වර්තමාන මාලිමා රජය බලයට පත්වීමත් සමඟ සමාජයේ උණුසුම් මාතෘකාවක් වී ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ගන්නා තීන්දුය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ හෙවත් බැකප් තුනක් නැවත රජයට භාරදෙන ලෙස දැනුම් දී තිබුණේ පසුගියදාය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විවිධ අර්ථකථන සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක සඳහන් වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ වනවිට වාහන 8 ක් භාර දී ඇති බවත් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සන්තකයේ ඒ වනවිට වාහන 11 ක් පවතින බවත්ය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයට පිළිතුරු සපයමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රජයේ වාර්තාවේ සඳහන් වාහන 8 ක් නොව 6 ක් යැයිද අමතර වාහන රජයට භාරදීමට නියමිතව ඇතැයි ද එකී නිවේදනයේ සඳහන් විය.
කවරාකාර සමාජ කථිකාවක් පැවතියද හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත නමින් පනතක් තිබේ. එහි සත්‍ය වශයෙන්ම ඇත්තේ මොනවාදැයි දැනගැනීමේ අරමුණින් මම ඒ පනත කියවා බැලුවෙමි. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට විශ්‍රාම වැටුපක් ඇතුළු වරප්‍රසාද කිහිපයක් හිමිවෙයි. නිල නිවෙසක්, කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක්, ලේකම්වරයෙක්, ආරක්ෂක පිරිස සහ නිල රථ එයට අයත්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි වගන්තියට අනුව පසුව ගන්නා යම් යම් නීතිවලින් පෙර ලබාදුන් වැටුප හා විශ්‍රාම වැටුප අහෝසි කළ නොහැකි බව එහි සඳහන්ය. එය රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බවත් පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයෙන් වැඩි කළ හැකි වුවද එම වැටුප් දීමනා සහ විශ්‍රාම වැටුප් හිමිකම් අඩු කළ නොහැකි බවද එම වගන්තිවල සඳහන්ය.
හිටපු ජනාධිපති, මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ කරුණු සමාලෝචනයට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික විනිසුරුවරයකු ප්‍රධාන ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාදවල අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට මෑතක ලිපි යවා තිබිණි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකු කරුණු ඉදිරිපත් කර තිබූ අතර හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ සහ රණසිංහ ප්‍රේමදාසගේ බිරිය වන හේමා ප්‍රේමදාස නඩත්තුව සඳහා 2022 වසරේ සිට 2024 වසර දක්වා පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 27 කට ආසන්නය. 2022 වසරේදී කෝටි 7 ක්ද, 2023 වසරේදී කෝටි 8 ක් සහ මෙම වසරේදී කෝටි 11 ක් දක්වා වැඩි වී තිබේ. ඒ අතරතුර තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව සටන් කිරීමට හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමටද පසුගිය කාලය පුරා විවිධාකාර ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා විය.
1986 අංක 4 දරන පනතේ 2 වැනි වගන්තියට අනුව සෑම හිටපු ජනාධිපතිවරයකුටම සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකටම ඔහුගේ සහ ඇයගේ ජීවිත කාලය ඇතුළත වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය. යම් හෙයකින් උචිත නිවාසයක් නොසපයන අවස්ථාවකදී අවස්ථාවෝචිත පරිදි ඔහුට හෝ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන මාසික දීමනාවක් ගෙවිය යුතු යැයිද එහි සඳහන්ය.
පනතේ 3 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තාට තත්කාලයේ ගෙවනු ලබන මාසික වැටුපට සමාන දීමනාවක් සෑම හිටපු ජනාධිපතිවරයකුටම ගෙවිය යුතුය. එසේම අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම් ධුරය දරන තැනැත්තකුගේ මාසික වැටුපට සමාන මාසික ලේකම් දීමනාවක් ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ගෙවිය යුතුය. එසේම නිල ප්‍රවාහන සහ අදාළ පහසුකම් සැලසිය යුතු බවද පනතේ සඳහන්ය. 4 වැනි වගන්තියට අනුව හිටපු ජනාධිපතිවරයකු මියගිය අවස්ථාවකදී ඔහුට ලැබීමට හිමිකම තිබූ හෝ ජනාධිපති ධුරය දැරීම නතර වූ අවස්ථාවේදී ඒ හිටපු ජනාධිපතිවරයාට ලැබෙන්නට හිමිකම තිබූ මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන මාසික විශ්‍රාම වැටුපක් හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ඇගේ ජීවිත කාලයේදී ගෙවිය යුතුය. එසේම 5 වැනි වගන්තිය අනුව මෙම විශ්‍රාම වැටුප් සහ ගෙවීම් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුතු බව දක්වා තිබේ. හිටපු මුදල් අමාත්‍යවරයකු වූ මංගල සමරවීර මහතා එවක කැබ්නට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කළේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවෙස විශ‍්‍රාම ගැනීමෙන් පසුවද ඔහුගේ පාවිච්චිය සඳහා ලබාදීමට යෝජනා කරමිනි. එසේම මෛත්‍රී ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ව්‍යවස්ථාවේ වරප්‍රසාදවලට පිටින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීම සම්බන්ධයෙන්ද සමාජයේ වැඩි කතාබහට ලක් වූයේ බට පඳුරට ගිනි ඇවිලුණා සේය.
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මරණයෙන් පසු ඔහුගේ බිරිය වූ හේමා ප්‍රේමදාසට නිල නිවෙසක් හිමිවිය. ප්‍රේමදාස ජනාධිපතිවරයාගෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ ඩී.බී. විජේතුංග මහතාට කොළඹ නිල නිවෙසක් හිමි වුවද ඔහු එහි සිට ඇත්තේ ටික කලකි. ඉන් පසුව ඔහු සිටියේ පිළිමතලාවේ ප්‍රදේශයේ සිය පෞද්ගලික නිවෙසේය.
විධායක ජනාධිපති ක්‍රමයට නොහැකි ගැහැනියකු පිරිමියකු කරන්නටත්, පිරිමියකු ගැහැනියක කරන්නටත් පමණක් බව පැවසූයේ එකී විධායක ජනාධිපති ක්‍රමය මෙරටට හඳුන්වා දුන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනය. තමාගේ විශ්‍රාම වැටුප තමාම තීරණය කර ගනිමින් ජේ.ආර්. තම දෙවැනි ධුර කාලය නිම වීමට පෙර පාර්ලිමේන්තුව මගින් සම්මත කරගනු ලැබූ 1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත මගින් ස්ථාවර කර ගත් බව නොරහසකි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පාලන සමයේ සම්මත කරගත් කැබිනට් තීන්දුවක් අනුව ඇයගේ හිමිකමට ලබාගත් බව කියන බත්තරමුල්ලේ ඉඩම් කොටසක් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඉන්පසුව බලයට පත්වූ මහින්ද රාජපක්ෂ රජය පියවර ගත්තේය. එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා එම ඉඩම් කොටස අත්හිටුවීය. මේ ආකාරයට හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ සඳහන් වරප්‍රසාද සහ හිමිකම්වලට ව්‍යවස්ථානුකූල ආරක්ෂාවක් ඇති අතර එයින් පැහැදිලි වන දෙයක් වනුයේ මෙලෙස වත්මනේදී කප්පාදුවට ලක්වනුයේ ව්‍යවස්ථානුකූල නොවන වරප්‍රසාද සහ හිමිකම් බවය.
• සසංක චලන ගිම්හාන