කුණාටුව තවත් ප්‍රචණ්ඩ වෙමින් පැවති අතර වැස්ස අතරින් අඳුරු වටපිටාවේ පර්වතය මත දිලෙන දාගැබ යන්තමින් දැකගත හැක විය. නැවේ ගමනාන්තය වන ගොඩපවත පටුනේ වරාය ඈතින් පෙනුණ ද ඒ වෙතට යාත්‍රා කිරීමට චණ්ඩ මාරුතය ඉඩ දුන්නේ නැත. සේලරුවන් රුවල් අකුලා ගත්ත ද කුණාටුවෙන් ඒ මේ අත වැනෙන්නට වූ යාත්‍රාව මුහුදේ ගිලී ගියේය. සේලරුවෝ කිහිප දෙනෙක් මුහුදට බිලිවූහ. තවත් කිහිප දෙනෙක් ඔරුවල නැගී ගොඩබිමට පැමිණ යාන්තමින් දිවි බේරාගත්හ. මේ සිද්ධිය මගේ සිතේ ඇඳුණේ ගොඩවාය පුරාණ වරාය ආසන්නයෙන් සොයාගත් නෞකාව ගැන විස්තර සොයමින් සිටියදීය. මේ නැව ගිලී ගියේ ක්‍රි.පූ. 2 - ක්‍රි.ව. 2 අතර කාලයේ බව එය ගිලුණු ස්ථානයෙන් සොයාගත් පුරාවස්තුවල ස්වරූපයෙන් නිගමනය කර තිබේ.
හෝර්ටන් තැනිතලාවෙන් පටන්ගන්නා වලවේ ගඟ මහ මුහුදට වැටුණු ප්‍රධාන මුවදොර පිහිටියේ අම්බලන්තොට සහ හම්බන්තොට නගරවලට නුදුරින් පිහිටි ගොඩවාය නමැති කුඩා ධීවර ගම්මානය අද්දරිනි. වලවේ ගංගාව ලියන්ගස්තොට, රිදියගම, රම්බා විහාරය වැනි ඓතිහාසික ජනාවාස හරහා පැමිණ ගොඩවායෙන් සමුදුර සිප ගත්තේය. නමුත් පසුකාලීනව සිදුවූ පාරිසරික වෙනස්කම් මත ගංගාවේ ප්‍රධාන මෝය දැන් පිහිටා තිබෙන්නේ ගොඩවාය සිට කිලෝමීටර් දෙකක් පමණ එපිටින් පිහිටි අම්බලන්තොට නගරාසන්නයේ වාඳුරුප්පේය. වැලි පරයෙන් වැසී පවතින පැරැණි ගොඩවාය මුවදොර වර්ෂාව අධික කාලවලදී යළි සක්‍රිය වන ආකාරය අපට දැකගත හැකිය. ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ගම්වාසීහු එකතු වී පැරැණි මුවදොරේ වැලි ඉවත් කර ජලය මුහුදට බැස යාමට ඉඩ පාදා දෙති.
අතීත රෝහණයේ ප්‍රධාන වරාය බවට පත්ව තිබුණේ වලවේ ගං මුවදොර පිහිටි ගොඩවාය බව පුරාවිද්‍යා සාධකවලින් අනාවරණය වී අවසන්ය. ගොඩවාය, ගොඩපවත, ගෝඨපබ්බත ආදී විවිධ නම්වලින් මෙම වරාය හඳුන්වා තිබේ. මුහුදට නුදුරින් ඉහළ නගින ගෝලාකාර පර්වතය මත ඉදිවූ කුඩා දාගැබ නිසා ගොඩවාය නම ලැබෙන්නට ඇතැයි පැවසේ. තවත් ජනප්‍රවාදයක් වන්නේ මේ අවට බවුන් වැඩූ තාපසයකුට ගෝඨාභය රජු විහාරස්ථානය සාදා පූජා කළ නිසා රජුගේ හා තවුසාගේ නම් එක්කර ගෝඨපබ්බත යන නම ව්‍යවහාර කරන්නට ඇති බවයි.
වරායට නුදුරින් ගල් පර්වත පිරි කුඩා කඳු ගැටයක් මත තනා තිබෙන ගොඩවාය විහාරය ක්‍රිස්තු පූර්ව යුගයේ සිටම පැවැත එන පූජනීය ස්ථානයකි. විහාර භූමියේ ඉහළම ස්ථානයේ පිහිටි පර්වතය මත පිහිටි දාගැබ ප්‍රතිසංස්කරණයට ලක්ව තිබේ. එය මුහුදේ එන යාත්‍රාවලට කදිමට දිස්වන මඟ සලකුණකි. අප රටේ මුහුද අද්දර පර්වත මත බොහෝ දාගැබ් පුරාණයේ මුහුදට දිස්වන සේ තනා තිබෙන බව ගෝකණ්ණ, ලංකා පටුන හා කුච්චවේලි ආදී පුරාණ වරායන් ආශ්‍රිත විහාරවලින් පෙනේ. එම සලකුණ මගින් නාවිකයන්ට ඈත මුහුදේ සිටම පහසුවෙන් වරාය පිහිටි ස්ථානය නිශ්චිත කරගැනීමට හැකිවන්නට ඇත.
වර්තමානය වන විට ගොඩවාය සම්පූර්ණයෙන්ම ජනාවාස වූ පෙදෙසකි. එලෙස ජනාකීර්ණ වී නිවාස සහ ගොඩනැගිලි තැනීමට ගඩොල් සෑදීම උදෙසා පොළොව කැණීම් කර මැටි ලබාගැනීම වැනි කටයුතු සිදුව ඇති අතර ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුව ඇත්තේ මේ අවට පැරණි ජනාවාස සාධක බොහොමයක් විනාශ වී යාමයි. නමුත් 1994 වසරේ සිට 1997 දක්වා සිදු කළ පුරාවිද්‍යා ගවේෂණ මගින් මෙහි ජනාවාස ගැන වැදගත් තොරතුරු රාශියක් මතුවී තිබේ.
අපි මුලින්ම පිවිසුණේ ගොඩවාය ගොඨපබ්බත රජමහා විහාරය වෙතටයි. මාතර - තිස්සමහාරාම පාරේ 142-143 සැතපුම් කණු අතර පිහිටි දෙහිගහලන්ද මහා විද්‍යාලය අසලින් හැරී කි.මී. එකක් මුහුද දෙසට පියමං කිරීමෙන් විහාර බිමට පැමිණිය හැකිය. ගොඩවාය වරාය ගැන ඇති ලේඛනගත සාක්ෂිය හමුවන්නේ විහාර බිමේ පර්වතයක කොටා ඇති සෙල්ලිපියකිනි. සෙල්ලිපිය කොටා ඇති කුඩා පර්වතය මෑතකදී මණ්ඩපයකින් ආවරණය කර තිබේ. එහි මෙසේ සඳහන්ය:
“සිද්ධම් ගොඩපවත පටනහි සු(ඛ) සු(රි)යි රජ ගමණි අබය විහරට දිනි.”
“යහපතක් වේවා! ගොඩපවත වරායේ සාමාන්‍ය හා කුඩා අයබදු ගමිණි අභය රජු විහාරයට දෙන ලදී” යැයි කියැවෙන මෙම ගිරි ලිපියේ සඳහන් ගමණි අභය රජු පළමුවන ගජබාහු (ක්‍රි.ව. 114-136) ලෙස හඳුනාගෙන තිබේ. දෙවැනි සියවසට අයත් අක්ෂරවලින් ලියා ඇති මෙම ගිරි ලිපිය මුලින්ම සොයාගත්තේ 1914 දී පුරාවිද්‍යා කොමසාරිස් ඊ.ආර්. අයර්ටන් විසිනි. ඒ අවස්ථාවේදීම 6 වැනි සියවසට අයත් සෙල්ලිපියක් ද සොයා ගැනුණි. එහි ගොඩපවත විහාරය යනුවෙන් සඳහන් කර තිබේ. ගොඩවාය අනුරාධපුර යුගයේ සක්‍රිය වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවත් බදු එකතු කිරීම ආදී පරිපාලන කටයුතු රාජ්‍ය මැදිහත්වීමෙන් සංවිධානගතව පැවති බවත් මේ තුළින් අපට පැහැදිලි වේ. සාමාන්‍ය බදු විහාරයට පූජා කළ අතර ඊට අමතරව වරායෙන් විශාල ප්‍රමාණයේ බදු ආදායමක් ද ලැබුණු බව මින් පැහැදිලි වේ.
ගල් පර්වත බහුල විහාර බිමේ පැරණි ගල්කණු තැන තැන පැතිර තිබේ. පැරණි පිළිම ගෙය සහ උපෝසථඝරයේ නටබුන් ලෙස ඒවා හඳුනාගෙන ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ බොන් විශ්වවිද්‍යාල පර්‌යේෂණ කණ්ඩායම 1995 වර්ෂයේ ගොඩවාය විහාර පරිශ්‍රයේ කැණීම් කිහිපයක් සිදු කළෝය. පැරණි විහාරයේ පිළිම ගෙය ලෙස හඳුනාගත් ගොඩැල්ලේ කළ කැණීම්වලින් පොළොවේ සැඟවී තිබුණු විශාල බුදු පිළිමයක කැඩීගිය ගෙල, උරහිස්, පපුව පෙදෙස එහි දෙපා සහ එය පිහිටුවා තිබූ විශාල පද්මාසනය සොයාගැනීමට පර්‌යේෂකයන්ට හැකි විය. එම බුදු පිළිමය ආසන්න වශයෙන් මීටර 3.5 ක් පමණ උසකින් යුක්ත බව අනුමාන කර තිබේ. බොහෝවිට බෝධිසත්ව ප්‍රතිමා වීමට ඉඩ ඇති මීටර 1.5 ක පමණ උස පිළිම දෙකක කොටස්ද මෙහිදී මතු විය. පිළිම ගෙට ඇතුළුවන ස්ථානයේ කළුගල් පියගැට කිහිපයක් සහ දෙපස පිහිටි කොරවක් ගල් සහ සඳකඩපහණ ආදියේ ශේෂ හමුවී තිබේ. මේවා කැටයම්වලින් තොරය. කොරවක් ගල්වල බොරදම් බේරා තිබේ. පිළිම ගෙය මුලින්ම තනා තිබෙන්නේ ක්‍රි.ව. 2-5 සියවස් අතර කාලයේය. මෙහි තිබී පොළොන්නරු යුගයේ (13 වැනි සියවසට අයත්) ලීලාවතී රැජනගේ සමයේ කාසි හමුවීමෙන් ඒ කාලයේ ද විහාරය පැවති බව සිතිය හැකිය. ඒ අනුව ගොඩවාය විහාරය 13 වැනි සියවස දක්වා සියවස් ගණනාවක් බොදු බැතිමතුන්ගේ වන්දනාවට ලක්වූ බව පැහැදිලිය.
පිළිම ගෙය ආසන්නයේම පිහිටි නටබුන් ගොඩනැගිල්ල උපෝසථඝරයයි. එහි ගල්කණු 14 ක් ඉතිරිව පවතී. මෙම ස්ථානයේ කළ කැණීම්වලින් මැටි පහන් ආදී පුරාවස්තු කිහිපයක් හමුවිය. ඒවා 2-3 සියවස්වල සිට පොළොන්නරුව යුගය (11-13 සියවස්) දක්වා කාලයකට අයත් බවට නිර්ණය කර තිබේ.
විහාරයේ ගල්පව්ව මත තිබුණු පුරාණ දාගැබ මෑත අතීතයේ දී නූතන විහාරය ඉදිකිරීමේදී අලුත්වැඩියාවට ලක්කර තිබේ. දාගැබ වටා යන සේ ප්‍රාකාරයක් ද ඉදිකර ඇත. දාගැබට පහළින් ද ගල්පර අතර පැරණි ගොඩනැගිල්ලක් තිබූ බවට සාධක පවතී. විහාර භුමිය වටා යන සේ ප්‍රාකාරයක් පැවති බවට කැණීම්වලදී සාධක මතුවිය. එම ප්‍රාකාරය පිටතින් කළුගල්වලින් ද ඇතුළතින් ගඩොල්වලින් ද තනා තිබෙන බව හෙළිව තිබේ. ස්ථූපයට ගිණිකොණ දෙසින් වරාය දෙසට යොමුවූ ප්‍රවේශයක් තිබූ බවට සාධක ද හමුව ඇත. 1998 දී මෙම ප්‍රවේශයට උතුරින් විහාර ප්‍රාකාරයට පිටින් තවත් ගොඩනැගිල්ලක නටබුන් හමුවිය. එය දිග හා පළලින් මීටර 11 ක් වූ සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලකි. එය වරායේ තීරු බදු අයකළ ගොඩනැගිල්ල වන්නට ඇතැයි පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. එහි බිත්ති අලංකාර කිරීමට ඇත් සහ නෙළුම් මල් රූප යෙදූ ගඩොල් සවිකර තිබී ඇති අතර වහලේ උළු සවිකර තිබී ඇත්තේ යකඩ ඇණ වලිනි.
• ගොඩවාය පැරණි නැව
2003 දී ගොඩවායේ කිමිදුම්කරුවන් දෙදෙනකු වන පේමින්ද සහ සුනිල්ට ගලින් කළ නැංගුරමක් සහ ගල් බංකුවක් මුහුදේ කිමිදෙන විට හමුවිය. ඔවුහු ඒ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තිස්සමහාරාම කාර්යාලයට දැනුම් දුන්හ. (පසුව අනාවරණය වූයේ මේ ගල් බංකු නොව ඇඹරුම් ගල් බවයි) ඒ හෝඩුවාව ඔස්සේ ගොස් මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය ගොඩවාය විහාරස්ථානයට කි.මී. 4 ක් පමණ ගිනිකොණදිග මුහුදේ මීටර් 29-32 ක ගැඹුරින් ගිලීගොස් තිබුණු දැවමය රුවල් නැවක් සොයා ගැනීමට සමත් විය. මුලින්ම 2008 දී මෙහි පර්‌යේෂණ සිදුකළ අතර නැවත 2018 වර්ෂයේ දී යුනෙස්කෝ ආධාර යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම නැවෙහි පර්‌යේෂණ ආරම්භ කළේය. ගිලී ගිය නෞකාවේ අවශේෂ මීටර් 40 x මීටර් 22 පමණ ප්‍රමාණයක ගොඩැල්ලක ආකාරයෙන් මුහුදේ තැන්පත් වී තිබූ අතර ඒ මත ඉතා විශාල ලෙස කොරල්පර වර්ධනය වී පවතී. විවිධ වර්ගවල මැටි බඳුන්, ශිලාමය බංකු, අත්ගල්, වීදුරු කුට්ටි, තඹ කුට්ටි සහ හඳුනා නොගත් නැව් භාණ්ඩ විශාල ප්‍රමාණයක් ගිලීගිය නෞකාවේ අවශේෂ අතර තැන්පත් වී තිබෙන බව හඳුනාගැනීමට ලැබුණි. “මෙහිදී හමුවූ මැටි බඳුන් ලංකාව, ඉන්දියාව වගේ රටවල අදින් අවුරුදු 2000 කට පෙර භාවිත කර තිබෙනවා. මේ නැව අදින් අවුරුදු 2000 කට පෙර ගිලුණු නැවක් බව අපි අනුමාන කළා. ඒක විද්‍යාත්මක කාලනිර්ණයක් නම් නොවේ. මෙහි ඇඹරුම්ගල් විශාල සංඛ්‍යාවක් රැගෙන ගොස් තිබෙනවා. ඒවායේ අත්ගල් ද හමුවුණා. නැව තැනූ දැව කොටස් ද මෙතැනින් හමුවුණා.” මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ සඳහන් කර සිටී.
බිඳීගිය කාලරක්ත වර්ණ මැටි බඳුන් කැබලි විශාල ප්‍රමාණයක් එක මත එක තට්ටුවක් ආකාරයට සාගර පත්ලේ තැන්පත් වී තිබූ අතර විශාල ප්‍රමාණයේ ගබඩා බඳුන් (Storage Jars), මධ්‍යම ප්‍රමාණයේ බඳුන්, ආහාර පිසීමට භාවිත කළ මැටි බඳුන් (Cooking Bawls) කිහිපයක් ඒ අතර සුරක්ෂිත තත්ත්වයේ තිබුණි. ගබඩා බඳුනක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 80-100 පමණ උසකින් ද සෙන්ටිමීටර් 40-45 පමණ විෂ්කම්භයකින් ද යුතු විය. කාලරක්ත වර්ණ මැටි බඳුන් අදින් වසර 2000 කට පමණ ඉහත දී ඉන්දීය උප අර්ධද්වීප කලාපයේ ඉතා බහුලව භාවිත වූ මැටි බඳුන් විශේෂයකි. මෙම නෞකාවෙන් හමු වූ මැටි බඳුන් ක්‍රි.පූ. 2 - ක්‍රි.ව. 2 වැනි සියවසට අයත් වන බව පර්‌යේෂණ තුළින් අනාවරණය වී ඇත. මේවා මාගම රාජධානියට අයත් අකුරුගොඩ හා තිස්සමහාරාම පුරාවිද්‍යා කැණීම් මඟින් හමු වූ මැටි බඳුන්වලට ස්වරූපයෙන් සමානය.
නැවේ අවශේෂ අතර තිබූ නිල් පැහැති අර්ධ ගෝලාකාර හැඩයෙන් යුත් වීදුරු කුට්ටි ද විශේෂිතය. එවැනි වීදුරු කුට්ටි බහුලව හමුනොවන ද්‍රව්‍යයකි. වීදුරු වළලු, පබලු ආදිය නිර්මාණය කිරීමටත් මැටි බඳුන් වර්ණ ගැන්වීමටත් අමුද්‍රව්‍ය වශයෙන් මෙම වීදුරු කුට්ටි භාවිත කළ බවට සාධක පවතී. ඒ අනුව එබඳු නිෂ්පාදන කටයුතුවලට යොදාගැනීමට වෙනත් රටක සිට මෙම වීදුරු කුට්ටි ද ප්‍රවාහනය කරන්නට ඇත. මේවා කුමන රටකට අයත් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මෙයට පෙර වාර්තා අනුව ඉන්දීය සාගර කලාපයෙන් හමුවූ පැරණිම නැව වූයේ ඉන්දුනීසියාවෙන් හමු වූ 09 වැනි සියවසට අයත් නෞකාවයි. ගොඩවාය ආශ්‍රිතව හමු වූ මෙම දැව නෞකාව මෙරට මුහුදු සීමාවේ පමණක් නොව ආසියානු පැසිපික් කලාපයේම මෙතෙක් හමුවී ඇති පැරණිතම නෞකාව ලෙස සැලකේ.
ගොඩවාය විහාරය සහ වර්තමාන ධීවර වරාය පිහිටි ස්ථානයට කිලෝමීටර 6 ක් පමණ උතුරින් පිහිටි බෙරගමින් සහ කිලෝමීටර 8 ක් බටහිරෙන් පිහිටි ලූනමින් ද අවස්ථා දෙකකදී අහඹු ලෙස රෝම අධිරාජ්‍යයේ පසු අවධීන්ට අයත් කාසි තොග දෙකක් හමුවී තිබේ. 1994 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ජර්මන් බොන් විශ්ව විද්‍යාලය ගොඩවාය අවට ස්ථාන කිහිපයකම කළ පුරාවිද්‍යා කැණීම් කළේ මේ අවට ඓතිහාසිකත්වය තහවුරු කර ගැනීමටය. එහිදී පැරණි මැටි බඳුන්, මැටි බඳුන් කැබලි, ගඩොල්, මෙගලිතික සුසාන, කාල රක්ත වර්ණ මැටි බඳුන් කැබලි (Black and Red Ware) ආදිය හමුවිය. පැරණි ගොඩනැගිලි අවශේෂ සහ ගඩොල් ප්‍රාකාරයක නටබුන් තිබූ කුඩා කඳු ගැටයක් මත කළ කැණීමකදී බුදු පිළිම ශීර්ෂයක් ද හමුවිය. මෙහිදී හමුවූ වළං කැබලි ක්‍රි.ව. පළමුවැනි සියවසේ සිට 7-8 සියවස් අතර කාලයකට අයත් බවට කාල නිර්ණය කර ඇත. වර්තමාන විහාරයට වයඹ දෙසින් වලවේ ගඟ ආසන්නයේ කළ කැණීමකදී මැටි තැටි කිහිපයක්, පබලු, යකඩින් කළ කිසියම් නිර්මාණ දෙකක අවශේෂ කුඩා ඊයම් වළල්ලක් ආදිය හමුවී ඇත. ක්‍රි.ව. දෙවැනි තෙවැනි සියවස් වනවිට මේ පෙදෙස වරාය ආශ්‍රිත නාගරික ශිෂ්ටාචාරයක් පැවති බව එම සාධකවලින් හෙළිව තිබේ.
• කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - අන්තර්ජාලයෙනි