රජයට අයවිය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තුන් දෙනකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිර දඬුවම් නියම කෙරිණි.
2016 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.
අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වැනිදා නියෝගයක් නිකුත් කළේය.
මෙම නඩුව සඳුදා (ඔක්: 14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී, අදාළ නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයෙහි පෙනී සිටියහ.
තුන්වැනි විත්තිකරු වශයෙන් නම්කර සිටි ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ, ඉකුත් නොවැම්බර් මස නිකුත් කළ තීන්දුවට එරෙහිව තම සේවාදායකයන් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.
එහෙත් කොළඹ මහාධිකරණය විසින් අදාළ බදු මුදල් ගෙවන ලෙස ඉකුත් නොවැම්බර් මස 14 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ නොමැති බවත් අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.
ඒ අනුව, අද දිනය තුළ අදාළ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස 06 ක සිර දඬුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
ඒ අනුව අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම සිර දඬුවම නියම කෙරිණි.
මේ අතර, තමන්ට නියම වී ඇති මාස 06 ක සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් ඇතුළු වගඋත්තරකරුවන් දෙදෙනා කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
මෙම අභියාචනා අයැදුම් පත අදාළ නඩු තීන්දුව ලබාදුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වගඋත්තරකරුවන් එම අභියාචනය තුළින් ඉල්ලා තිබිණි.
අර්ජුන් ඇලෝසියස් යනු කවුද?
අර්ජුන් ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාය.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ Perpetual Treasuries සමාගමේ හිමිකරු වන්නේද අර්ජුන් ඇලෝසියස්ය.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සිද්ධියට අදාළ අනුබල දීම සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවෝ 2018 වසරේ පෙබරවාරි මස 4 වැනිදා රහස් පොලිසිය මගින් කොළඹ දී අත්අඩංගුවට ගනු ලැබූහ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් වෙත ලැබී තිබෙන බවට තොරතුරු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ 2017 වසරේදී හෙළිවිණි.
අනතුරුව වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගර ගත කර සිටි ඔහුට ඇප නියම වූයේ 2019 වසරේ ජනවාරි මාසයේදීය.
මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළ පරීක්ෂණ අවසන් වන කාලසීමාව පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් එම කරුණ ඇතුළු කරුණු කිහිපයක් සුවිශේෂී කරුණු සේ සලකා අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබුවේ, 2019 වසරේ ජනවාරි මාසයේදීය.
• BBC