හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කරමින් ඔවුනට ලබා දෙන වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස හා සෙසු වරප්‍රසාද සහ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළ වාර්තාවක් මාස දෙකක් ඇතුළත ලබාගෙන නීති සම්පාදනය කරන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
ජනතා ඡන්දයෙන් පත්වන මැති ඇමැති හා හිටපු ජනාධිපතිවරුන්ව වැටුප් දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස, වාහන, කාර්ය මණ්ඩල, කාර්යාල උපකරණ හා ආරක්ෂක නිලධාරීන් ආදී විවිධ හිමිකම්, දීමනා සහ වරප්‍රසාද පසුගිය කාලය පුරාම හිමි විය. එම හිමිකම්, දීමනා සහ වරප්‍රසාද ලබාදීම සඳහා මහජන බදු මුදලින් සැලකිය යුතු පිරිවැයක් වාර්ෂිකව දැරීමට රජයට සිදු වේ. එහෙයින් කරුණු අධ්‍යයනය කර මහා භාණ්ඩාගාරය වෙත අනවශ්‍ය වැය බරක් ඇති කරන සහ තාර්කික නොවන හිමිකම් දීමනා සහ වරප්‍රසාද තාර්කික පදනමක් මත සීමා කිරීම හෝ වෙනත් සුදුසු විකල්ප ක්‍රමවේද හඳුන්වා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.
දේශපාලනය යනු ජනතා සේවයකි. අතීතයේ දේශපාලනයට පිවිසියේ කිසියම් තත්ත්වයක් ආරක්ෂා කර ගැනීමට විනා මුදල් ඉපැයීමට හෝ වරප්‍රසාද හිමිකර ගැනීමට නොවේ. එහෙත් 1977 පසු මෙම ක්‍රමවේදය වෙනස් කෙරුණු අතර දේශපාලනය යනු හම්බකර ගැනීමේ ක්‍රියාවලියක් බවට පත් විය. දේශපාලකයන්ගෙන් වැඩි පිරිසක් වංචා, දූෂණවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ අතර පසුගිය කාලයේ 225 ම එපා යනුවෙන් ජනතාව ප්‍රකාශ කළේ ඔවුන්ගේ ක්‍රියා කලාපය ජනතාවට පිළිකුල් සහගත වූ බැවිනි.
වර්තමානයේ දේශපාලකයන්ට ලැබෙන වැටුප මෙපරිදිය. අගමැතිවරයාට මසකට රුපියල් 71,500 ක මූලික වැටුපක් හිමි වේ. කථානායකවරයා රුපියල් 68,000 ක් උපයන අතර නියෝජ්‍ය කථානායකවරයාගේ මූලික වැටුප රුපියල් 63,500 කි. කැබිනට් ඇමැතිවරයකුට සහ රාජ්‍ය ඇමැතිවරයකුට මසකට රුපියල් 65,000 ක මූලික වැටුපක් හිමිවන අතර අතර විපක්ෂ නායකවරයාට ද රුපියල් 65,000 ක මූලික වැටුපක් හිමිය. මේ හැර වෙනත් දීමනා සහ වරප්‍රසාද ඔවුනට හිමි වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වූ මූලික වැටුප රුපියල් 54,285 ක් වූ අතර ඔවුන් සඳහා වැටුප් සහ දීමනා වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 156 ක් පමණ වැය කිරීමට සිදුව ඇතැයි වාර්තා විය. වැටුපට අමතරව ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 10,000 ක්ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 50,000 ක්ද, සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 4500 ක්ද ඔවුනට හිමි විය. පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වූ විට දිනකට රුපියල් 2,500 ක දීමනාවක් ද රැස්වීම් නොපැවැත්වෙන දිනවල කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම වෙනුවෙන් දිනකට රුපියල් 2500 බැගින් මන්ත්‍රීවරයකුට හිමි වේ.
ඊට අමතරව කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මසකට රුපියල් 1,00,000 ක්ද, මන්ත්‍රී රක්ෂණ ආවරණය ලක්ෂ 20 ක් හා ඉන්ධන දීමනාව ද ඔවුනට හිමිය. මේවාට අමතරව තීරුබදු රහිත සුපිරි වාහන, නිල නිවාස, මුද්දර දීමනා, ඇමැති කාර්ය මණ්ඩල, ආරක්ෂාව සහ වසර 5 ක් පාර්ලිමේන්තුවේ සිටියහොත් විශ්‍රාම වැටුපක් ද අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වේ. එමෙන්ම ඉතා සුළු මුදලකට සුවිශේෂී ආහාර වේලක් පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ලබා ගැනීමේ වරප්‍රසාදය ද මොවුනට ඇත. 2019 වසරේ වාර්තාවලට අනුව ආහාරපාන සඳහා පාර්ලිමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 120 ක් පමණ වැය වී තිබූ අතර වර්තමානයේ එම වියදම මීට වඩා බොහෝ වැඩි විය හැකිය.
හිටපු ජනාධිපතිවරුන් සහ නැසීගිය ජනපතිවරයකුගේ බිරිය නඩත්තු කිරීම සඳහා 2024 වසර සඳහා රුපියල් ලක්ෂ 1100 ක් වෙන් කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර තිබිණි. මේ සියලු වරප්‍රසාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන්නේ ජනතාවට සේවය කිරීමටය. එහෙත් පසුගිය කාලයේ මොවුන් ජනතාවට සේවය කරනු වෙනුවට සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් කළේ ජනතාව තලා පෙලා තමන් පමණක් පැවතිය යුතුය යන අදහසින් කටයුතු කළ බව පසුගිය කාලයේ සිදුවූ ක්‍රියාවලින් පැහැදිලිය.
එහෙයින් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කළ යුතු බවට මතයක් මේ වන විට සමාජය තුළ නිර්මාණය වී තිබේ. මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මෙලෙස සඳහන් කළේය.
“වර්තමානයේ දේශපාලනයට පිවිසෙන්නට බොහෝ පිරිසක් කැමතියි. ඒ ජනතා සේවයට වඩා උපයා ගැනීමේ අරමුණින්. ඔවුන් මැතිවරණ සඳහා විශාල ලෙස මුදල් වැය කරනවා. ඔවුන්ට මුදල් නොමැති නම් ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන් වැනි අනුග්‍රාහකයන්ගෙන් මුදල් ලැබෙනවා. පාර්ලිමේන්තුවට පැමිණි පසු ඔවුන්ගේ අරමුණ වැය කළ මුදල් ඉපැයීම. නැතිනම් කිසියම් ලාබයක් උපයා ගැනීමයි. පසුගිය කාල පරිච්ඡේදය නිරීක්ෂණය කරන විට එය පැහැදිලිව පෙනෙන දෙයක්. අපේ රටේ පාලනයට අවශ්‍ය සේවය කරන අය විනා උපයා ගන්නට පැමිණෙන පිරිසක් නොවෙයි. අපි අගය කරන අපේ සාරධර්ම පද්ධතියක් තියෙනවා. අපේ හැම ආගමකින්ම කියන්නේ අල්පේච්ඡතාව, චාම්කම, නිරහංකාරත්වය. එහෙත් අපේ රටේ දේශපාලකයන් මෙහි අනිත් පැත්ත. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන වියදම් මේ අය සිදු කරනවා. අනවශ්‍ය ලෙස යාන වාහන භාවිත කරනවා. ආරක්ෂකයන් විශාල පිරිසක් ඔවුනට සිටිනවා. අවි ආයුධ තබා ගන්නවා. නවීන පහසුකම්, දුරකතන වැනි බොහෝ දේවල් ඔවුනට ලැබෙනවා. මේ සඳහා වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්.
කාලයක් තිස්සේ මේ රටේ හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කරන්නෙත් ජනතාවයි. වෙනත් රටවල එවැන්නක් දැකිය නොහැකියි. මේ අය සඳහාත් නිල නිවාස, යාන වාහන, ආරක්ෂාව, විශ්‍රාම වැටුප් වගේ බොහෝ දේ හිමි වෙනවා. ශ්‍රී ලංකාව වගේ කුඩා රටකට මෙතරම් වියදමක් දැරිය හැකිද? ඒ නිසා සාධාරණ ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට කටයුතු කළ යුතුයි. පවතින මජර දේශපාලන ක්‍රමයෙන් අත්මිදිය යුතුයි. අපේ පාර්ලිමේන්තුවට 225 ක් අවශ්‍ය ද කියන හැගීම මෙහිදී ඇති වෙනවා. නාස්තිය, දූෂණය නැවැත්විය යුතුයි. ඒ සඳහා ජනතාව ද පුහුණු කළ යුතුයි. පාසල් සමයේ සිට ඔවුන් යහපත් දේට යොමු කළ යුතුයි. පසුගිය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අපි දැක්කා. රටක් හදන තැන අය එහෙම හැසිරෙන කොට ජනතාව කොහොම හැසිරේද? ඒ නිසා රටට ආදර්ශයක් දිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. රටක නායකයන් ආදර්ශවත් වූ විට ඒ රට නිවැරදි දිශාවට ගමන් කරනවා. ඒ නිසා රටට අනවශ්‍ය වියදම් අවම කරගත යුතු වන අතර අනවශ්‍ය ලෙස දේශපාලකයන්ට ලබා දෙන වරප්‍රසාද සීමා කළ යුතුයි. එවිට දේශපාලනයෙන් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් දේශපාලනයට එන පිරිස නැති වෙලා රටට අවංකව සේවය කළ හැකි පිරිසක් දේශපාලනයට එක්වේවි.”
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා