2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

හතරබීරි කතාවක් වූ දූෂිත පාස්පෝට් ජරමරය

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:02 233

අභියාචනාධිකරණයේ වාරණයකට ලක්ව තිබූ ඊ පාස්පෝට් ටෙන්ඩරයේ එක් කොටසක් පසුගිය දා අධිකරණය විසින් නිදහස් කරනු ලැබුවේ මහජනතාවට නුදුරේදී මුහුණ දෙන්නට සිදුවන අපහසුතාවය හේතුවෙනි. ඒ නුදුරේදීම මහජනතාවට පාස්පෝට් නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවට නොහැකි වන බැවිනි. දැනටමත් එම දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ පාස්පෝට් 5000 කට ආසන්න සංඛ්‍යාවකි. මේ නිසාම ආගමන විගමන දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව අධිකරණය විසින් පාස්පෝට් 750,000 ක් ලබා ගැනීමට අවසර ලබා දුන්නේය. ඒ ඊ පාස්පෝට් මිලියන 5 ක් ලබාදීමට ටෙන්ඩරය ලබාගත් සමාගම් දෙකටය.

පසුගිය ආණ්ඩුවේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් මෙම 750,000 ක පාස්පෝට් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා සිටියේය. එහෙත් බල හුවමාරුව හමුවේ එය යට ගොස් තිබිණි. කෙසේ වෙතත් මෙම 750,000 ක් වූ පාස්පෝට් සංඛ්‍යාව ලබා ගැනීමට උත්සාහ කර තිබුණේ ඉතාම දූෂිත ක්‍රමවේදයකට බව පැවසේ. මෙහිදී ඊ පාස්පෝට් ගනු ලබන සමාගම් දෙක හරහා සාමාන්‍ය පාස්පෝට් ලබාගෙන තිබුණේ ඇතිවූ පාස්පෝට් හිඟය හේතුවෙනි.

එහෙත් එම හිඟය ඇතිකර තිබුණේ ද එකී සමාගම් ද්විත්වයයි. එම සමාගම් 2024 ජූලි මාසයේදී ඊ පාස්පෝට් ලබාදෙන බවට තහවුරු කර තිබුණි. එහෙත් පොරොන්දු වූ පරිදි එය සිදු කිරීමට නොහැකි විය. කෙසේ වෙතත් පොරොන්දු වූ කාලසීමාව ඉකුත් වීම හමුවේ සිදුවූ පාස්පෝට් හිඟය හේතුවෙන් එකී සමාගම්වලින් යම් මුදලක් හෝ ටෙන්ඩරයක් අහෝසි කිරීම වෙනුවට ආණ්ඩුව විසින් මෙම සමාගම් හරහා 750,000 ක සාමාන්‍ය පාස්පෝට් මිලදී ගැනීමට කටයුතු කර තිබුණි. මෙහි ඉතාම දූෂිත හතර බීරී කතාව නම්, එම පාස්පෝට් 750,000 මිල දී ගැනීම ද මිලියන පහක ඊ පාස්පෝට් ටෙන්ඩරය හරහා සිදුවීමය. එය සැබැවින්ම “නංගි පෙන්වා අක්කා දීමක්”‍ යැයි කිව හැකිය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මෙම ඉල්ලීම යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අවසර නොලැබිණි. ඒ වෙනුවට කැබිනට් මණ්ඩලය විසින් ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක්, එසේ නැතිනම් අදාළ යෝජනාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ඉල්ලා තිබුණි. කෙසේ වෙතත් එම වාර්තාව ලබාදීමට පෙර ආණ්ඩුවට ගෙදර යාමට සිදුවිය. වර්තමාන ආණ්ඩුව ද ආ සැණින් ගිය ආණ්ඩුවේ පාස්පෝට් ගුලිය කෑවේය. එනම් ඇතිවූ පාස්පෝට් අවුල හමුවේ වර්තමාන ආණ්ඩුව ද එම 750,000 ක පාස්පෝට් ගැනීමට තීන්දු කළේය. එහෙත් වර්තමානයේ ‘N’ කාණ්ඩයේ පාස්පෝට් සපයන සමාගම අධිකරණයට ගොස් කරුණු වාර්තා කිරීම නිසා ඊ ටෙන්ඩරය පමණක් නොව 750,000 ක පාස්පෝට් ලබා ගැනීමට ද වාරණයක් පැනවිණි.

මෙරට පාස්පෝට් හිඟයක් පවතී නම් පාස්පෝට් 750,000 ක් නොව මිලියන 75 ක් මිලදී ගැනුණද අපට ප්‍රශ්නයක් නැත. එහෙත් මෙතැන දූෂිත ගනුදෙනුව සිදුවනුයේ මෙම පාස්පෝට්වල මිල ගණන් සම්බන්ධයෙනි. එනම් මෙකී 750,000 ක් වූ පාස්පෝට්වලට අදාළව පාස්පෝට් එකක වටිනාකම ඩොලර් 6 කටද අධිකය. එහෙත් මේ වනවිට නිකුත් කරන N කාණ්ඩයේ පාස්පොට් එකක වටිනාකම ඩොලර් 6ට වඩා අඩුය. ඊටත් වඩා ප්‍රශ්නය නම් ඊ පාස්පෝට් එකක් නොවන පිටු 48 ක පමණ වන පාස්පෝට් එකකට ඩොලර් හයකට වඩා ගෙවීමට සිදුවීමය. එහෙත් වර්තමානයේ පාස්පෝට් එකක් ඩොලර් 6 කට වඩා අඩුවන අතර එහි පිටු 64 කි. මෙකී අලු‍ත් පාස්පෝට් නිසා ජනතාවට සිදුවන පාඩුව බිලියන 5 කට ආසන්න බව කිව යුතුය.

මෙහිදී ජනතාවට පාඩුවක් සිදුවන්නේ කෙසේද? මෙරට පාස්පෝට් නිකුතුවෙන් 80% ක් එක්දින සේවය හරහා ලබාගන්නා පාස්පෝට් බව කියති. එක්දින සේවය සඳහා රුපියල් 20,000 ක් ගෙවීමට සිදුවේ. ඒ අනුව නිතර විදෙස් ගතවන අයකුට නම් පිටු 64 ක් නිමවීමට වසර එකහමාරක් ගත වුවහොත් පිටු 48 ක පාස්පෝට් එකක පිටු නිමවීමට වසරක් පමණ ගත වේ. ඒ අනුව මාස හයකට පෙර නැවත පාස්පෝට් එක මිලදී ගැනීමට සිදු වේ. ඒ හේතුවෙන් ජනතාවට සිදුවන පාඩුව බිලියන 5 කට ආසන්න බව අදාළ සමාගම් පෙන්වා දී ඇත. දෙවැනි කරුණ නම් පිටු 64 ක පාස්පෝට් එකක් ඩොලර් හයකට වඩා අඩු නම්, පිටු 48 ක පාස්පෝට් එකක් මිලදී ගැනීමට ඩොලර් හයකට වඩා වැය වන්නේ කෙසේද යන ගැටලුවයි. දෙකම සාමාන්‍ය පාස්පෝට් නම් මෙතරම් වෙනසක් ඇතිවන්නේ කෙසේද? උදාහරණයක් ලෙස අපි ඩොලර් සතයක් වැඩි වූවා යැයි සිතමු. ඩොලර් සතයක් යනු ලංකා මුදලින් රුපියල් 3 කි. එම රුපියල් 3 න් ලක්ෂ හතහමාර වැඩිකර බැලූ විට කොපමණ මහජන මුදලක් නිකරුණේ යට කරන්නේදැයි සිතිය හැකිය. එසේ නැතිනම් මේ මුදල් බැර වන්නේ කාගේ ගිණුමටද? යන සැකය මතු වේ.

කෙසේ වෙතත් මේ ආණ්ඩුවට ද පසුගිය ආණ්ඩුවේ ගැටයෙන් ගැලවීමට හැකිවී නැත. ඇතිවූ පාස්පෝට් හිඟය හමුවේ එම 750,000 ක් වූ පාස්පෝට් සියල්ල මිල දී ගැනීමට ආණ්ඩුවට සිදුවී තිබේ. පවතින තත්ත්වය හමුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට එය මිලදී ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලීම හැර වෙනත් විසඳුමක් නොමැත. මේ වන විට ද ඊ පාස්පෝට් සඳහා වාරණය ක්‍රියාත්මක වෙයි.

අවසානයේ අපි මෙසේ පවසමු. 750,000 ක පාස්පෝට් මිලදී ගනු ලබන්නේ අදාළ ඊ පාස්පෝට් හිමි ටෙන්ඩරය සහ සමාගම් හරහා නම් ඊ පාස්පෝට් ටෙන්ඩරය ද ඔවුනට හිමි වූවාට ගැටලු‍වක් නැත. ඒ මේ වනවිට නහය ගාවට වතුර පෙවුණු මොහොතේ ඉහට උඩින් වතුර ගියත් දැන් කරන්න දෙයක් නොමැති තත්වයට ආණ්ඩුව ද වැටී සිටින හෙයිනි. කෙසේ වෙතත් මෙවැනි දූෂිත ගනුදෙනු ඒ හරහා වැසී යනවා පමණක් නොව සමාජය ඉදිරියේ සාධාරණීකරණය වනු ඇත. ඒ නිසා මේ පිළිබඳව නැවත විමර්ශනයක් කිරීම ආණ්ඩුව සතු වගකීමකි.

එහෙත් ගැටලුව සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ අය ගිය ආණ්ඩුවේ සමහර අයගේ නම් ගම් කීමට අකැමැතිය. ඔවුහු කෙළින් ඇඟිල්ල දිගු කිරීමට මැළි වී සිටිති. අපට එහි ගැටලුවක් නැත. එහෙත් මහජන මුදල් කාබාසිනියා කරන අයට නීතියක් ක්‍රියාත්මක කළ යුතු බව පැවසිය යුතුය. මින් ඉදිරියට හෝ එවැනි දූෂණ ක්‍රියා සිදු නොවීමට ඉඩ නොතැබිය යුතුය. එවිට මේ රට ආරක්ෂා වනු ඇත. එතෙක් අපි සටන් කරමු.

• ගයාන් ගාල්ලගේ

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:04