පසුගිය දිනවලදී වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගිය අතර පොල් මිල ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති. වෙළෙඳපොළේ පොල් මිල ඉහළ යාමෙන් ආපන ශාලා ඇතුළු හෝටල්වල ආහාර පානවල මිලෙහි යම් වෙනසක් විය යුතු බව ඇතැම් හෝටල් හිමිකරුවෝ පවසති.
“අද පොල් මිල මාර විදියට ගණන්. ගිය සතිවල රුපියල් එකසිය අසූවට ලොකු පොල් ගත්තට මේ දවස්වල පොඩිම පොල් ගෙඩියක මිල රුපියල් එකසිය පනහක් වෙනවා. ඒ පොල් බෑයක් හිරමණයකට දාගන්න බැරි තරමට ගොඩක් පොඩියි. එහෙම පොල් අරගෙන අපිට කෑම හදන්න හරි අමාරුයි. ඒක පාඩුයි. එළවළු කෑම එකකදී එළවළු දෙකකටවත් පොල් ඕනෑ. සාමාන්‍යයෙන් අපි පොල් සම්බෝලයක් හදනවාම තමයි. ඉතින් වැඩි ගාණකට පොල් සම්බෝලයක් දෙන්නේ කොහොමද? මෙහෙම ගියොත් බත් පැකට් එකේ ගාණ වැඩි කරන්න තමයි වෙන්නේ” යැයි වෙළෙඳ ව්‍යාපාරික මංගල බොතේජු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
පොල් මිල ඉහළ යාම හේතුවෙන් ආහාර පාන මිල ඉහළ යැවීමට වෙළෙඳුන් උත්සාහ කළ ද පහුගිය කාලයේදී බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය දෑ වල වෙළෙඳපොළ මිල අඩු වීමේදී කිසිදු ආහාර පානයක මිල අඩු නොවුණු බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. විශේෂයෙන් පොල් මිල අඩු කාලයකදී වුවත් ඇතැම් හෝටල්වල ආහාරවලට නිසි පරිදි පොල් යෙදීමක් සිදු නොවන බවට ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
“මගේ ගම ගාල්ල බද්දේගම. රස්සාව නිසා කිරුළපන බෝඩිං වෙලයි ඉන්නේ. තුන්වේලටම කන්නෙ කඩෙන්. ගමේදී නම් කුඹුරේ හාලෙන් බත් ටිකක්, පොල් සම්බෝලයක් එක්ක වුණත් කන්න පුළුවන්. කොළඹ රස්සාවට ආවට පස්සේ මේ කඩ කෑම කන්න හරි අමාරුයි. පොල් සම්බෝල හදන්නේ පොල් කුඩු වලින්. එළවළු වෑංජනවල කිසිම කිරි රසක් නැහැ. තනිකරම වතුර රසයි. ඒ කඩවල කෑමවලට වතුර දාලයි උයන්නේ. ඉතින් පොල් මිල ඉහළ ගියා කියලා ඒ කඩවලට එතරම් පාඩුවක් නැතුව ඇති. පොල් මිල සාමාන්‍ය මිලට තිබුණු කාලෙදිත් ඒ අය ඉව්වේ වතුරෙන්.” යැයි කිරුළපන සජිත් මදුශංක මහතා පැවසීය.
මේ දිනවල පොල් මිල ඉහළ යාමට දින ගණනාවක් පුරාවට එක දිගට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව ද හේතු වී තිබේ. ඇතැම් දිස්ත්‍රික්කවල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් පොල් අස්වැන්න ලබා ගැනීමට නොහැකි විය. මේ හේතුවෙන් ද පොල්වල මිල ඉහළ ගොස් තිබිණි.
අනුරාධපුර පොල් වගාවට හානි කරන පොල් කුරුමිණියකු පොල් ගස්වලට ව්‍යාප්ත වීමේ අවදානක් පවතින බව ගොවියෝ සඳහන් කරති. මොවුන්ගෙන් පොල් වගාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇත. පොල් කඳ විනාශ කරන මෙම පොල් කුරුමිණියා සම්පූර්ණයෙන්ම ගස විනාශ කර නැවතත් ඒ ආසන්නයේ ඇති වෙනත් පොල් ගසකට ව්‍යාප්ත වේ. මෙයින් ඵලදාව විනාශ වී යයි. මේ දිනවල පොල් මිල ඉහළ යාමට මෙය ද තවත් එක් හේතුවක් විය හැකිය.
“පොල් දැන් කඩවල්වලට එන්නේ නැහැ. වෙනදාට සති පොළ තියෙන දවස්වලට පොල් ලොරි උදේ පාන්දර ඉඳන් මහරගමට එනවා. සමහරු කලින් දවසේ රෑ ඉඳන් මහරගමට පොල් ගේනවා. නමුත් මේ දවස්වල එහෙම වෙළෙඳාමට පොල් ගේන්නෙ නැහැ. පොල් ලොරි වැඩිය එන්නෙත් නැහැ. ගෙනාවත් ඒ පොල් පුදුම මිලක්. ඒවා අරගෙන අපිට වෙළෙඳාම් කරන්න අමාරුයි. පොඩිම පොල් ගෙඩියක් රුපියල් එකසිය පනහයි. ලොකු පොල් ගෙඩියක් රුපියල් දෙසීයක් වෙනවා. සමහරු ගණන් අහලා අරගන්නේ නැතුව යනවා. මේ විදිහට පොල් වෙළෙඳාම් කරන්න නම් අමාරුයි.” යැයි මහරගම වෙළෙඳාමේ කරන මානෙල් මහත්මිය දේශයට පැවසීය.
බොහෝ විට පොළවල්වලට පොල් ඇතුළු ඇතැම් දෑ ගෙන එනු ලබන්නේ ගම්බද ප්‍රදේශ වලිනි. එය ද කණ්ඩායම් වශයෙනි. දෙහිවල කරගම්පිටිය, මහරගම, අත්තිඩිය, බේකරි හන්දිය ආදී ආසන්නව පවත්වාගෙන යනු ලබන පොළවල්වලට දිනපත පැමිණෙන ගම්වල වෙළෙඳුන් කිහිප දෙනෙක් එකතු වී ගමෙන් එළවළු, පොල් ආදිය ලොරියක පටවා කොළඹ රැගෙන එති. ප්‍රවාහන වියදම් ඔවුහු සමව බෙදා ගනිති. නමුත් මේ දිනවල එලෙස නිරන්තරයෙන් එන සාමාන්‍ය වෙළෙඳුන්ගේ ද හිඟයක් පවතී. ඒ ආසන්නයේ ඇති හෝටල්වලට පොල් මිලදී ගනු ලබන්නේ මෙවැනි වෙළෙඳුන්ගෙනි. ඒ ලොරි මේ දිනවල පොළලට එන්නේ නැති තරම්ය. එයට ප්‍රධානම හේතුව වන්නේ පැවති ධාරානිපත වර්ෂාවත්, ගංවතුර තත්ත්වයත් බව කිව හැකිය. “පහුගිය කාලෙදි ලංකාවේ යම් නියඟයක් පැවතියා. පොල් මලක් හටගන්නා කාලයේ සිට ගෙඩියක් දක්වා වර්ධනය වෙන කාලය ඇතුළත නියඟයක් ඇතිවූ විට එයින් පොල් අස්වැන්නට බලපෑමක් ඇති වෙනවා. නියං කාලයකදී ඇට්ටි වැටීම වැඩියි. එහි ප්‍රතිඵලය දෙසැම්බර් මාසේදී විතර දැකගන්නට පුළුවන් වෙනවා. මේ දිනවල ලබා ගන්නා පොල් අස්වැන්න පෙබරවාරි මාර්තුවලදී වලු ලෙසින් හැදුණු ගෙඩියි. ඒ අතරේ පැවති නියං තත්ත්වය නිසා අස්වැන්නේ යම් අඩුවක් පවතිනවා. වසරකට පොල් වලු දොළහක් පමණ එක් ගසකින් ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔක්තෝබර් සිට ජනවාරි මාසය දක්වා එහි අඩුවක් දක්නට ලැබෙනවා. මේ දිනවල හටගන්නා පොල් මල් වලින් මැයි මාසේදී හොඳ අස්වැන්නක් දැකගත හැකියි. තෙතමනය පොළොවේ රැඳී පවතින නිසා ඒවා වැටීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා බොහෝ විට අස්වැන්න වැඩිවීමක් ඉදිරියේදී සිදු වෙයි. ඒ අනුව මිලෙහි අඩුවීමක් දැකගන්න පුළුවන් වේවි.” යැයි පොල් පර්යේෂණ ආයතනයේ සහකාර ව්‍යාප්ත නිලධාරී බණ්ඩාරනායක මහතා දේශයට පැවසීය.
මේ අතර පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආහාර ප්‍රතිපත්ති කමිටුව පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබුණි. ඒ අනුව රට තුළ පොල් හිඟයක් පවතින බවත්, වසර පහක කාලයක් තුළදී පොල් වගා සඳහා නිසි පොහොර යෙදීමක් සිදු වී නොමැති බවත්, පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් අද වන විට පොල් මිල ඉහළ ගොස් ඇති බවත් එහිදී අවධානයට ලක් විය. මේ හේතුවෙන් කඩිනමින් නගරයෙන් බැහැරව පවතින ගම්මානවල ඇති වතුවලින් ලබාගන්නා අස්වැන්න නගරයට ගෙන්වා අලෙවි කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර තිබේ.
• දිශානි ජයමාලි කරුණාරත්න