විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා මහවැලි එච් කලාපයේ ගොවීන්ගෙන් මඤ්ඤොක්කා මිලදී ගන්නා බවට ගිවිසුම්ගත කර ඒ ගිවිසුමට අදාළව ඒවා මිලදී නොගන්නා බවත්, ඒ හේතුවෙන් තමන් විශාල දුෂ්කරතාවයන්ට පත්ව සිටින බවටත් ගොවි කණ්ඩායමක් පසුගියදා චෝදනා කළහ.
ගිය වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මහවැලි එච් කලාපයේ එප්පාවල, මහඉලුක්පල්ලම, ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් මෙම පෞද්ගලික සමාගම වෙනුවෙන් තම වගාවන් ලබාදීමට ගිවිසුම් අත්සන් කර තිබුණි. ඒ දිග අඟල් හයට වැඩි, පළල අඟල් දෙකට වැඩි මඤ්ඤොක්කා සඳහාය. එහිදී ඔවුන් ගිවිසුම්ගතව ඇත්තේ මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් අනූවකට මිලදී ගැනීමටය. නමුත් මෙලෙස ගිවිසුම්ගත වූ ගොවි කණ්ඩායමෙන් පිරිසක් චෝදනා කර තිබුණේ ඒ ගිවිසුමට අනුව පෞද්ගලික සමාගම තමන්ගේ අස්වනු මිලදී නොගන්නා බවත්, ලක්ෂ ගාණක් වැය කරමින් වගා කර ලබාගත් අස්වැන්න නිසි දිනවලදී මිලදී නොගැනීම හේතුවෙන් තමන්ට විශාල පාඩුවක් සිදුවූ බවත්ය.
මෙකී පෞද්ගලික සමාගම මඤ්ඤොක්කා චිප්ස් (පෙති) පැකට් කර දේශීය වෙළෙඳපොළට සහ විදෙස් රටවලට අපනයනය කිරීමට බලාපොරොත්තු වන සමාගමකි. සමාගම පැවසුවේ පසුගිය දිනයන්හි අස්වැන්නේ තිබූ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් සහ තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් ගොවීන්ගෙන් අස්වැන්න ලබා ගැනීමට මඳක් ප්‍රමාද වූ බවය. එහෙත් මේ වන විට ගොවීන්ගෙන් අදාළ අස්වැන්න ලබා ගනිමින් ඒ අස්වැන්නට නිසි මුදලක් ලබා දෙමින් පවතින බවද මෙම සමාගම පවසයි. “ගිවිසුම්ගත කළ ගොවීන්ගෙන් මඤ්ඤොක්කා අස්වැන්න අපි සම්පූර්ණයෙන්ම මිලදී ගන්නවා. ඒ ගිවිසුමට අදාළව අපි සඳහන් කළ ප්‍රමාණයට අනුවයි. මඤ්ඤොක්කා දිගින් අඟල් හයක්, පළලින් අඟල් දෙකකට වැඩි ඒවා අපි මිලදී ගන්නවා. මෙම කටයුත්ත අපි ආරම්භ කළේ ගිය වසරේ සැප්තැම්බර් අගයි. මහා ඉලුප්පල්ලම, ගල්නෑව, එප්පාවල, ඇතුළු ප්‍රදේශවල අස්වැන්න මේ විදිහට අපි ගනිමින් සිටිනවා. සමහරු ගොවීන්ට අයුතු බලපෑම් කරමින් “අපි අස්වැන්න ලබාගන්නේ නැහැ. මේ මුදල් දෙන්නේ නැහැ..” කියලා අපි කෙරෙහි ගොවීන් තුළ තිබූ විශ්වාසය බිඳ දමන්නට උත්සාහ කළා. ඔවුන්ගෙන් සමහරක් අපිත් එක්ක සම්බන්ධ වුණු ගොවීන් නෙවෙයි. අපි මේ වන විටත් අදාළ අස්වැන්න ලබා ගනිමින්, එයට අදාළ මුදල් ද ලබා දෙමින් පවතිනවා.” යැයි පෞද්ගලික සමාගමේ නියෝජිත දසුන් මහතා දේශයට පැවසීය.
මහඉලුප්පල්ලම, එප්පාවල, ගල්නෑව ප්‍රදේශයේ අක්කර 80 ක් පුරාවට ගොවීන් මෙම පෞද්ගලික සමාගම වෙනුවෙන් මඤ්ඤොක්කා වගා කර තිබේ. ඔවුන් පවසන පරිදි මේ වන විටත් අක්කර විසිපහකට වැඩි ප්‍රමාණයක අස්වැන්න ලබාගෙන තිබේ. ගොවීන්ට ලබා දී ඇති දින වකවානුවලට අනුව ඉදිරියේදී ඒ අදාළ අස්වැන්න ලබා ගන්නා බවද සමාගම පවසයි.
“අපි ගොවීන්ගෙන් මඤ්ඤොක්කා කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 90 ටයි. ගිවිසුමේ සඳහන් වන්නේ ඒ විදිහටයි. මේ දවස්වල වෙළෙඳපොළේ ඊට වඩා අඩුවට තිබුණත් අපි ගොවීන්ගේ වගා බිමටම ගොස් රුපියල් 90 කට මඤ්ඤොක්කා මිලදී ගන්නවා. අනිත් ගොවීන්ට වෙළෙඳපොළට ගොස් ඒවා අලෙවි කරන්න සිදුවුවත් අපි ඔවුන්ගේ ගොවිපොළටම ගිහින් තමයි ඒවා මිලදී ගන්නේ.” යැයි එම සමාගමේ නියෝජිතවරයා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අපි මහවැලි අධිකාරියේ තඹුත්තේගම නියෝජ්‍ය නේවාසික කළමනාකරු (කෘෂිකර්ම) ඒ.එම්.එස්. අබේරත්න මහතාගෙන්ද විමසීමක් කළෙමු.
“මෙම පෞද්ගලික සමාගම ගොවීන්ගේ මඤ්ඤොක්කා මිලදී ගනු ලබන්නේ චිප්ස් හදන්නයි. ඒ වෙනුවෙන් ඔවුන් ගිවිසුමක්ද අත්සන් කරලා තියෙනවා. පහුගිය කාලයේදී එම සමාගමේ තිබූ ඉල්ලුම් ප්‍රශ්නයක් නිසා ගොවීන්ගෙන් මඤ්ඤොක්කා මිලදී ගැනීමට ප්‍රමාද වුවත් මේ වන විට ඒ අස්වැන්න ලබාගන්නා බව දැනගන්නට ලැබුණා. ඔවුන් සතියකට අවශ්‍ය ප්‍රමාණය මුලින් දැනුම් දීලා තියෙනවා. එක්තරා ගොවි මහත්තයෙක් මාසයකට පමණ පෙර මොවුන් අස්වැන්න ලබාගන්නේ නැහැ කියලා අපිට පැවසුවා. මම මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමඟ කතා කළා. ගොවීන් ලබා ගන්නා අස්වැන්න ගෙදර තියාගන්න බැහැ. ඒ වෙනුවෙන් ඔවුන් විශාල මුදලක් හා ශ්‍රමයක් වැය කරලයි තියෙන්නේ. කෙසේ වුවත් මේ සම්බන්ධව අපි ලිඛිතව එම සමාගම දැනුවත් කළා. ඔවුන් මේ වන විට අදාළ අස්වැන්න ලබා ගනිමින් පවතිනවා.” යැයි හෙතෙම පැවසීය.
මේ අනුව මේ වනවිට සමාගම ගැටලුවකින් තොරව මඤ්ඤොක්කා අස්වැන්න ලබා ගනිමින් පවතින බව ගොවීහු පවසති. “මගෙන් ඒ සමාගම අස්වැන්න අරගත්තා. මම අක්කර තුනක පමණ මඤ්ඤොක්කා වගා කළා. එයින් ගිවිසුමට අනුව අදාළ අස්වැන්න සමාගම ලබා ගත්තා. ඊට පෙර එම සමාගම අපෙන් මඤ්ඤොක්කා කොළත් මිලදී ගත්තා. ඒ සඳහා මුදල අපිට ලබා දුන්නා. මඤ්ඤොක්කා කිලෝවක් රුපියල් 90 කට ඔවුන් මිලදී ගත්තා. මුලින් කිලෝ හාරදහසකුත් පසුව දෙදහසකුත් මිලදී ගත්තා. තව ප්‍රමාණයක් ගැනීමට තියෙනවා.” යැයි බන්දුල ජයවීර ගොවි මහතා පැවසීය.
පසුගිය කාලයේදී තමන්ගේ අස්වැන්න ලබාගන්නේ නැතැයි ඇතැම් ගොවීන් චෝදනා කළ ද අද වන විට ක්‍රම ක්‍රමයෙන් එම අස්වැන්න අදාළ සමාගම විසින් ලබාගන්නා බවට ගොවීහු සඳහන් කරති.
“මම වගා කරපු මඤ්ඤොක්කත් මේ සමාගමට ලබා දුන්නා. මේ වන විට සීතල වැඩිකම නිසා මගේ අස්වැන්නෙන් යම් කොටසක් විනාශ වුණා. කොහොම හරි මේ වන විට කිලෝ නවදහස් හත්සීයක පමණ ප්‍රමාණයක් ඒ සමාගමට අපි මඤ්ඤොක්කා ලබා දීලා තියෙනවා. එයින් මේ වන විට භාගයක පමණ මුදල් අපිට ලබා දුන්නා. ඉතිරි මුදල් ද ඉදිරියේදී ලබා දෙනවා. අපෙන් ලබා නොගන්නා ප්‍රමාණය අපි වෙළෙඳපොළට දැම්මා.” යැයි සජිත් දොඩංගොඩ ගොවි මහතා දේශයට පැවසීය.
• දිශානි ජයමාලි කරුණාරත්න