විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට මෙරටට වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය ස්ථාපිත කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසිනි. නීත්‍යානුකූල විදෙස් සම්ප්‍රේෂණ රට තුළට ලබා ගැනීමේ අවශ්‍යතාව සහ මෙරටට රථවාහන ආනයනය නතර කිරීමෙන් අනතුරුව උද්ගත වූ තත්ත්වයන් මත මෙම ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලට හානියක් නොවන පරිදි රථවාහන ආනයනය කිරීම මෙහි පැහැදිලි අරමුණ විය. එහෙත් පසුගිය සතිය වන විට වාර්තා වී තිබූ පරිදි රටවිරු බලපත්‍ර හරහා ද බරපතළ ගණයේ වංචාව සිදුව තිබේ. අපි මේ පිළිබඳව සොයා බැලීමක් සිදු කළෙමු.
විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ වශයෙන් විද්‍යුත් වාහන පමණක් ආනයනයට බලපත්‍ර ලබා දීමෙන් වරප්‍රසාද සැලසීමට මෙම ක්‍රමවේදය ඉකුත් කාලය පුරාවටම සිදුවිය. ඒ අනුව පළමුව විද්‍යුත් වාහන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයන් විසින් 2022 මැයි 01 වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ හිමිය.
නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදෙස් විනිමය මෙරටට සම්ප්‍රේෂණය වීම හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑමක් සිදුවීම වළක්වා ගැනීම සඳහා විකල්ප යෝජනාවක් ලෙස මෙම ක්‍රමවේදය භාවිතයට ගැනිණි. මෙම ක්‍රමවේදය යටතේ විදෙස්ගත ශ්‍රමිකයන් තම ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දීමට පියවර ගැනුණි.
තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී, ඇ.ඩො. 20,000 ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට ප්‍රේෂණය කර ඇති ශ්‍රමිකයන්ට රු. මිලියන 12 දක්වා සුඛෝපභෝගී මෝටර් රථ බදු සහනය ලබා දී ඇති බවයි. මෙය 2023 පෙබරවාරි 10 ගැසට් පත්‍රයෙන් මුල් වරට ක්‍රියාත්මක විය. ඒ අනුව යෝජනා ක්රමයේ කාලය 2023 මැයි 31දින නිකුත් කළ ගැසට් පත්‍රය, 2024 ජනවාරි 24 ගැසට් පත්‍රය මගින් තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කොට තිබුණි. මේ පිළිබඳ ගැටලුව නිර්මාණය වූයේ මෙම ක්‍රමවේදය නැවතත් දීර්ඝ කිරීමට ඉකුත් රජය ගනු ලැබූ උත්සාහ හරහාය.
මේ අනුව මෙම වසරේ අප්‍රේල් මාසය පමණ වන විට මෙම ක්‍රමය පිළිබඳ ගැටලු වාර්තා වන්නට විය. විදේශ ප්‍රේෂණ සැලකිය යුතු මට්ටමින් ලැබී තිබේද, නොඑසේනම් යම් යම් පුද්ගලයන් කිහිප දෙනකු මෙම පහසුකම අවභාවිත කර තිබේද යන්න පිළිබඳව රාජ්‍ය මුදල් කාරක සභාවේදී පවා සාකච්ඡාවට ලක් විය. මෙම තොරතුරු ක්‍රමයෙන් අනාවරණය වෙමින් පැවතිය ද වගකිවයුත්තෝ ඊට ප්‍රමාණවත් අවධානයක් ලබා නොදුන්හ. එය මේ මොහොතේ පවා ජනතාව තුළ නිර්මාණය කර ඇත්තේ සැකයකි.
පළමුව අනාවරණය වූ පරිදි ඉකුත් අප්‍රේල් මාසය වන විට මෙම බදු සහනය මගින් රු. මිලියන 100 සිට වාහන ගෙන්වා තිබුණි. ඒ වන විට බලපත්‍ර 1019 ක් ලබා දී ඇති බවත් ඇ.ඩො. මිලියන 109.8 ක් මේ හරහා ප්‍රේෂණ ලැබී ඇති බවත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේදී අනාවරණය විය. එසේම ලබා දී ඇති බලපත්‍රවල වටිනාකම ඩොලර් මිලියන 46 ක් බවද නිලධාරීහු පැවසූහ. මෙම ප්‍රේෂණ මුදල් එකවර ගිණුමට එක් වුවද විදෙස් ශ්‍රමිකයන්ට මෙම පහසුකම සඳහා සුදුසුකම් ලැබීම තුළ අක්‍රමිකතා සිදුවන බව මේ අනුව පෙනී ගියේය. මේ ක්‍රමය හරහා විවිධ ජාවාරම්කරුවන්ට මුදල් විශුද්ධිකරණය සඳහා ද අවකාශය සැලසෙන බවට තොරතුරු හෙළිදරව් වන්නට විය. ඒ අනුව පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වාර්තාවක් ද කැඳවීය.
කෙසේ වෙතත් මෙවර විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව තොරතුරු හෙළිදරව් වන්නේ ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයට අනුවයි. මේ වන විට නිර්මාණය වී ඇති ආන්දෝලනයට හේතුව මෙම වාර්තාවයි. ඒ අනුව පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුළු බොහෝ දෙනකු මේ පිළිබඳ කතාබහ කිරීමට පටන්ගෙන තිබේ.
මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් මේ වන විටත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාර දී ඇති බව වාර්තා වේ. නිශ්චිත වශයන්ම නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව පාර්ලිමේන්තු වෙත ද ඉදිරිපත් වනු ඇත. ඒ අනුව ඉදිරියේදී “රටවිරු බලපත්‍ර වංචාව” දේශපාලන ගාලගෝට්ටියක් බවට පත්වීමට ඉඩ තිබේ. එහෙත් ඉතිහාසය පුරා බැඳුම්කර වංචාව, සීනි බදු වංචාව ආදී බොහෝ වංචාවලදී සිදු වූ පරිද්දෙන් මෙම වංචාව සම්බන්ධයෙන් නෛතික ක්‍රියාවලිය යටපත් වීමට ඉඩ නොදීම නව රජයේ වගකීමකි.
ජාතික විගණන කාර්යාලය වෝහාරික විමර්ශන ආරම්භ කිරීමෙන් පසු ඉකුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රටවිරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීම දීර්ඝ කිරීමට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නිර්දේශ කළ බවද සිහිපත් කළ යුතුය.
විදේශගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි මෝටර් රථ 119 ක් ගෙන්වා ඇතැයි, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කරගෙන තිබුණි. ඉන් වාහන 75 ක්ම ගෙන්වනු ලැබ ඇත්තේ එක් ආයතනයක් මගින් යැයි එහිදී වැඩිදුරටත් හෙළි විය.
මෙම රටවිරු බලපත්‍ර වංචාව ඉතා පුළුල් වපසරියක පැතිරුණු පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වංචාවක් බව දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව පෙනී යයි. මෙහිදී වාහන ආනයන ක්‍රමවේද උල්ලංඝනය කර ඇති බවද කියැවේ. වර්තා වන පරිදි සිදුව ඇත්තේ මෙම විදුලි මෝටර් රථ ඒජන්ට් හරහා මිල දී නොගෙන ෆැසිලිටේටර් නම් පිරිසක් හරහා ගෙන්වා ඇති බවයි. උදාහරණයක් ලෙස වාහන ආනයනය කරන ෆැසිලිටේටර්වරුන් මුල් සමාගමෙන් මෝටර් රථය ලබාගෙන වෙනත් රටකට ගෙන ගොස් වටිනාකම අඩු කර නැවත ලියාපදිංචි කර තිබීමය.
මෙම ක්‍රමවේදය මගින් මෙම වාහන ආනයනයේ දී රේගුවට ලැබිය යුතු ආදායම් විශාල වශයෙන් අහිමිව ගොස් ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මෙහි යථාර්ථය දැන දැනත් නීති ප්‍රමාණවත් නැති බව කියමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම නිලධාරීන් විසින් පමා කර ඇති බවට ද මේ වන විට තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. කෙසේ වෙතත් හුදෙක් මෙය වංචාවට අදාළ එක් පුරුකක සොබාවය බව පමණක් අවධාරණය කළ යුතුය.
• චමිඳු නිසල් ද සිල්වා