ඇල්පිටිය පුංචි ඡන්දය පිළිබඳව යොමුවී ඇත්තේ ඉහළ අවධානයකි. ඉතා තීරණාත්මක මොහොතක පවත්වනු ලබන මෙම මැතිවරණය පිළිබඳව තතු විත්ති සොයා බැලීමට අපි තීරණය කළෙමු.
ඇල්පිටිය හුදෙකලා මැතිවරණය පිටුපස ඇති කතා අප පළමුව සරලව සලකා බැලිය යුතුය. 2018 පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී දිවයින පුරා පළාත් පාලන ආයතන සියල්ලේම මැතිවරණ පැවැත්වුණි. එදින මැතිවරණය නොපැවැත්වුණු එකම පළාත් පාලන ආයතනය වූයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවයි. ඊට හේතුව වූයේ 2018 ජනවාරි 30 වැනිදා මැතිවරණ කොමිසමට හා එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු නියෝගයකි. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ කල් ගියේය.
අනතුරුව ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සිදුවූයේ 2019 ඔක්තෝබර් 11 වැනිදාය. ග්‍රාම නිලධාරී වසම් 51 ක් පුරා ඡන්ද මධ්‍යස්ථාන 47 කදී ඡන්ද විමසීම සිදු කෙරුණු අතර පනස් තුන්දහසකට අධික පිරිසක් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී කොට්ඨාස 17 ම පහසුවෙන් දිනා ගනිමින් ප්‍රබල ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. සභිකයන් 29 දෙනකුගෙන් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභිකයන් 17 දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 7 දෙනකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 3 දෙනකුත් හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණට ආසන දෙකක් හිමි වූයේය.
ප්‍රකාශිත ඡන්දවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23,372 ක් රැස් කරගෙන තිබූ අතර, එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 10,113 ක් හිමි වී තිබුණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 5,273 ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 2,435ක් ලැබී තිබිණ. කෙසේ හෝ මෙම ප්‍රතිඵලයත් සමඟ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවනු ලැබූ අතර, එය මෙරට අනෙකුත් පළාත් පාලන මැතිවරණ හා සමාන්තර නොවන කාල රේඛාවක පිහිටියේය.
මේ අතර පළාත් පාලන ආයතනවල නිල කාලය ඉකුත් සමයේ අවසන් වූයේය. ආර්ථික අර්බුදය, මූල්‍ය ගැටලු සහ තවත් නෛතික කාරණා පෙරටු කරගත් පැවති ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ඉකුත් සමය පුරා දිගින් දිගටම කටයුතු කරමින් සිටියේය. මීට විරුද්ධ වූ පිරිස් අධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළහ. එහි ප්‍රතිඵලය වූයේ නිසි කලට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසම මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමයි. ඒ අනුව 2023 වසරේ පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කෙරිණි.
මේ වන විට ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය කැඳවා ඇත්තේ ඉහත කී සිදුවීම් දාමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම ඔක්තෝබර් 14 සිදුවනු ඇති අතර, එදිනට තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන අය සඳහා ඔක්තෝබර් 18 වැනිදා දිනය ද වෙන්කොට තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීම අවසන් වූයේ සැප්තැම්බර් 12 වැනිදාය. ඒ වන විට පිළිගත් දේශපාලන පක්ෂ දහයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර තිබූ අතර ඉන් පක්ෂ නවයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා ඉදිරිපත් කර තිබිණි. ඉන් ඇප තැන්පත් කර තිබූ ප්රජාතන්ත්රවාදී ජාතික කොංග්‍රසය නියමිත වේලාවට පසුව පැමිණි නිසා නාමයෝජනා දීමට නොහැකිව ආපසු හැරී ගිය බවත් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා අතරින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හා චමින්ද ප්‍රසාද් උදය කුමාර ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වූ බවත් තේරීම් භාර නිලධාරීවරයා නිවේදනය කොට තිබුණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග කරන පක්ෂ සහ කඳවුරු පිළිබඳව සියුම්ව අධ්‍යයනය කිරීම වටියි. ඇතැම් දේශපාලන කඳවුරු ඉදිරි මහ මැතිවරණය සඳහා ඇල්පිටිය මැතිවරණය පරීක්ෂණාගාර මීයකු බවට පත්කර ගැනීමට සූදානම් වන බව පෙනී යයි. මෙම මැතිවරණය සඳහා තරග කරන පිළිගත් දේශපාලන පක්ෂ වනුයේ ජනසෙත පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ජාතික ජන බලවේගය, ජාතික ජනතා පක්ෂය හා දෙවැනි පරපුර පක්ෂයයි.
එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් කිරීම සුවිශේෂී තත්ත්වයකි. එසේම පොහොට්ටුවෙන් බිඳී රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය සමඟ එක්වූ කණ්ඩායම ද මෙම මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටීම ද කැපී පෙනෙන තත්ත්වයකි. එම කඳවුරේ පළමු අත්දැකීම මෙයයි. සිය දේශපාලන බලය පිළිබඳ ගණන් තබා ගැනීමට මෙම මැතිවරණය ඔවුන්ට උපකාරී වනු ඇතැයි පෙනී යයි.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය මෙම මැතිවරණයේදී කැපී පෙනෙන උත්සාහයක නිරත වන බව වාර්තා වී තිබේ. ඉකුත් ජනාධිපතිවරණයේදී ලද පරාජයන් නැවත හරවා ගැනීමේ වෑයමක ඔවුහු නිරතව සිටිති. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ කඳවුරු ඇල්පිටිය වෙත සිය පූර්ණ බලය යොදවන බව ඉතා පැහැදිලිය. ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රතිඵලය ඉදිරි මහ මැතිවරණය කෙරෙහි යම් බලපෑමක් ඇති කරනු ඇති බව ඔවුහු විශ්වාස කරති.
ඊට අමතරව පසුගිය වර සභිකයන් දෙදෙනකු පමණක් හිමි වූ ජාතික ජනබලවේගය, ජනාධිපතිවරණයෙන් පසු කැපී පෙනෙන ඉදිරියක් ලබා ගනිමින් සිටින බවද පෙනී යයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී බෙන්තර-ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ජය ලැබීය. අනුර කුමාර දිසානායක ඡන්ද 35,612 ක් ලබා ගනිමින් එම බල ප්‍රදේශය ජය ගැනීමට සමත් විය. ඊට අමතරව පිළිවෙළින්, සජිත් ප්‍රේමදාස – 19,733, රනිල් වික්‍රමසිංහ - 11,595, නාමල් රාජපක්ෂ – 2,571, දිලිත් ජයවීර – 822 වශයෙන් බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයෙන් ඡන්ද ලබා ගැනීමට සමත් විය.
අවසන් ප්‍රතිඵලයට සාපේක්ෂව ජාතික ජනබලවේගය ඇල්පිටියේදී දාහතර ගුණයකින් පමණ ඉකුත් ජනාධිපතිවරණයේදී සිය ඡන්ද ප්‍රමාණය වර්ධනය කර ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පුද්ගලානුබද්ධ මෙම මැතිවරණයේදී ප්‍රතිඵලය එයම වේ ඇයි තහවුරු කොට දැක්වීම පහසු නැත. එහෙත් සැලකිය යුතු බලපෑමක් එම ප්‍රතිඵලය විසින් ඇල්පිටිය පුංචි ඡන්දයට සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගත් කල මෙය ඉතා තීරණාත්මක මැතිවරණයක් බව අවසානයේදී සනිටුහන් කළ යුතුය. ජාතික මැතිවරණ දෙකක් අතරම සිදුවන මහජන මතය උරගා බැලීම, ජන මතය කෙරෙහි වූ සමීක්ෂණ වාර්තා අප වෙත සපයනු ඇතැයි අපේක්ෂා කරමු.
• චමිඳු නිසල් ද සිල්වා