කෙළවරක් නොමැතිව සෑම සතියකට දෙකකට වරක්ම ශ්‍රී ලංකාවේ දුරකථන ජාල හෝ අන්තර්ජාල සේවා භාවිත කරමින් සිදු කරන වංචාවන් පිළිබඳ පුවත් වාර්තා කරන්නට අපට සිදුව තිබේ. ඉකුත් සතියේ ද එවන් පුවතක් වාර්තා වූ අතර එයින් කියැවුණේ ජංගම දුරකථන සඳහා යැවෙන කෙටි පණිවිඩ හරහා සිදුකෙරෙන වංචාවක් පිළිබඳවයි. මෙය එක්තරා සිදුවීමක් ලෙස ගෙන විග්‍රහ කරනවාට වඩා ක්‍රමවේද වෙනස් කරමින් විවිධ මුහුණුවරින් මෙම වංචනිකයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීම වටී.
රුපියල් 50,000 ක මුදලක් රජය මගින් ලබා දෙන බවට පවසමින් කෙටි පණිවුඩ මගින් එම ව්‍යාජ පණිවුඩය පළමුව දැනුම් දීම සිදුවන බව දැනගන්නට ලැබේ. අනතුරුව ඒ ඔස්සේ විවිධ හේතු පවසමින් ජනතාවගෙන් තවදුරටත් මුදල් ලබා ගැනීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කොට ඇත. මේ වන විටත් මෙම වංචාව පිළිබඳ පැමිණිලි ඉදිරිපත්ව තිබේ. විමර්ශන ද සිදුවෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය පිළිබඳ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගිය දා කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකර තිබුණි. විවිධ ක්‍රම උපාය මගින් ජනතා මුදල් වංචා කිරීම් මේ දිනවල වාර්තා වන බව ඔවුහු ද තහවුරු කළහ. පසුගිය දා මාධ්‍ය වෙත පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කොට තිබුණේ, මෙම පණිවුඩ සමඟ පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම හා එම ලින්ක් වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කිරීම සිදු නොකළ යුතු බවකි.
මීට සමාන වංචා රැසක් ආසන්න කාලය තුළ වාර්තා විය. ඉකුත් සාහිත්‍ය මාසයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීම සඳහා ණය මුදල් ලබා දෙන බවට පවසමින් සිදුවූ මෙවන්ම වංචාවක් වාර්තා වූයේය. මීට අමතරව ක්ෂණික ණය පහසුකම් ලබාදීමේ මුවාවෙන් සහ විවිධ තරග ජයගත් බවට පවසමින් මහජන මුදල් වංචා කිරීමට මෙම වංචනිකයන් කටයුතු කරමින් සිටින බව පෙනී යයි. දැනට පවතින නිරීක්ෂණ අනුව බොහෝවිට, මෙලෙස විවිධ ක්‍රමවේද භාවිත කරමින් විවිධ මුහුණුවරෙන් කලින් කලට මතු වන්නේ කලක් තිස්සේ මෙම අපරාධවල නියුතු අපරාධකරුවන්ය.
බොහෝ විට තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ඇති සයිබර් අපරාධකරුවන් මෙම වංචා පිටුපස සිටින බව පෙනී යයි. කෙටි පණිවුඩ සමඟ එවැනි සබැඳි (Links) වෙත පිවිසීමෙන් ඇතැම් අවස්ථාවල තමන්ගේ පෞද්ගලික තොරතුරු තෙවැනි පාර්ශ්වයන් වෙතට පත්වීමේ අවදානමක් උද්ගත වේ. තවද පසුගිය කාලයේ මෙම සබැඳි භාවිත කරමින් සිදු කරනු ලැබූ ප්‍රබලම වංචාවක් වූයේ, බැංකුවල වෙබ් පිටු සකසමින් ඒවා හරහා බැංකු ගිණුම්වල තොරතුරු සහ මුර පද එකතුකර ගැනීමයි. එහිදී සිදුව ඇත්තේ අදාළ සබැඳිය වෙත පිවිසෙන විට අපරාධකරුවන් විසින් ව්‍යාජ ලෙස සකසන ලද වෙබ් අඩවියක් වෙත වින්දිතයා රැගෙන යාමයි. එහිදී බොහෝ දෙනකු ඒ පිළිබඳ වැටහීමකින් තොරව තමන්ගේ තොරතුරු අදාළ වෙබ් පිටුව මත අනාවරණය කරති. අපරාධකරුවන් එම තොරතුරු ලබා ගනිමින් සත්‍ය ගිණුම්වලින් තමන්ට අවශ්‍ය පරිදි මුදල් ලබා ගැනීමට කටයුතු කළ අවස්ථා මේ වන විටත් වාර්තා වී තිබේ.
පසුගිය කාලය පුරාවට මෙවන් වංචා නිරන්තරයෙන් සිදුවූයේ සමාජ මාධ්‍ය ජාල සහ ඊ මේල් භාවිත කරමිනි. ඒ තුළ දැඩි අවදානමක් පවතින අතර අන්තර්ජාලය සම්බන්ධ නීති පුළුල් වන විට අපරාධකරුවන් විකල්ප ක්‍රියාමාර්ග වෙත ගමන් කර ඇති බව පෙනී යයි. බොහෝ දුරට කෙටි පණිවිඩ වෙත ඔවුන් අවතීර්ණ වී ඇත්තේ ඒ අරමුණින් විය යුතුය. තවත් අතකට මෙවන් වංචාවලට හසුවන්නේ විවිධ ආර්ථික ගැටලුවලින් පෙළෙන්නවුන් හා පීඩාවට පත්වූවන්මය. ඔවුහු වැඩිදුර නොහිතා ක්ෂණික සහනයක් ලබාගනු පිණිස මෙවන් වංචනිකයන් හමුවේ නිරාවරණය වෙති. එවන් අය වෙත පිවිසීමට ද කෙටි පණිවිඩ ක්‍රමවේදය සුදුසු බව අපරාධකරුවන් සිතනවා විය හැකිය.
මේ දිනවල නිරීක්ෂණය වන වට්ස්ඇප් ගිණුම් හරහා සිදුවන වංචාවක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කළ යුතුව තිබේ. ඉතා හොඳින් දන්නා හඳුනන අයකුගේ ඡායාරූපයක් සහිතව, ව්‍යාජ වට්ස්ඇප් ගිණුමක් නිර්මාණය කර මෙම වංචාව සිදු කරනු ලබයි. මෙහිදී සිදුවන්නේ ක්ෂණිකව හිතවත් පුද්ගලයා වෙත පණිවිඩයක් තබමින් මුදල් උපකාරයක් ඉල්ලා සිටීමයි. ඡායාරූපය හේතුවෙන් එතරම් සොයා නොබලා ඇතැම් අය මෙම වංචාවට ද හසුව ඇති බව දැන ගැනීමට ලැබෙයි.
තවද ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ වාර්තා වූ එක් වරක් පමණක් භාවිත වන මුරපද (OTP) වංචාව ද මෙම වංචා ගණයටම වැටෙයි. මෙහිදී සිදුව ඇත්තේ බැංකුව හෝ අදාළ මූල්‍ය ආයතනය ලෙස පෙනී සිටින පුද්ගලයකු ගිණුම් හිමියාට කතා කර ඔහු රවටා අදාළ මුරපදය ලබා ගැනීමයි. බොහෝ විට බැංකුව හෝ තමන්ගේ මූල්‍ය ආයතනය තමන් සමඟ කතා කරන බව සිතා ඇතැමුන් මෙම අංකය ඔවුන් වෙත ලබා දී තිබේ. එහිදී සිදුව ඇත්තේ අදාළ ගිණුම්වල මුදල් මුළුමනින්ම පාහේ වංචා කිරීමය.
ලෝකය තුළ වාර්තා වන බරපතළ ගණයේ සයිබර් අපරාධ තරම් ප්‍රබල නොවුණත් ක්‍රමිකව ඉහළ යමින් පවතින මෙම අපරාධ ද නොසලකා හැරිය නොහැක. මේවා දේශීය ආකෘතියට ගැලපෙන ලෙස මිනිසුන් රැවටීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක වී තිබේ. තවත් අතකට මෙම වංචාවලට හසුව සිටින්නේ අන්ත අසරණ පීඩිත ජන කොටස්ය. මිනිසුන්ගේ පීඩාවලින් සූරාකන මෙම වංචනිකයන් කඩිනමින්ම නීතියේ රැහැනට කොටු කර ගැනීම බලධාරීන්ගේ වගකීමකි.
මෙහිදී හොඳින් මතක තබාගත යුතු යථාර්ථය නම් මෙම කුඩා පරිමාණයේ වංචා නුදුරු අනාගතයේදී මහා පරිමාණ වංචා බවට පරිවර්තනය වීමේ පවතින හැකියාවයි. කඩිනමින්ම මෙම අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු නොකළහොත්, ඔවුන් ක්‍රමිකව සංවර්ධනය වී මහා පරිමාණ අපරාධ වෙත අවතීර්ණ වීමේ අවදානමක් උද්ගත වනු ඇත. ශ්‍රී ලංකාව තුළ සිදුවෙන මෙවන් මූල්‍ය වංචා, සයිබර් අපරාධ පිළිබඳ මීටත් වඩා වැඩි අවධානයක් සහිතව සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු වේ.
අනෙක් අතට පාසල් පද්ධතියේ සිට ඉහළට සියලු දෙනාට මෙවන් අපරාධ පිළිබඳව සහ අපරාධකරුවන්ගේ හැසිරීම් පිළිබඳව දැනුවත්භාවය ලබා දිය යුතුය. දැනට ශ්‍රී ලංකාවේ සිටින අපරාධකරුවන්ගේ ප්‍රමුඛතම අවිය බවට පත් වී තිබෙන්නේ මහජනයා තුළ පවතින නොදැනුවත්භාවයයි. එම නිසාම ජනතාව දැනුවත් කර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජනතා සහාය ලබා ගැනීමත් මෙහිදී අතිශය වැදගත් බව අවසානයේ අවධාරණය කරමු.
• චමිඳු නිසල් ද සිල්වා