රටේ යළිත් වරක් සහල් මිල ඉහළ යාමත් සමඟ සහල් හිඟයක් ද ඇතිවී තිබේ. ඕනෑම භාණ්ඩයක හිඟයක් ඇතිවී අනතුරුව හිඟය හේතුවෙන් මිල ඉහළ යයි. හිඟයක් ඇතිවන්නේ ඉල්ලුමේ තරමට සැපයුමක් නැති නිසාය. එවිට තිබෙන ස්වල්පය අධික මිලට අලෙවි කිරීම සිදුවේ. අද අපේ රටේ සහල්වලට සිදුව ඇත්තේද එයයි. අපේ රට සහලින් ස්වයංපෝෂිත බව නිතරම ප්‍රකාශ කෙරෙන්නකි. එසේ නම් හිඟයක් ඇතිවන්නේ කෙසේද? මෙය කෘත්‍රිම හිඟයක්ද නැතිනම් සත්‍ය ලෙසම සිදුවූ හිඟයක්ද යන්න සොයා බැලිය යුතුය. බොහෝ දෙනා පවසන්නේ අද රටේ ඇතිවී ඇත්තේ කෘත්‍රිම හිඟයක් බවය. අපේ ජනතාවගේ ප්‍රධාන ආහාරය බත්ය. බත් වෙනුවට විකල්ප ආහාර තිබුණද ඒවා පාරිභෝජනය කරන්නන් අඩුය. සියලු දෙනාම කැමති තුන් වේලටම බත් ආහාරයට ගැනීමටය. ඒ නිසා සහල් ඉල්ලුම දිනපතා වැඩි වනවා මිසක අඩු වන්නේ නැත.
අතීතයේ ජනතාවට සහල් සේරු දෙකක් සතියකට නොමිලේ දුන් බවද අනතුරුව එක සේරුවකට ශත විසි පහක් අයකර අනෙක නොමිලේ දුන් බවද පැරැණියන්ට මතකය. සහල්වලට කොතරම් ශක්තියක් තිබුණාද යත් ආණ්ඩු කඩන්නට මෙන්ම ආණ්ඩු හදන්නටද සහල්වලට හැකිව තිබුණි. ඒ නිසා සහල් නිරතුරුව දේශපාලනය හා සම්බන්ධය. එය අදටත් එසේමය.
අපේ රටේ සහල් නිෂ්පාදනය කර බෙදා හරින ප්‍රබල ව්‍යාපාරිකයෝ හතර පස් දෙනෙක් සිටිති. මුළු වෙළෙඳපොළම අයිති ඔවුන්ටය. සෙස්සන්ට එයට ප්‍රවිශ්ට වීමට අවස්ථාවක් නැත. එසේ ප්‍රවිශ්ට වුවද වැඩි ආයුෂක් නැත. මෙම මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහල් මෝල් හිමියන්ය. ඔවුහු ගොවියන්ගෙන් වී මිලට ගෙන කොටා සහල් නිෂ්පාදනය කර සිල්ලර කඩය දක්වා අලෙවි කරති. තමන් සතුව ඇති විශාල ලොරි රථ මගින් ගමේ පොඩි සිඤ්ඤෝ මුදලාලිගේ සිල්ලර කඩය දක්වාම ගමන් කරති. එක් එක් වෙළෙඳසල්වලට සහල් සපයන මුදලාලිලා සිටිති. වෙළෙන්දන් සහල් මිලට ගන්නේ ඔවුන්ගෙන් පමණි. තව කෙනකුට එයට ඇඟිලි ගහන්න තහනම්ය. මහා පරිමාණ මුදලාලිලා අතර ඇත්තේ එකම ස්ථාවර මිලකි. A මුදලාලි ළඟ ඇති සහල් වර්ගවල මිල B මුදලාලි ළඟ ද එසේමය. මිල උස් පහත් වීමක් හෝ කේවල් කිරීමක් නැත. සහල් මිල වැඩි වන්නේද, අඩු වන්නේද, හිඟ වන්නේද එකටමය. මෙය ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ “කතිපයාධිකාරි” වෙළෙඳාමක් ලෙසටය. ව්‍යාපාර කරන කිහිප දෙනා එකට එකතු වී එකම මිලක් පවත්වාගෙන යාම මෙහිදී සිදුවේ. මෙය ඒකාධිකාරී ව්‍යාපාරයකට සමානය. ඒකාධිකාරියේදී එක් ව්‍යාපාරිකයෙක් වෙළෙඳපොළ හසුරුවන අතර කතිපයාධිකාරියේදී වෙළෙඳුන් අතළොස්සක් එකම මිලක් පවත්වාගෙන යති. ප්‍රතිඵලය එකය. ඒ නිසා වෙළෙඳපොළේ පවතින මිලට බලපෑම් කිරීමට කිසිවකුටත් අවස්ථාව නොලැබේ. අරලිය, නිපුන, රත්න, ආරිය, මේනක, ඉෂාර ආදිය ප්‍රධාන නිෂ්පාදන වර්ගය.
පසුගිය දා නින්දෙන් අවදි වූවා මෙන් ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ තමා පාලන මිලට සහල් අලෙවි කරන බවය. ජනතාව සහල්වලට පාලන මිලක් තිබෙන බව හෝ දැනගත්තේ එම කතාවෙන් පසුවය. ඔහු පැවසුවේ ආණ්ඩුවට සහාය දැක්වීම සඳහා තමා පාඩු විඳගෙන හෝ සහල් පාලන මිලට දෙන බවය. මේ නිසා සහල් මිල අඩුවනු ඇතැයි ජනතාව සතුටු වූහ. අභාග්‍යයකි. මෙම මිල තිබුණේ දින දෙක තුනක් පමණකි. යළිත් සහල් මිල ඉහළ ගියේය. එයට එක් හේතුවක් වනුයේ මහා පරිමාණ වෙළෙඳුන් සහල් පාලන මිලට සිල්ලර වෙළෙඳුන්ට විකිණීමය. සහල් පාලන මිලට ලබාගෙන පාලන මිලට විකිණීමෙන් සිල්ලර වෙළෙඳුන්ට සිදුවන යහපතක් නැත. සේවක වියදම්, ප්‍රවාහන වියදම්, ගොඩනැගිලි වියදම් ආදිය ද මෙයට එකතු වූ පසු අතින් පාඩුය. ඒ නිසා සිල්ලර වෙළෙන්දෝ සහල් ව්‍යාපාරය අතහැර දැමූහ. එහිදී සිදුවූයේ කඩවල සහල් නැති නිසා සහල් හිඟයක් ඇතිවීමය. ඔය අල්ල පනල්ලේ තිබෙන සීමිත සහල් තොගවල මිල ඉහළ ගියේය. එසේම කීරි සම්බා, නාඩු, කැකුළු ආදී සහල්වල හිඟයක් ද ඇතිවිය. තවමත් එය විසඳී නැත.
මේ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහගෙන් විමසූ විට ඔහු පැවසුවේ පවතින සහල් පාලන මිල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවය. ඒ නිසා මෙම මිල පවත්වාගෙන යාමේ අපේක්ෂාවක් නොමැති බවය. ඒ මිලට දෙන්න බැරි නම් මිල පාලනය පවත්වාගෙන යාමේ තේරුමක් නැති බව හෙතෙම කියයි.
“පාලන මිලට සිල්ලර වෙළෙන්දාට සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. එයට හේතුව සිල්ලර වෙළෙන්දාට මෝල් හිමියන්ගෙන්, තොග වෙළෙන්දන්ගෙන් සහල් ලැබෙන්නේ පාලන මිලටයි. ඉතින් ඔහුට ඒ මිලට විකුණලා වැඩක් තියෙනවද? කම්කරු ගාස්තු, ප්‍රවාහන ගාස්තු, ගබඩා ගාස්තු ආදී වශයෙන් ඔහුට විවිධ වියදම් කිරීම් කළ යුතුයි. ඒවාත් කරලා කොහොමද පාලන මිලට දෙන්නේ? ලාභයක් නැතිව අතින් වියදම් කරගෙන විකුණන්න පුළුවන්ද? ඒ නිසා තමා සහල් වෙළෙදාමෙන් සිල්ලර වෙළෙන්දා ක්‍රමයෙන් ඉවත් වෙන්නේ. සහල් හිඟයක් ඇතිවීමටත් හේතුව එයයි. වැඩි මිලට අලෙවි කළොත් වැටලීම්වලට හසුවෙලා නඩු යන්න සිද්ධවෙන නිසා හොඳම විකල්පය තමා සහල් විකිණීම නැවැත්වීම.
හොඳම උදාහරණයක් ගතහොත් අද කීරි සම්බාවල පාලන මිල කිලෝව රුපියල් 260 යි. මෝල් හිමියා සිල්ලර වෙළෙන්දාට හාල් බාන්නෙ එම මිලටයි. ඒ මිලට අරන් ඒ මිලටම දෙන්න පුළුවන්ද? ඒ හින්දා වෙළෙන්දා සහල් විකිණීම නවත්වනවා. අද නාඩු සහල් හිඟයක් ඇතිවෙලා තියෙන්නෙත් ඒ නිසයි. නාඩුවල පාලන මිල රු. 220 යි. සිල්ලර වෙළෙන්දාට දෙන්නේ ඒ මිලට. සිල්ලර වෙළෙන්දාට පමණක් පාලන මිලක් පනවලා ප්‍රතිඵලයක් නැහැ. කළ යුතු වන්නේ මෝල් හිමියාට, තොග වෙළෙන්දාට, සිල්ලර වෙළෙන්දාට යන තිදෙනාටම පාලන මිලක් පැනවීමයි. එහෙම කරලා මෙම ගැටලුව යම් මට්ටමකට විසඳා ගන්න පුළුවන්. මෙය පාලන මිල දාලා ගැසට් කරලා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. සෑම දෙනාම ප්‍රායෝගික වෙන්න ඕනෑ.
අද වී අලෙවි මණ්ඩලය නමට විතරයි. එයින් කිසිම සේවයක් සැලසෙන්නේ නැහැ. වී අලෙවි මණ්ඩලයට සහල් මිලට ගන්න මුදල් නැහැ. දැන් මහා භාණ්ඩාගාරයෙන් මුදල් දෙන්නෙ නැහැ. ඒ නිසා මණ්ඩලයට සහල් මිලට මැදිහත් වෙන්න බැහැ. එසේම එහි නිලධාරීන්ට ප්‍රායෝගික දැනුමක් නැහැ. ක්ෂේත්‍රය සමඟ සම්බන්ධතා නැහැ. ආණ්ඩුව නියම කරන මිලට තමා සහල් ගන්න වෙන්නෙ. තමන්ටම මිලක් තීරණය කිරීමට ඒ අයට බලයක් නැහැ. පිටරටවල නම් මෙවැනි ව්‍යාපාරවලට ඒවා ගැන ප්‍රායෝගික දැනුමක් තියෙන අය පත් කරනවා. එහෙත් අපේ රටේ එහෙම නැහැ. නීතිඥයෙක් එහෙමත් නැතිනම් දොස්තර කෙනෙක් සභාපති කරලා පත් කරාවි. ඒ අයට දැනුමක් නැහැ. අහසට පොළොව වගෙයි.
අලුත් ආණ්ඩුවෙන් හෝ මේ පිළිබඳ අවධානය යොමුකර සුදුසු අය පත් කළ යුතුයි. එහෙම අය මේ ආණ්ඩුවට ඉන්නවා. බිම් මට්ටමේ සිට ආපු අය ඉන්නවා. ඒ අයගේ සහයෝගය මේ අවස්ථාවේදී ලබාගත යුතුයි. එහෙම කළහොත් ගැටලුව විසඳා ගන්න පුළුවන්. එහෙම නැතුව ආණ්ඩුව මාරු වුණාට ඔලු ගෙඩි මාරු කිරීමෙන් පමණක් වැඩක් වෙන්නෙ නැහැ. මිල ප්‍රකාශ කරන විට එම මිලට දීමට පුළුවන්ද කියලා සොයා බැලිය යුතුයි. මෙච්චර කල් එහෙම දෙයක් වුණේ නැහැ. මේ ආණ්ඩුවෙන් හෝ ඒ අඩුපාඩු සම්පූර්ණ වේවි යැයි සිතනවා.”
සහල් හිඟය පිළිබඳ කරුණු දක්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසන්නේ ආණ්ඩුව තීරු බදු සහනයක් සලසන්නේ නම් සහල් ආනයනය කර පවතින මිලට අඩුවෙන් අලෙවි කිරීමට තම සංගමය සූදානම් බවයි.
“ආණ්ඩුව බොහෝ වෙලාවට භාණ්ඩයක මිල ඉහළ ගියාම එහෙමත් නැති නම් හිඟයක් ඇතිවුණාම පිටරටින් ගේනවා. ඇයි හාල්වලට එහෙම කරන්න බැරි? මේ ප්‍රශ්නය විසඳන්න නම් සහල්වලට පවතින පාලන මිල ඉවත් කළ යුතුයි. පාලන මිල කියන එකක් ලොව කිසිදු රටක නැහැ. චීනය වැනි කොමියුනිස්ට් රටවලත් පාලන මිලක් පැනවීමක් නැහැ. අනිත් අතට වී වලට පාලන මිලක් නොපනවා සහල්වලට විතරක් පාලන මිලක් දැමීම අසාර්ථකයි. එය කවදාවත් ක්‍රියාත්මක කරන්න බැරි දෙයක්.
ගොවි නිෂ්පාදන ගොවියාටත් පාරිභෝගිකයාටත් සාධාරණ ලෙස නිෂ්පාදනය කර අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් රජයට තියෙන්න ඕනෑ. අනිත් අතට රටේ විවෘත ආර්ථිකයක් තියෙනවා යැයි කියමින් මිල පාලනය කළ නොහැකියි. විවෘත ආර්ථිකය තියෙන විට මිල පාලනය අසාර්ථකයි.
හාල් ඒකාධිකාරයක් තියෙනවා කියන කතාව පිළිගන්න බැහැ. මා දන්නා තරමින් ඩඩ්ලි සිරිසේන ළඟ නාඩු සහල් නැහැ. ඔහු නාඩු වී මිලට ගන්නේ හරි අඩුවෙන්. ඔහු කරන්නේ කීරි සම්බා සහල් බිස්නස් එකයි. නාඩු සහල් හිඟ නම් ඒවා නිෂ්පාදනය කරන්නට දිරි දිය යුතුයි. හිඟ ඇති දේ වලට පාලන මිලක් නියම කරලා වැඩක් නැහැ. පාලන මිල ඉවත් කළ විට මුලදී ස්වල්පයක් මිල වැඩිවෙලා පසුව සමතුලිත වෙයි. දැන් වෙලා තියෙන්නේ පාලන මිල තිබුණට බඩු නැති එකයි. අපේ රටේ භාණ්ඩ හිඟ වුණාම, මිල ඉහළ ගියාම කවදත් කරන්නේ ආනයනය කරන එකයි. ආසන්නම උදාහරණය බිත්තර ආනයනය කිරීම. එහෙම නම් ඇයි සහල් ආනයනය කරලා අඩු මිලට දෙන්න බැරි? අපේ සංගමයට සහල් ආනයනය කරන්න දෙනවා නම් අපි සූදානම්.
හැබැයි තීරු බදු අඩු කළ යුතුයි. එහෙම ආනයනය කරලා අඩු මිලට දෙන්න පටන් ගත් විට දේශීය සහල් ද මිල අඩු වෙයි. මෙයට ඉහත ද ඇතැම් ආණ්ඩුවලින් සහල් ආනයනය කළා අපට මතකයි.
සුපිරි වෙළෙඳසල්වල සහල් අලෙවි කිරීම අඩුවෙලා තියෙන්නේ පාලන මිලට වැඩියෙන් අලෙවි කළාම වටලයි කියලා බයට. පොඩි කඩවල සහල් පාලන මිලට වැඩියෙන් විකුණනවා. ඒ තැන්වලට විමර්ශන කණ්ඩායම් එනවා අඩුයි.
මේ අතර ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ මේ දිනවල ඇතැම් ප්‍රදේශවල ඇතිවී තිබෙන බව පවසන නාඩු හා සම්බා සහල් හිඟය කෘත්‍රිමව ඇතිකර තිබෙන හිඟයක් බවයි. මෙවැන්නක් හදිසියේ සිදුවීමට හේතුවක් නැතැයි ඔහු අවධාරණය කරයි. මේ නිසා සියලුම වී මෝල් හිමියන් සතුව ඇති වී සහ සහල් තොග ඉක්මනින් පරීක්ෂා කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් රජය සකස් කළ යුතු අතර එසේ නොකළහොත් ඉදිරියේදී හිඟය උග්‍ර වන අතර ඒ හේතුවෙන් මිල ඉහළ යාමේ අනතුරක් ඇතිවිය හැකි යැයි හේ කියයි.
“මේ වසරේදී පෙබරවාරි හා මාර්තුවල වී මෙට්‍රික් ටොන් ලක්ෂ 28 ක අස්වැන්නක් සහ පසුගිය වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර්වල මෙට්‍රික් ටොන් ලක්ෂ 16 ක් වශයෙන් මේ වනවිට මෙට්‍රික් ටොන් ලක්ෂ 44 කට ආසන්න අස්වැන්නක් ලැබී තිබෙනවා. මේ තොගය ලබන අවුරුද්දේ අප්‍රේල් දක්වා අපට අවශ්‍ය සහල් සැපයීමට ප්‍රමාණවත්. එහෙත් පසුගිය සතියේ නාඩු සහල් හිඟයක් මවා පා ඒ වනවිට රුපියල් 202 – 210 අතරේ මිලකට අලෙවි වූ නාඩු සහල් කිලෝව රුපියල් 220 – 230 දක්වා ඉහළ දමා තිබෙනවා.
මේ වනවිට සම්බා කිලෝව රුපියල් 230 ට වැඩියෙන් අලෙවි කරන අතර දැන් ගොවීන් ළඟ නාඩු වී නැහැ. මෙවර මාස් කන්නයේ අස්වැන්න ලැබෙන්නේ ලබන වසරේ පෙබරවාරිවලින් පසුවයි. මහා මෝල් හිමියන් දැන් අලෙවි කරන්නේ පසුගිය කාලයේ කිලෝවක් රුපියල් 80 – 100 අතර මිලට ගත් වී වලින් තැනූ නාඩු සහල්. එමගින් ව්‍යාපාරිකයන් විශාල ලෙස ලාභ ලබනවා. මෙම තත්ත්වය නිවැරදි කිරීමට නම් මෙම කන්නයේවත් අස්වැන්න හැකි තරම් රජය ලබා ගැනීමට දැන් සිටම පියවර ගත යුතුයි. රජය සතුව විශාල ලෙස තොග තිබෙනවා නම් මිල ඉහළ ගිය පසු ඒවා වෙළෙඳපොළට දමා මිල පාලනය කළ හැකියි. වී අලෙවි මණ්ඩලය එයට මැදිහත් විය යුතු අතර අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුයි.”
• යසවර්ධන රුද්රිගු