2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුවට ඇති ජිනීවා අභියෝගය

2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:0015

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසු ඔහු වෙත ළඟා වීමට කාලය නාස්ති කර නැත. මැතිවරණයට පෙර පෙනී ගියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල කණ්ඩායමේ ප්‍රියතම අපේක්ෂකයා ලෙසයි. ඔවුන් ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කරමින් නිතර ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළ අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් ද ඒ හා සමාන සහාය ප්‍රකාශ නිකුත් කරන ලදී. වික්‍රමසිංහ පාලනය ද හැකියාවන් නොතිබියදීත් රතු මුහුදේ නාවික මෙහෙයුම්වලට සහභාගී වීමේ පොරොන්දුව ඇතුළුව බටහිර නායකත්වයෙන් යුත් වැඩසටහන් සමඟ එක්වීමට විශේෂ උත්සාහයක් දැරීය.

බටහිර රටවල කණ්ඩායමේ සහ විශේෂයෙන් ඉන්දියාවේ කනස්සල්ලට හේතු වූ එක් කරුණක් වූයේ ජාතික ජන බලවේගයේ සහ එහි ජනාධිපති අපේක්ෂකයාගේ විදේශ ප්‍රතිපත්ති දිශානතියයි. ජාතික ජන බලවේගයේ ප්‍රධාන කොටස්කරුවා වන ජනතා විමුක්ති පෙරමුණ, එහි වෙබ් අඩවියේ සඳහන් පරිදි මාක්ස්වාදී-ලෙනින්වාදී පක්ෂයක් වන බැවින්, ජාතික ජනබලවේගය ඊට සමාන මතවාදයක් ඇති රටවල් වෙත නැඹුරු වනු ඇතැයි අනුමාන කරන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසුව, අන්තර්ජාතික ජනමාධ්‍ය රජය චීනය සහ රුසියාව වෙත නැඹුරු වනු ඇතිය යන අදහසට විශ්වාසය තැබීය. මෙම රටවල් දෙක විශේෂයෙන් යුද සමයේදී සහ එම යුද්ධය සම්බන්ධයෙන් මානව හිමිකම් ගැටලු‍ මතු වූ විට ශ්‍රී ලංකාවේ දිගුකාලීන ‘මිතුරන්’ ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් විය.

කෙසේ වෙතත්, ඔහුගේ ජයග්‍රහණයෙන් පසු, ජනාධිපති දිසානායක ආර්ථික ක්‍රියාකාරකම් සහ ආරක්ෂක අවශ්‍යතා යන දෙඅංශයෙන්ම ඉන්දියාවට ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඔහු මුණගැසුණු පළමු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයා ඉන්දියානු මහ කොමසාරිස්වරයා විය. ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ ඇමැතිවරයා ද ඉන්දියාවෙන් වන අතර, එම සාකච්ඡාවලදී ඉන්දියාව සමඟ ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙනු ලැබීය. ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සැලකිල්ලක් වනු ඇති බව ජනාධිපති දිසානායක ඉන්දියානු රජයට සහතික වී ඇත. ඒ අතරම, ශ්‍රී ලංකාවට වැදගත් වන රටවල්වලින්, එනම් වෙළෙඳපොළවල් සහ ආර්ථික සහාය සපයන ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, යුරෝපා සංගමය, චීනය සහ රුසියාව ඇතුළු රටවලින් ද සුබ පැතුම් පණිවුඩ ලැබී ඇත.

රජයට ඉතා ඉක්මනින් එහි පළමු ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) ශ්‍රී ලංකාව පිළිබඳ එහි අධීක්ෂණ මට්ටම තීරණය කරනු ඇති අතර, විශේෂයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා වගවීම සහ රටේ ආර්ථික හා දේශපාලන අර්බුදය හැසිරවීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. 2009 වසරේ සිට, එනම් උතුරේ සටන් බිමේදී යුද්ධය අවසන් වූ වසරේ සිට, බටහිර රටවල් ප්‍රමුඛ අන්තර්ජාතික ප්‍රජාව විසින් අතීතය විමර්ශනය කිරීමට සහ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට UNHRC හිදී ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටී. යුද්ධයේ අවසාන අදියරවලදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ ප්‍රශ්නය සහ අතුරුදහන්වූවන් සොයා ගැනීම, ඉඩම් ආපසු ලබා දීම සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මිලිටරි බලය ඉවත් කිරීම ඇතුළු අනෙකුත් කරුණු අතර වගවීම සහතික කිරීම ද ඇතුළත් වේ.

2022 ඔක්තෝබර් මාසයේ 51/1 යෝජනාවෙන් UNHRC තීරණය කළේ, අනෙකුත් කරුණු අතර, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) ධාරිතාව දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි රැස්කිරීමට සහ සංරක්ෂණය කිරීමට, දීර්ඝ කිරීමට සහ ශක්තිමත් කිරීමටය. මෙය වගවීම ඉදිරියට ගෙන යෑමට සහ තම අධිකරණ බල සීමාවන් තුළ යුද අපරාධ නඩු පැවරීමට ඉඩ සලසන නීති ඇති රටවල අධිකරණ ක්‍රියාදාමයන්ට සහාය වීම අරමුණු කරගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් ප්‍රමුඛ ආණ්ඩු දෙකම මෙම යෝජනාවට දැඩි ලෙස විරුද්ධ විය. එහෙත් ඔවුන් ඉදිරිපත් කළ නීතිමය තර්ක සහ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු වී ඇති බව පෙන්වීමට ඔවුන් ඉදිරිපත් කළ සාක්ෂි එක්සත් ජාතීන්ගේ පද්ධතියේ ප්‍රවේශය වෙනස් කර නැත.

කෙසේ වෙතත්, මෙවර තත්ත්වය වෙනස් විය හැකි අතර ශ්‍රී ලංකා පාලනය වෙනස් ආකාරයකින් ප්‍රතිචාර දැක්විය හැකිය. 2009 දී ආරම්භ වූ ශ්‍රී ලංකාව පිළිබඳ UNHRC යෝජනා පළමු වරට මතු වූ දා සිට, යුද්ධය අතරතුර සිදුවූ අතිශයෝක්තීන්ට සහභාගී වූ බවට චෝදනා කළ නොහැකි සාමාජිකයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් ශ්‍රී ලංකාවට ඇත. වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් ආරක්ෂක හමුදා යෙදවීම සහ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් තීරණ ගත හැකි බලය ඇති තනතුරුවල සිටියේ නැත. ඔවුන් අමාත්‍ය ධුර දැරූ එකම කාලය වූයේ 2004-2005 කාලය තුළ නෝර්වේ මැදිහත්වීමෙන් සිදු කෙරුණු සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ සහ පාර්ශ්වයන් අතර සන්නද්ධ ගැටුම් තාවකාලිකව නතර වූ කාලයයි. එම කාලය තුළ ජනාධිපතිවරයා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරය දැරීය.

පෙර ආණ්ඩු දෙක විසින් ගනු ලැබූ ගැටුම්කාරී මාවත දිගටම ගෙන යෑම වෙනුවට, නව ආණ්ඩුවට ඇති විකල්පයක් වනුයේ යෝජනාවේ විධිවිධාන අධ්‍යයනය කිරීමට, වර්තමාන ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය තහවුරු කර ගැනීමට සහ ඊළඟ වසරේ ක්‍රියාත්මක කළ හැකි දේ සොයා බැලීමට කාලය අවශ්‍ය බව පිළිබඳ ස්ථාවරයක් ගැනීමයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් මෙන්, දිසානායක පාලනයට UNHRC හි ඊළඟ හෝ පසු සැසිවාරවලදී යෝජනාවට සංශෝධන යෝජනා කරන බවට ස්ථාවරයක් ගත හැකිය. ශ්‍රී ලංකාවට සහ UNHRC යන දෙපාර්ශ්වයටම එකඟ විය හැකි යෝජනාවක් වීම ආදර්ශවත් වනු ඇත. ජනාධිපතිවරණයෙන් පසු සිදු වූ සාමකාමී බලය පැවරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාව කෙරෙහි සැලකිය යුතු යහපත් අදහසක් ඇති වී තිබේ.

• ජෙහාන් පෙරේරා

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05