2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

ගම්පහට ගංවතුර කරුමය උරුම කළේ කවුද?

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 99

“අපි එදාවේල හොයාගන්න කොච්චර මහන්සි වෙනවද? ඒ අස්සෙ ගංවතුර ඇවිත් අපිව විනාශ කරනවා’’ පසුගිය ගංවතුර නිසා විපතට පත් කැලණිය බියගම කුඩා හෝටල් හිමියෙක් පවසා සිටියේය. ගංවතුර දින දෙකක් තිස්සේ බැස නොයාම නිසා ඔවුහු අසරණව සිටිති. බියගමට නුදුරින් පිහිටි මල්වාන නගරයම ගංවතුරට යටවී ගොස්ය. කැලණි මිටියාවත සේම අත්තනගලු‍ ඔය නිම්නය ද දැන් වර්ෂයකට දෙපාරක් ගංවතුරට යටවන තත්ත්වයක් මතුව තිබේ.

සහරා කාන්තාරයටත් ගංවතුර ඇතිවී ඇති තත්ත්වයක දී බස්නාහිර පළාතේ විශාල පෙදෙසක් ගංවතුර නිසා අකර්මණ්‍ය වී විශාල දේපල හානියක් ද සිදුව තිබේ. වයඹ පළාතටත් ගංවතුර හානියෙන් බේරීමට නොහැකි විය.

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා 14 දින වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 20,553 ක පුද්ගලයන් 77,388 දෙනෙක් පීඩාවට පත්ව සිටියහ. අවතැන් වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනමින් කටයුතු කරමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ පවසා සිටී.

මේ අනුව දොම්පෙ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, මීරිගම, බියගම, දිවුලපිටිය, වත්තල, මහර, කැලණිය, කටාන, ජාඇල හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක ග්‍රාම නිලධාරී වසම් 255 ක පුද්ගලයන් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කයේ අඹතලේ, කොළොන්නාව, කඩුවෙල ආදී ප්‍රදේශ රැසක්ද ගංවතුර නිසා හානියට පත්විය.

ගම්පහ පහළගම ප්‍රාදේශයේ නිවැසි සුනන්ද උඩගමගේගේ නිවස ද ගංවතුරට යට විය. මේ ඔහු ඒ ගැන දැක්වූ අදහස්ය:

“වෙන කාලවලට වඩා දැන් නිතරම මේ පැත්ත යටවෙනවා. මේ අවුරුද්දෙ ජූනි මාසයෙත් වතුර ගැලු‍වා. මේකට හේතුව විදිහට මම නම් දකින්නෙ සැලසුමක් නැති නාගරීකරණයයි. මේවා කරපු අයත් ඒ නිසා පීඩා විඳිනවා. අපේ ගෙදර ළඟින් යන ඇළ කපලා ලොකු කළොත් වතුර බහින වේගය වැඩිවෙලා වතුර ගැලීම අඩුවේවි. වාරිමාර්ග නිලධාරීන් ගොවි සංවිධාන සමඟ කතා කරලා ඒවාට විසඳුම් දිය යුතුයි. නමුත් එහෙම විසඳුමක් දෙන්නෙ නෑ. ගංවතුර ගැලු‍වම ඒ ගැන කතා කරමින් ඉඳලා පසුව ඒක අමතක කරලා දානවා. ගම්පහ වගුරුබිම් ගොඩක් ගොඩකරලා ගොඩනැගිලි හදලා. ටියුෂන් පන්ති ගොඩක් තියෙන්නෙ ගොඩකරලා හදපු තැන්වල. මේවාට දීර්ඝ කාලීන විසඳුම් අවශ්‍යයි.”

ගංවතුරට වෙනදා කැලණි කළු ගංගා ගලන්නේ වර්ෂයකට එක් වරකි. මේ ගංගා ජූනි මාසයේ ද අධික වැස්ස නිසා උතුරා ගියේ ජනජීවිත පීඩාවට පත් කරමිනි. ගංගා පිටාර ගැලීමට බහුලව බලපාන සාධකය අධික වර්ෂාව බව සැබෑය. නමුත් දැන් ගංවතුර හානිය අධික වීමට සහ ගංවතුර බැස යාම ප්‍රමාද වීමට තවත් බොහෝ හේතු පවතී. මේ සඳහා මූලිකව වගකිව යුත්තේ මානව ක්‍රියාකාරකම්ය. ගංවතුරට මුහුණ දුන් ප්‍රදේශවල ජනතාව පවසන්නේ ගංවතුර ඇතිවීමේ වැඩිවීමක් පසුගිය වසරවලදී දක්නට ලැබුණු බවයි.

පරිසරවේදීන්ගේ අදහස අනුව ගංවතුර හානිය ඉහළ යාමට බලපාන මිනිසුන්ගේ වැඩ කටයුතු කිහිපයකි.

• පිටාර ජලය ගලායන වගුරු බිම් ගොඩ කිරීම
• ගං පෝෂක පෙදෙස්වල කැලෑ එළි පෙහෙළි කිරීම
• වගාබිම් සඳහා කැලෑ එළි කිරීම
• නිසි සැලසුමකින් තොර ගොඩනැගිලි ව්‍යාපෘති
• අධික පොලිතීන් ප්ලාස්ටික් භාවිතය

1947, 1989, 1999 සහ 2007 වර්ෂවල මෝසම් වැසි කාලයේදී කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගැලීම නිසා ඇතිවුණු මහ ගංවතුරෙන් ජීවිත හානි සහ විශාල දේපළ හානියක් සිදු විය.
කෙටි කාලයක්‌ ඇතුළත ලැබෙන අධික වර්ෂාපතනය නිසා එසේ ගංවතුර ගැලීම සිදුවේ. කැලණි ගඟ දෙපස සහ අත්තනගලු‍ ඔය අවට ගම්මානවල සහ නගරවල වැසියෝ වසරක් පාසා ගංවතුරෙන් පීඩා විඳිති. මෙම තත්වය කළු ගඟ, නිල්වලා ගඟ ඇතුළු ගංගා ආශ්‍රිත දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකිය.

දශක කිහිපයකට පෙර කිසිවිට ගංවතුර නොපැමිණි පෙදෙස් ද දැන් කෙටි වැස්සකින් පවා ගංවතුරට යටවන තත්ත්වයක් උදා වී තිබේ. ඉවක් බවක් නැතිව අනවසරයෙන් වගුරු බිම් ගොඩ කිරීම එයට ප්‍රධාන හේතුවකි. ඒ සඳහා දේශපාලන හයිය ද පසුගිය කාලයේ භාවිත වූ බව කවුරුත් දනිති. එමෙන්ම අවිධිමත් ලෙස සිදු කරන සංවර්ධන කටයුතු මෙයට ප්‍රධාන හේතුවක් බව එම ප්‍රදේශවල ජනතාව පවසති. අධිවේගී මාර්ගයට කුඹුරු ගොඩකිරීම නිසා බොහෝ පැතිවල අද නිතර ගංවතුර ඇතිවන බව ජනතාව පවසා සිටින කරුණකි.

යම් ප්‍රදේශයකට වැස්ස වහින විට ඒ ජලය ගලා බැසීමට පහත් වගුරු බිම් පැවතිය යුතුය. එවිට ගොඩබිම් වතුරට යටවීම බොහෝ දුරට වැළකී යයි. නමුත් වගුරුබිම් ගොඩ කිරීමෙන් පිටාර ගලන වතුර වෙනත් පහත් බිම්වලට ගලා යාම සිදුවේ. කැලණි නදිය දෙපසම පැවති වගුරු බිම් පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ගොඩකර ගොඩනැගිලි ඉදිකළ බව අපි දනිමු.

කැලණිය තල්වත්ත, පට්ටිවිල වැනි ප්‍රදේශ නිතර ගංවතුරට යටවන පසුබිමක් උදා වී ඇත්තේ මෙසේ ඉඩම් ගොඩකිරීම නිසාය. “මේ පැත්තෙ තිබුණු පහත්බිම් හැම එකක්ම වගේ ගොඩකරලා ඉවරයි. ඉඩම් මිල ඉහළ ගියාම වැඩි දෙනෙක් වගුරු බිම් ගොඩකරලා ගොඩනැගිලි හැදුවා. දැන් ඒ ගොඩනැගිලිත් වතුරට යට වෙනවා. අපේ ගෙවලු‍ත් යටවෙලා දුක් විඳින්න වෙනවා. ඉස්සර ගංවතුර ආවේ අවුරුදු කිහිපයකට වරක් විතරයි’’. පට්ටිවිල ප්‍රදේශයේ පුද්ගලයෙක් අප සමඟ පැවසුවේය.
“කැලණි ගඟ අවට තිබෙන්නේ අති සංවේදී පරිසර පද්ධතියක්. ඉතිහාසයේදී අවස්ථා ගණනාවක දී මෙම ප්‍රදේශයේ පහත්බිම් ගංවතුරෙන් යට වෙලා තිබෙනවා. නමුත් ඇළ මාර්ග ඔස්සේ ඒ ගංවතුර ඉක්මනින් බැහැල යනවා. කලක් ගත වෙද්දී ගඟ අවට තිබෙන පහත් බිම් නොයෙකුත් සමාගම්වලින් මිලදීගෙන ඒවා ගොඩ කරන්න පටන් ගත්තා. සිතියම්වල පැහැදිලිව සටහන් කර තිබෙනවා, මේවා අතිශය සංවේදී පරිසර පද්ධතීන් (Water rentention area) ලෙස. ගඟ පිටාර ගැලීමක දී මේ කියන ප්‍රදේශවල වතුර රැඳී තිබිල, නැවතත් ක්‍රමානුකූලව බැස යනවා. නමුත් දැන් ඉවක් බවක් නැතුව මේ පහත්බිම් ගොඩ කරලා තිබෙනවා.”‍ යැයි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ කැලණි මිටියාවත සුරැකීමේ සංවිධානයේ සභාපති අශෝක රන්වල බීබීසී පුවත් සේවයට පවසා තිබූ අදහස අදටත් වලංගුය.

ගම්පහ නගරයේ වැහි වතුර එක්රැස්වන ස්ථාන, නගරයේ ජලය ගලා බසිනා සියලු ස්ථාන වහලා ගොඩනැගිලි ඉදිකර අවසන්ය. නගරයේ වතුර බැස යාමට පහළගම හන්දියේ තිබුණු ප‍්‍රසිද්ධ කුඹුරු ඉඩම මේ වන විට මිනුවන්ගොඩ පාර මායිමටම ගොඩ කර තිබේ. එම කුඹුරු යායෙන් පහළට වතුර බැස්ස ඇළත් අද වසා දමා තිබේ. ජාඇල පාරේ මේකලා සිනමා ශාලාව ඉදිරිපිට තිබුණු විශාල ඇළ දැන් අඩි දෙක, තුනකට සීමා කර ගොඩනැගිලි ඉදිව ඇත.

ගම්පහ නගරය යටවීම ගැන ගාමිණි පෙරේරා තැබූ ෆෙස්බුක් සටහනකින් මේ ලිපිය අවසන් කරමි:

“දැන් වැස්සොත් අහන්නෙ ජා ඇල පාර යටවෙලාද? යක්කල පාර යටවෙලාද?

හංසගිරි පාර යටවෙලාද? පල්ලිය පාර යටවෙලාද? ඔරුතොට පාර යටවෙලාද?

බස් ස්ටෑන්ඩ් එක යටවෙලාද? කියල. ඒක තමයි ජල මාපකේ

දැන් මේක කොතරම් සාමාන්‍යකරණීය වෙලා ද කිව්වොත් ගම්පහ නව ලේකම් කාර්යාලය ඉදිරිපිටත් යට වෙනව.

දැන් වැස්සට ගම්පහ නගරය යට නූනොත්

අර මොකක්ද මොකක්ද වගේ.”

• කුසුම්සිරි විජයවර්ධන