අපේ රජවරුන්ගේ ජීවිතයේ එක් අංගයක් වුණේ බිසෝවරු රාශියක් සහිත අන්තඃපුර පවත්වාගෙන යාමයි. ජනතාව දුක් විඳිමින් රජුට බදු ගෙවන අතර රජු තමන් කැමති ඕනෑම ස්ත්‍රියක් ගෙන්වාගෙන අන්තඃපුරයට ඇතුළු කිරීම සිරිතක් ලෙස කළේය. පුදුමය නම් එසේ රාජකීය අන්තඃපුරයට යන කාන්තාවන් ගැන මිනිසුන් ගෞරවයෙන් සිතීමයි. අවසන් රාජධානිය වූ මහනුවරට යන ඔබට රජුගේ අගබිසවගේ වාසයට වෙන්වූ ගොඩනැගිල්ලත්, රජු හිත ගිය අන්තඃපුර ස්ත්‍රීන් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලත් අද දැක ගැනීමට පුළුවන. රජ කාලේ ආරක්ෂක සෙබළුන්ගේ දැඩි ආරක්ෂාව මැද තිබූ මේ ගොඩනැගිලි අද නම් ඕනෑම කෙනකුට යා හැකි කෞතුකාගාර බවට පත්ව තිබේ. ඒවා පුරාවිද්‍යා ස්මාරක ලෙස පවත්වාගෙන යාම සිදුවේ.
අගබිසව වාසය කළ මැද වාහල
මෙම ගොඩනැගිල්ල ඉංග්‍රීසින් තැනූ පැරැණි කච්චේරි ගොඩනැගිල්ල සහ ජාතික කෞතුකාගාරය අතර පිහිටි තනි මහලේ ගොඩනැගිල්ලකි. අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ අගබිසව වාසය කළ මෙම ගොඩනැගිල්ල මහනුවර දක්නට ලැබෙන පැරැණි ස්වරූපය වෙනස් නොවූ එකම රාජකීය ගොඩනැගිල්ල වශයෙන් වැදගත්ය. එදා රජ වාසල ගොඩනැගිලි අතර රජුට හැර මැති ඇමැතිවරුනට පවා තහනම් ප්‍රදේශයක් ලෙසට මැද වාසල පැවතිණි.
යටත් විජිත යුගය වනවිට මේ ගොඩනැගිල්ල නිශ්චිත ලෙසම මැද වාසල වූ බව 1815 දී ටී.බී. කැප්පෙටිපොල අඳින ලද මහනුවර නගරය දැක්වෙන සිතියමේ දක්වා තිබේ. ඉංග්‍රීසි යටත්විජිත සමයේ ආරෝග්‍ය ශාලාවක් ලෙස ද මෙය යොදාගෙන තිබේ. මෙම ගොඩනැගිල්ල මෑතකාලීනව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ගැමි කෞතුකාගාරය ලෙස ද, බෞද්ධ කටයුතු අමාත්‍යංශය යටතේ මහනුවර කාර්යාලය පවත්වාගෙන යාමට ද, මධ්‍යම සංස්කෘතික අමාත්‍යංශය යටතේ මහනුවර කාර්යාලය පවත්වාගෙන යාම ද ආදී ලෙස විවිධ අන්දමින් භාවිතයට ගෙන තිබුණි. මෑතකදී මැද වාසල මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සංරක්ෂණය කළ අතර දැන් මැද වාසල කෞතුකාගාරය එහි පවත්වාගෙන යනු ලැබේ. නමුත් මේ කෞතුකාගාරය නැරඹීමට නම් එතරම් පිරිසක් එන බවක් අපට දැකගත නොහැකි විය.
බොරදම් බේරූ කළුගල් පාදමක් මත බිත්ති ගොඩනගා තිබෙන අතර බිත්ති උසින් අඩුය. සමචතුරස්‍රාකාර ආකාරයේ ජනෙල් කුඩාය. ඒවාට සවිකර ඇත්තේ බීරළු සහිත ජනෙල් පොලු වේ. පියස්සට පෙති උළු සෙවිලි කර තිබෙන අතර, වහලයේ මුදුන්වල මැටි කොත් සතරක් දැකගත හැකිය. මේ වාසලේ තිබෙන්නේ එකම කාමරයක් පමණි. එය අගබිසවගේ යහන් ගැබ බව හෙළිව තිබේ. මෙහි ඇතුළු වූ විටම ඇති මැද මිදුලට බෑවුම් වූ වැරැන්ඩාවේ පියස්ස දරා සිටින දැව කුලුනු පේළියකි. ඒ අතර තරමක් විශාල දැව කුලුණු හතරක් කැටයම්වලින් පරිපූර්ණව පවතී. ලියවැල්, මල් මෝස්තර සහිත මේ කුලුනු සිව්රැස් හා අටැස් ආකාරයෙන් තනා තිබෙන්නේ මඟුල් මඩුවේ කුලුණු සිහිපත් කරවමිනි.
මැද වාසලට ඇතුළුවීමට ඇති දැව උළුවස්ස චන්ද්‍රවංක ආකාරයෙන් බොරදම් බේරා තිබේ. කැටයම් රහිතය. ඊට අමතරව ඇතුළු කුටියේද මේ ආකාරයේ දොර උළුවහු දෙකකි. කුටියේ ඇති දොරේ සරනේරු මහනුවර යුගයේ වාස්තු විද්‍යාව සිහිපත් කරවන දැවයෙන් කළ ඒවාය. මෙම දොරටුව නිර්මාණය කර ඇත්තේ එය ඇතුළතින් පමණක් අගුලු දැමිය හැකි පරිදිය. ඇතුළතින් අගුලු ලූ පසු එය පිටතින් විවෘත කිරීමට නොහැකිය. මැද මිදුල පද්ම බොරදම්වලින් යුක්තය. එහි ජලය බැහැර කරන්නේ උතුරු දෙසට යොදා ඇති කාණුවක් මගිනි. එහි 1915 ශක වර්ෂ 1837 යැයි සඳහන් ශිලා පුවරුවක් දැකගත හැකිය.
මෙහි ඇති කුටියේ ඇඳක් පැවති බවට සාධක සපයන කළුගලින් කට්ට කැපූ ආධාරක හතරක් තිබේ. එම කට්ට අසලින් ආරක්ෂක මන්ත්‍රයක් යැයි සිතිය හැකි තඹ පත්ඉරු හතරක් හමුවූ අතර දැනට පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඒවා ප්‍රදර්ශනයට තබා ඇත. ලිංගික කටයුතුවල ආරක්ෂාවට මේ මන්ත්‍ර වළලන්නට ඇතැයි අනුමාන කෙරේ. එයට නුදුරින් කුටිය තුළ දී භාවිත කළ කැසිකිළි ගල දැකගත හැකිය.
සංරක්ෂණයේ දී බිත්තියේ මතුපිට බදාමයට යටින් රතු පසුබිමේ ඇඳ තිබූ මල් රටා කිහිපයකුත් හමුවී තිබීමෙන් පුරාණයේ මෙම ගොඩනැගිල්ල මල් මෝස්තරවලින් සරසා තිබූ බව හෙළි වේ.
මෙරට බිසවක වෙනුවෙන් ඉදිකළ එකම මාලිගය වශයෙන් ද මැද වාසල වැදගත් වේ. 1798 වසරේ සිට, 1815 පෙබරවාරි 18 දා දුම්බර බෝමුරේ දී ඉංග්‍රීසින්ට අසුවන තෙක් වසර 17 ක් මෙරට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අගබිසව වන්නේ වෙන්කත රංගම්මාල් නම් බලබාර් ජාතික බිසවයි. ඉංග්‍රීසින් ඇඳි සිතුවමකට අනුව ඇය රූමත් කාන්තාවක් බව පෙනේ. රාජධානියේ මහ රජුගේ අග මෙහෙසිය වුවද, මෙරට තුළ දී රංගම්මාල් බිසව ගතකර ඇත්තේ නිදහස ඇහිරුණු හුදෙකලා ජීවිතයක් බව මේ ගොඩනැගිල්ලට පිවිසෙන ඕනෑම අයකුට වැටහී යයි.
මහනුවර රජකම දැරූ වසර 17 ක කාලසීමාව තුළ ශ්‍රී වික්‍රම රාජසිංහගේ වැඩ කටයුතු ගැන ඉතිහාසයේ සඳහන් වුවත්, රජුගේ අගමෙහෙසිය වූ රංගම්මාල් බිසව ගැන ඒ එක් තැනක හෝ සඳහන් නොවේ. ඇය ගැන නැවත සඳහන් වන්නේ රජු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඉංග්‍රීසින් ලියූ වාර්තාවලයි. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ රංගම්මාල් බිසව ද රජු සමඟ සිටි බව ඉංග්‍රීසින්ගේ වාර්තාවල සඳහන්ය. එමෙන්ම අත්අඩංගුවට පත් රාජසිංහ රජු සහ රංගම්මාල් බිසවට උඩරට සිංහල ප්‍රධානීන් නොයෙක් වධ හිංසා පමුණුවා ඇති බවත්, ඉංග්‍රීසි නිලධාරින් ඒවා වළක්වා ඇති බවත් ඉංග්‍රීසිහු සඳහන් කරති. රංගම්මාල් බිසව පැළඳ සිටි කර්ණාභරණ ඔවුන් ගලවා දමා ඇත්තේ ඇයගේ කන් පෙති ඉරීයන ලෙසටයි. ඇය එලෙස වධ හිංසනයට ලක්වන අවස්ථාවේ ඇඳ සිටි ලේ තැවරුණු හැට්ටය කොළඹ කෞතුකාගාරයේ දී අපට දැකගත හැකිය.
පල්ලේ වාහල
වර්තමානයේ මහනුවර ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ එදා රජුගේ අන්තඃපුරය පිහිටි පල්ලේ වාහල ගොඩනැගිල්ලේය. මහනුවර යුගයේ අතීතය හෙළිදරව් කරන පුරාවස්තු රාශියක් මෙහිදී දැකගත හැකි වේ. මෙයත් මැද මිදුලක් සහිත මිටි වහලක් සහිත කුඩා ජනේලවලින් යුක්ත ගොඩනැගිල්ලකි. ජනේලවලට බීරළු සහිත දැව පොලු යොදාගෙන තිබේ. මෙම ගොඩනැගිල්ලේ මුලින්ම කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා පදිංචිව සිටියා යැයි පැවසේ. පසුව එය රජ බිසෝවරුන්ගේ වාසය සඳහා වෙන් කළ බව සඳහන් වේ.
මෙය මැද වාහලට වඩා තරමක් විශාල ගොඩනැගිල්ලක් වුවද සමාන ලක්ෂණ බොහොමයක් පවතී. පසුකාලීනව ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. 1875 දී හත්වැනි එඩ්වඩ් කුමරුගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් මෙහි තිබුණු ලී කැටයම් කුලුනු 32 ක් ගලවා මහනුවර මඟුල් මඩුවට සවිකර එය දිගින් වැඩි කළ බව වාර්තා වේ. පසුව හිස්වූ කණු වෙනුවට ගඩොල්වලින් කණු සකස් කළ බවත් පැරැණි කෘතිවල සඳහන් වන කරුණකි.
ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන්නේ කුඩා ශාලාවකටයි. ඒ දෙපසින් කාමර පේළිවලට යොමු වූ බරාඳයක් පවතී. හතර පැත්තේම ඇති බරාඳ මැද මිදුලට විවෘතව තිබේ. මේ කාමර රජුගේ අන්තඃපුර කාන්තාවන්ට වෙන් වූ කුටි බව සැලකේ. පසුකාලීනව ආණ්ඩුවේ කාර්යාල වශයෙන් යොදාගැනීමේදී ගොඩනැගිල්ලට රටඋළු සෙවිලි කර තිබේ. පල්ලේ වාහලට ඇතුළුවන දැව උළුවස්ස ද කැටයම රහිතය. උළුවස්ස දෙපස බිත්තියේ කළුගලින් නිම කළ කුඩා සිංහ කැටයම් සහිත පුවරු දෙකකි. වහලයේ මැටි කොත් දෙකක් දැකගත හැකිය. සැරසිලිවලින් තොර චාම් ගොඩනැගිල්ලක් ලෙස මෙය තනා තිබේ.
1832 දී ආරම්භ වූ මහනුවර කලා සංගමය විසින් සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමකින් යුත්, ඔවුන් එක්රැස් කරගත් කෞතුක භාණ්ඩ තැන්පත් කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල යොදාගෙන තිබුණු අතර, එම භාණ්ඩ එකතුව යොදා ගනිමින් 1942 දී ආණ්ඩුවේ කෞතුකාගාරයක් වශයෙන් මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණි.
පසුව එය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් මහනුවර කෞතුකාගාරය බවට පත්විය. මහනුවර යුගයේ (ක්‍රි.ව. 17 - 19 සියවස්වල) විවිධ සංස්කෘතික හා ඓතිහාසික පැතිකඩ නියෝජනය කෙරෙන පන්දහසකින් පමණ සමන්විත කෞතුක භාණ්ඩ එකතුවක් මෙහි ප්‍රදර්ශනය කෙරේ. ඔබත් මහනුවරට ගිය විට මේ ඓතිහාසික ගොඩනැගිලි නැරඹීමට අමතක නොකරන්න.
• කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - අන්තර්ජාලයෙන්