වැස්සත් සමඟ අත්වැල් බැඳගත් රෝග දෙකක අවදානම රට පුරා පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. මදුරුවන් නිසා හටගන්නා ඩෙංගු වෛරස පැතිරීම සහ බැක්ටීරියා ආසාදනයක් වන මී උණ රෝගයන්ය. මේ හේතුවෙන් මේ වන විට හටගන්නා දින 3 කට වඩා පවතින උණ රෝගී තත්ත්වයන් ගැන දැඩි අවධානය යොමු කර නොපමාව වෛද්‍ය උපදෙස් පතන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට අවවාද කරයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට (NDCU) අනුව 2024 ඔක්තෝබර් 20 වනවිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 41,128 ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව 17,472 ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. තත්ත්වය කෙතරම් බරපතළ ද යත් දින 21 ක් තුළ රෝගීන් 1800 ක් වාර්තා වී ඇත. මේ වන විට 2024 වසරේ මේ දක්වා ඩෙංගු මරණ 20 ක් රට තුළ වාර්තා වී ඇති බව නිලධාරීහු පවසති. කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු බස්නාහිර පළාත විශේෂයෙන් දැඩි පීඩාවට පත්ව ඇති අතර රෝගීන් 10,110 ක් වාර්තා වී ඇත. බස්නාහිර හැරුණු විට ගම්පහ 4,744, කළුතර 2,243, සහ යාපනය 4,113 ඇතුළු අනෙකුත් ප්‍රදේශ ද සැලකිය යුතු බරපතළ මහජන සෞඛ්‍ය ගැටලු මතු කරමින් තිබේ. ඒ අනුව වැසි සහිත කාලගුණය මධ්‍යයේ ඩෙංගු යළි හිස ඔසවන්නට ඉඩ ඇති බවට ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඒ අනුව බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ඔක්තෝබර් 24, 25 සහ 26 යන දිනවල ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ප්‍රධාන වශයෙන් Ae. aegypti සහ Ae. albopictus මදුරුවන්, ශ්‍රී ලංකාවේ ඩෙංගු වාහකයන්ය. ඩෙංගු යනු ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ගැටලුවක් වන අතර මෑත අතීතයේ සෑම වසරකම රෝගීන් 50,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. 2022 ජූනි මාසයේ සිට ක්‍රමානුකූලව ඩෙංගු රෝගීන් වැඩිවීමක් වාර්තා වූ අතර 2023 දී වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 89,799 කි.
පසුගිය වසර දෙකක කාලය තුළදී, DENV-2 ඩෙංගු වෛරස මාදිලිය වැඩි පැතිරීමක් (46%) වාර්තා වී ඇත. එමෙන්ම DENV-3 (27.9%) සහ DENV-1 (24.1%) (4) ප්‍රභේදයන්ද ශ්‍රී ලංකාව තුළ, රෝගීන් ඉහළ දැමීමට දායක වී තිබේ. ඩෙංගු රෝගය ප්‍රථම වරට මෙරට තුළ ඇති බව විද්‍යාත්මකව තහවුරු වූයේ 1962 දීය. චිකුන්ගුන්‍යා රෝගය පැතිර ගියේ 1965 දීය. 1970 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව තුළ DENV-1 type1 සහ DENV-2 type 2 ඩෙංගු වර්ග දෙක ආධිපත්‍යය දැරීය. 1965-1968 දී සමස්තයක් වශයෙන් රෝගීන් 51 ක් සහ මරණ 15 ක් වාර්තා විය.
ඩෙංගු උණ, කෙතරම් තදබල වීද යත් එකල එය ‘අස්ථි බිඳීමේ උණ’ ලෙස හැඳින්විණි. මෙය ඩෙංගු වෛරසය නිසා ඇතිවන මදුරුවන්ගෙන් බෝවන නිවර්තන රෝගයකි. රෝග ලක්ෂණ ලෙස උණ, හිසරදය, මාංශ පේශි සහ සන්ධි වේදනාව සහ සරම්පවලට සමාන සමේ බිබිලි තත්ත්වයක් ද ඇතුළත් වේ.
ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ ද ශ්‍රී ලංකාවේ දැඩි ගැටලු මතු කර ඇති රෝගී තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසර පුරා මේ ආසාදන වාර්තා වන අතර, ආසාදිත මී මුත්‍රා මගින් ජලය අපවිත්‍ර වීමේ වැඩි හැකියාවක් හේතුවෙන් වර්ෂාපතනයෙන් පසු පැතිරීම් බහුලව සිදු වේ. මෝසම් දෙකෙන් පසුව ලෙප්ටොස්පයිරෝසිස් ආසාදන උච්ඡතම අවස්ථාවට පත්වන බැවින් රෝග ඇතිවීමේදී සෘතුමය විචල්‍යතාවය පැහැදිලිව දක්නට ලැබේ. මාර්තු-මැයි මාසවලදී රෝග ඇතිවීමේ මඳ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ඔක්තෝබර්-දෙසැම්බර් කාලය තුළ ඉතා ඉහළ උච්ඡස්ථානයක් දක්නට ලැබේ. මේ තත්ත්වයන් “යල” සහ “මහ” යන ප්‍රධාන වී වගාව සහ අස්වනු නෙලන කාලයන් දෙකට සාපේක්ෂව (විශේෂයෙන් අස්වනු නෙළන විට වැසි ඇද හැලෙන්නේ නම්) සමපාත වේ. සාමාන්‍යයෙන් ගංවතුරෙන් පසු ලෙප්ටොස්පයිරෝසිස් ආසාදන ඉහළ යාම වැඩිය.
ලෙප්ටොස්පයිරෝසිස් යනු කුඹුරු වගාව, ගව පාලනය සහ ඌරු පාලනය වැනි කෘෂිකර්මාන්තයට අදාළ වෘත්තීන් මෙන්ම මැණික් ගැරීම, අපද්‍රව්‍ය කාණු හා ඇළ මාර්ග වැඩ වැනි වෘත්තීන් හා සම්බන්ධ රෝගයකි. වගුරු බිම්වල සහ ජල මූලාශ්‍රවල විනෝද ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන්ට ද මෙම රෝගය වැළඳීමේ අවදානමක් ඇති විය හැක.
ලෙප්ටොස්පයිරෝසිස් යනු ලෙප්ටොස්පිරා ලෙස හඳුන්වන බැක්ටීරියාව නිසා මිනිසුන් තුළ ඇතිවන ආසාදනයකි. මෙම ක්ෂුද්‍ර ජීවීන් මීයන්, කෘන්තකයන්, සුනඛයන් සහ වන සතුන් වැනි ජලාශ ධාරක සතුන්ගේ වකුගඩුවල ස්වාභාවික පරිසරයේ දක්නට ලැබේ. ආසාදිත සත්ව මුත්‍රා මගින් ඍජුවම හෝ මුත්‍රා ආසාදිත වර්ෂාවෙන් හෝ ගංවතුර ජලයෙන් වක්‍රව ජලය සහ පස දූෂිත වේ. Leptospira බැක්ටීරියාව පල්වෙන ජලයේ හෝ තෙත් පසෙහි සති කිහිපයක් දක්වා පැවතිය හැක. මුත්‍රාවලින් දූෂිත වූ පස් සහ ජලය විශාල මිරිදිය ජලාශවලට හෝ කෙත්වලට මිශ්‍ර වීම මිනිසුන් අතර රෝග සම්ප්‍රේෂණය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කරයි.
ආසාදිත පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ ප්‍රකාශනය බොහෝ සෙයින් වෙනස් වේ. මෙම බැක්ටීරියාවට නිරාවරණය වන අයගෙන් බහුතරයක් රෝග ලක්ෂණ නොපෙන්වයි. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ බැක්ටීරියාවට නිරාවරණයෙන් පසු දින 5-14 ක් තුළ දිස් වේ. (බීජෞෂණ කාලසීමාව දින 2-30 කි). රෝග ලක්ෂණ ඇති විට, එය බොහෝ විට වෙනස් නොකළ උණ රෝගයක් ලෙස පෙන්නුම් කරයි. ආසාදිතයන්ගෙන් 5-10% පමණ දරුණු ආකාරයේ රෝග වර්ධනය විය හැකි අතර එය බොහෝ විට මාරාන්තික විය හැක.
ලෙප්ටොස්පයිරෝසිස් රෝග ලක්ෂණ අතර, අප්‍රාණික බව, මාංශ පේශි වේදනාව /තද බව, ඇස් තද රතු වීම, වමනය, මුත්‍රා කහ පැහැ වීම සහ ලේ මුසුවීම, මුත්‍රා යාම අඩුවීම, කැස්ස, හුස්ම හිරවීම සහ ආමාශ ආන්ත්‍රයික රෝග ලක්ෂණ සමඟ සීතල හා හිසරදය සමඟ උග්‍ර උණ දක්නට හැකිය. ඒ අනුව මේ ලක්ෂණ ඇති ඕනෑම පුද්ගලයකු වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීම වැදගත්ය. ලෙප්ටොස්පයිරෝසිස් හේතුවෙන් සිදුවන මරණයට වැදගත් හේතූන් වන්නේ වකුගඩු හෘදය හෝ ශ්වසන අකර්මණ්‍යතාවය, පුළුල්ව පැතිරුණු රුධිර වහනය හෝ මධ්‍යම ස්නායු පද්ධතියට සම්බන්ධ සංකූලතාය.
• සුගත් පී. කුලතුංග ආරච්චි