2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

සටනක් නොදීම ශ්‍රී ලංකාව ලෝක කුසලානෙන් ඉවතට

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 15

“ශ්‍රී ලාංකිකයන් අපි ගැන ලොකු බලාපොරොත්තුවක් තබාගෙන සිටියා. නමුත් දැන් අපිට අවසන් පූර්ව තරගයට යන්න බෑ. ඒ නිසා ඉතිරි තරග දෙක ජයග්‍රහණය කර ලෝක කුසලානය හොඳ මට්ටමකින් අවසන් කළ යුතුයි. එහෙම නොවුණොත් අපිට ඊළඟ ලෝක කුසලානයට යන්න සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරන්න වෙයි”‍

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු දින තුන තුළදී තරග දෙකක් පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු එසේ පැවසුවාය.
ශ්‍රී ලංකා පිල පසුගිය බදදා (9) ඉන්දියාව හමුවේ ලකුණු 82 කින් ලැබූ දැවැන්ත පරාජයත් සමඟ තවත් අමාරුවේ වැටුණි.

පන්දු යවන්නියන්ගේ සහ පන්දු රැකීමේ දුර්වලතාවය හේතුවෙන් ඉන්දියාව ලකුණු 172 ක් රැස් කිරීමෙන් ශ්‍රී ලංකාව අතරමං විය. චමරි අතපත්තු ඇතුළු පිතිකාරියන් තෙවැනි වතාවටත් දුර්වල වීමෙන් පරාජය විශාල විය.
ශ්‍රී ලංකාව සෙනසුරාදා (12) නවසීලන්තයට එරෙහිව පළමු වටයේ අවසන් තරගයට සහභාගී වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී පාකිස්ථානය හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (3) ලකුණු 35 කින් පරාජය වූ අතර දෙවැනි තරගාවලියේදී ලෝක ශූර ඔස්ට්‍රේලියාව හමුවේ පසුගිය සෙනසුරාදා (5) කඩුලු‍ 6 කින් පරාජය විය. ශ්‍රී ලංකා පිලට එම පරාජයන් දෙකත් සමඟ දින 18 ක මෙවර ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තුව දින තුනකින් අතහැර දැමීමට සිදුවිය. ශ්‍රී ලංකාව ලැබූ එම පරාජයන් සමඟ මූලික ඉලක්කය වූ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.

ශ්‍රී ලංකාව පළමු තරගයේදී පාකිස්ථානය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජය මෙම කඩා වැටීමට මූලික හේතුව බවට පත්විය. ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේදී ඕනෑම කණ්ඩායමකට අභියෝගයක් වීමේ මානසික තත්වයෙන් පසුවිය. එය එසේ වුවද සාජා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණ තීරුවේ අසාමාන්‍ය තත්වය ශ්‍රී ලංකාවට අවාසනාව කැඳවීය.

සාජා තණ තීරුවේ මන්දගාමී ස්වභාවයෙන් ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ පාකිස්ථානු ඉනිමේ 14 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 76 කට කඩුලු‍ 7 ක් දවා ගැනීමට සමත්ව සිටියහ. ඉන් අනතුරුව පාකිස්ථානු අංක හත පිතිකාරිය වූ 22 හැවිරිදි ෆාතිමා සනා පන්දු 20 කින් රැස් කළ ලකුණු 30 තරගයේ තීරණාත්මක සාධකය බවට පත්විය. එම ඉනිමත් සමඟ පාකිස්ථානයට ලකුණු 116 ක් දක්වා ඒ අවස්ථාව උදා විය.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු‍ නවයක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 85 ක් පමණි. එහිදී සුපිරි පිතිකාරී චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකාරියෝ සැලසුමකින් තොරව පන්දුවට පහර දීමෙන් පරාජය වෙළඳ ගැනීමට සිදුවූහ.

ශ්‍රී ලංකා පිල සාජා ක්‍රීඩාංගණයේදී පිට පිටම සහභාගි වූ දෙවැනි තරගයේදී ආසන්නතම ලෝක ශූරියන් වන ඔස්ට්‍රේලියාව හමුවේ ද සටනකින් තොරව පරාජයට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ආරම්භයේ සිටම කිසියම් නුහුරු නුපුරුදු සැලසුමකින් මෙන්ම චකිතයකින් පිවිස සිටි බව දැකිය හැකි විය.

සාජා තණ තීරුවේ පළමු අභියෝගය වන කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර සංඛ්‍යාව සැලසුම් සහගත ලෙස බෙදාගනිමින් පන්දුවට පහර දී ලකුණු 130 ක් රැස් කළේ නම් ලෝක ශූරයන්ට ද තිගැස්මක් ඇතිකිරීමේ අවස්ථාව තිබුණි. ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 93 කට සීමා විය.

”මෙම තණ තීරුවේ ලකුණු 130 ක් හොඳ ලකුණු ගාණක්. ඒක නිකන් සාමාන්‍ය තණ තීරුවක ලකුණු 180 ක් රැස්කළා වගෙයි”‍ යැයි තරගයෙන් පසුව චමරි අතපත්තු සඳහන් කළාය.

ඔස්ට්‍රේලියානු පිතිකාරියෝ එම ඉලක්කය ඕවර 14.2 කදී කඩුලු‍ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ දුර්වලතාවය ඔස්ට්‍රේලියාවට ප්‍රසාද දීමනාවක් බඳු විය.

නායිකා චමරි අතපත්තු පන්දු යවන්නියන්ගේ වෙනස්කම් කරමින් කඩුලු‍ දවා ගැනීමට උත්සාහ කළ ද ඉනෝකා රණවීර වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් අභියෝගය වෙනුවට ‘කොට පන්දු’ යොමු කිරීමෙන් ඔස්ට්‍රේලියාවට ඉලක්කය පහසු විය.
එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් පන්දුව මන්දගාමීව යැවීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔවුන්ගේ සාමාන්‍ය පන්දු යැවීමට යොමුවීමට නොහැකි වූ බව ප්‍රදර්ශනය විය.
ඒ පිළිබඳව කළ විමසුමකදී නායිකා චමරි අතපත්තු මෙසේ පැවසුවාය.

“ඔව් පන්දු යැවීමේ යම් වෙනසක් කළා. පවර් ප්ලේ එකේ සාමාන්‍යයෙන් පන්දු නොයවන ඉනෝකවත් මම ගෙනාවා. නමුත් ප්‍රතිඵල ගන්න බැරි වුණා”‍

තවද චමරි අතපත්තු පන්දු රකින්න ස්ථානගත කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තර විස්තර විචාරකයන් තුළ ද යම් කතාබහක් නිර්මාණය වී තිබුණි.

• යොහාන් භාසුර, ඩුබායි සිට.
සේයාරූ - අන්තර්ජාලයෙන්

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03