් ළඟ තබා ගන්නේ නැතුව එළියට දැම්මා. ඩොලරය පහළ යෑමට ප්‍රධාන හේතුවක් වූයේ එයයි. දෙවනුව පසුගිය කාලය පුරාම රටට වැසි ලැබුණු හෙයින් විදුලිය උත්පාදනය සඳහා ඉන්ධන භාවිතය සීමිත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන ආනයනය සඳහා වැය කළ ඩොලර් ප්‍රමාණයත් රටට ඉතුරු වුණා. එමෙන්ම අපේ සංචාරක කර්මාන්තය සහ අපනයන විශාල ලෙස නොවුණත් යම් මට්ටමක පැවතුණා. වීසා ගැටලුව විසඳීම නිසා ඉදිරියට ලංකාවට එන සංචාරක වෙන්කිරීම් කඩිනමින් සිදු වුණා. එම තත්ත්වය යටතේ වෙළෙඳපොළ තුළ මුදල් සංසරණය වැඩි වුණා. මෙම කරුණු තමයි ප්‍රධාන වශයෙන් ඩොලරය පහළ යෑමට හේතු වුණා. වෙළෙඳපොළේ කිසියම් අවිශ්වාසයක් ඇති වුණොත් තමයි ඩොලරය ඉහළ යෑමට බලපාන්නේ.”
ශ්‍රී ලංකාවේ ආර්ථික වෙනස්කම් පමණක් නොව වර්තමානයේ මැදපෙරදිග නිර්මාණය වී ඇති යුද තත්ත්වය සහ ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත මැතිවරණය හේතුවෙන් පොලී අනුපාතිකවල යම් වෙනසක් වීම වැනි කරුණු හේතුවෙන් අවප්‍රමාණය වූ ඩොලරය යළි ඉහළ යාම සිදු විය හැකිය. එමෙන්ම යළි මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට පියවර ගතහොත් ද එම තත්ත්වය වෙනස් විය හැකිය. එසේ නොමැති වුවහොත් මෙම තත්ත්වය යම් කාලයක් පැවතීමට ඉඩ තිබේ.
ඩොලරය පහත වැටීම මත ආනයනික භාණ්ඩවලට ගෙවන මුදල අවම වීම මත ආනයනකරුවන්ට වැඩි වාසියක් හිමි වේ. එහෙත් අපනයනකරුවන්ට යම් අවාසියක් සිදුවිය හැකිය. ඒ ඔවුනට ලැබෙන ඩොලර් ප්‍රමාණය අවම වීම හේතුවෙනි. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ නොගියොත් රුපියල ශක්තිමත් වන විට තෙල් සඳහා ගෙවන ඩොලර් ප්‍රමාණයද අඩු වනු ඇත. එය රටට සහනයකි. එය රටේ උද්ධමනය අවම වීමට ද බලපාන්නකි.
ඩොලරය පහත වැටීම විදේශ ශ්‍රමිකයන් මෙරටට එවන මුදල්වලට ලැබෙන රුපියල් ප්‍රමාණය අඩුවීමට බලපායි. එහෙත් පාරිභෝජන භාණ්ඩ මිල ද යම් ප්‍රතිශතයකින් පහත වැටෙන හෙයින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අතට ලැබෙන මුදල් ප්‍රමාණයේ යම් අඩුවක් සිදුවුවද ඔවුන්ගේ ආර්ථිකයට එතරම් බලපෑමක් සිදු නොවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු මහතා සඳහන් කරන පරිදි පසුගිය කාර්තුව තුළ සමස්තයක් ලෙස රටේ ආර්ථික දර්ශකවල යම් ධනාත්මක තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර රටට ගලා ආ ඩොලර් ප්‍රමාණය ද වැඩි වී තිබේ. ඩොලරයේ අගය අඩුවීම ආර්ථික ප්‍රගමනයේ පවතින මන්දගාමී තත්ත්වය මත ඇතිවූවක් යැයි සඳහන් කරන ඔහු විශේෂයෙන් ආනයන හා අපනයන අඩුවීම ද එයට බලපා ඇතැයි පෙන්වා දෙයි. ආනයන අපනයන පරතරය අඩුවීම ධනාත්මකව ගත නොහැකි බව පවසන ඔහු සිදුවිය යුත්තේ ආර්ථික සංවර්ධනය සහ අපනයන විශාල ලෙස වර්ධනය වීම බව පවසයි. ඩොලරයේ අගය පහත වැටීම විදේශ ආයෝජන මන්දගාමී වීමට බලපාන බවද ඔහු සඳහන් කරයි.
රටින් ගලා යන ඩොලර් ප්‍රමාණයට වඩා රටට ගලා එන ඩොලර් ප්‍රමාණය වැඩිවීම ඩොලරය පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ දේශයට ප්‍රකාශ කළේය.
“සංචාරක ව්‍යාපාරය තුළින්, විදේශ ප්‍රේෂණ තුළින් රටට ඩොලර් ආවා. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණ කාලයේ විශාල පිරිසක් ලංකාවට පැමිණියා. ඒ අනුව ඔවුන්ගෙන් ඩොලර් ප්‍රමාණයක් රටට ලැබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
අපේ අපනයන තුළින් ලොකු වාසියක් නැහැ. අපනයන ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී නැහැ. අපේ ආනයන වියදම විශාල ලෙස වැඩි වී තිබෙනවා. මේ වසරේ ඩොලර් බිලියන 3.5 ක් වැනි අගයක වෙළෙඳ ශේෂයේ හිඟයක් තිබෙනවා. එය තවදුරටත් වර්ධනය වෙමිනුයි පවතින්නේ. එහෙත් සංචාරක ව්‍යාපාරයේ ප්‍රගතිය හා විදේශ ප්‍රේෂණ රට තුළට ගලා ඒම නිසා එම තත්ත්වය කළමනාකරණය කරගත හැකියි. රුපියලේ අගය ශක්තිමත් වීම භාණ්ඩ ආනයනකරුවන්ට වාසියක් වන හෙයින් භාණ්ඩ මිල පහත වැටිය හැකියි. ඩොලරය පහත වැටීම මත ලංකාවට එන සංචාරකයන්ට වැඩි ඩොලර් ප්‍රමාණයක් වැය කරන්නට සිදු වෙනවා. මන්ද ඔවුනට පෙර මෙන් නොව ලැබෙන්නේ අඩු රුපියල් ප්‍රමාණයක්. මෙම වෙනසට සාපේක්ෂව දේශීය භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් ද පහත දැමිය යුතුයි. එසේ නොමැති වුවහොත් සංචාරක කර්මාන්තයට යම් පසුබෑමකට මුහුණ දෙන්නට සිදු වේවි. රුපියලේ අගය ස්ථාවර මට්ටමක දිගු කලක් පවත්වාගෙන යා හැකි නම් එය වැදගත්. එය තීරණය වන්නේ රටට ගලා එන ඩොලර් ප්‍රමාණය සහ රටින් ගලා යන ඩොලර් ප්‍රමාණය අනුවයි. ඒ අනුව රුපියලේ අගය කෙතරම් කාලයක් ස්ථාවරව පවතීද යන්න පුරෝකථනය කිරීම අසීරුයි.” යනුවෙනි.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා