අප කුමන මොහොතක හෘදයාබාධයකට හෝ වෙනත් දරුණු රෝගයකට, නැතිනම් අනතුරකට ලක්වේදැයි කිව නොහැකිය. එවැනි අවස්ථාවක අප පිහිටට සිටින හිතවතා සුවසැරියයි. 1990 යනු මිනිස් ජීවිත දහස් ගණනක් බේරාගත් අංකයකි. මෙම අංකයට ඇමතුමක් ලබාදීමෙන් ළඟම රෝහලට හෝ ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගියකු රැගෙන යෑමට ගතවන සාමාන්‍ය කාලය විනාඩි 12 කි. ශ්‍රී ලංකාවේ ඉතා යහපත් සෞඛ්‍ය සේවයක් පවතින නමුදු පවතින ගිලන් රථවලින් බොහෝ විට සිදුවූයේ රෝහලක සිට තවත් රෝහලකට රෝගීන් ගෙන යාම පමණක් වන අතර නිවසේ දී හදිසියේ රෝගී තත්ත්වයකට පත්වන පුද්ගලයකු කඩිනමින් රෝහලකට රැගෙන යාමට ගිලන් රථ සේවයක් නොවීය. ඒ සඳහා බොහෝ විට පෞද්ගලික වාහනයක පිහිට පතන්නට සිදු වූ අතර දිළිඳු ජනතාව ඉන් දැඩි පීඩාවකට ලක් වූහ. එහෙත් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම අපහසුතාව මගහරවා ගනිමින් ලංකාව පුරා ග්‍රාමීය ජනතාව වෙත ද විශාල සේවාවක් ඉටුකිරීමට හැකියාව ලැබී තිබේ.
සුවසැරිය ගිලන් රථ මගින් සපයන සේවාව දේශීය මෙන්ම ජාත්‍යන්තරයේ ද ඇගයීමට ලක්ව තිබේ. ඩිජිටල් තාක්ෂණය යොදාගත්, නොමිලේ ක්‍රියාත්මක, ලෝකයේ වේගවත්ම ගිලන් රථ සේවාවලින් එකක් ලෙස “1990” නම් කිරීමට ලෝක බැංකුව 2024 මාර්තු මාසයේ පියවර ගත්තේය. ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ලොව ගිලන් රථ සේවා අතර කඩිනමින්ම ප්‍රතිචාර දක්වන සේවාවක් බවට සුවසැරිය ගිලන් රථ සේවාව පත්ව ඇති බවටය. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය නියෝජ්‍ය සභාපති මාර්ටින් රේසර් ලෝක බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත සුවසැරිය පිළිබඳ වාර්තාවක් ගොනු කර ඇත්තේ දකුණු ආසියාවේ දිළිඳුකම තුරන් කිරීමේ තේමාව යටතේය. 2016 වසරේ සුවසැරිය ගිලන් රථ සේවාව මෙරටට හඳුන්වාදීමෙන් පසු මේ දක්වා ලක්ෂ 18 ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එහි සේවය ලබාගෙන ඇතැයි සුවසැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා සඳහන් කරයි.
ආරම්භයේදී එහි සේවය වැඩි වශයෙන් හිමි වූයේ නාගරික ජනතාව වෙතය. එහෙත් මේ වන විට එයට වැඩි ඉල්ලුමක් ඇත්තේ ග්‍රාමීය ප්‍රජාවගෙනි. ඈත දුෂ්කර ගම්මානවල හදිසි රෝගී තත්ත්වයට පත්වන රෝගීන්ගේ ඉටු දෙවියා වී ඇත්තේ සුවසැරිය ගිලන් රථ සේවයයි. සුවසැරිය වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණයෙන් 63% ක්ම ලැබෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවලිනි. මේ වන විට සුවසැරියට දුරකතන ඇමැතුම් ලක්ෂ 81 ක් පමණ ලැබී ඇති අතර දිනකට ඇමතුම් 5000 කට වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව දැන් පවත්වාගෙන යනු ලබන්නේ ලක් රජය මගිනි. ඒ සඳහා පෞද්ගලික අංශයේ පරිත්‍යාග ද හිමිව තිබේ. පූර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගි ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස ලද මුදලින් ටාටා සන්ස් පෞද්ගලික සමාගමෙන් ගිලන් රථ 297 ක් ලංකාව මිලදී ගත් අතර ඉන් “සුවසැරිය පදනම” පිහිටුවා ගිලන් රථ සේවය ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා රජය ද එයට ගිලන් රථ 25 ක් ලබා දුනි. 2018 වසරේ විශේෂිත පාර්ලිමේන්තු පනතක් මගින්, නිදහස් හා පෞද්ගලික සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන රජයේ ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමෙන් පසු සුවසැරිය ගිලන් රථ සේවාව වඩාත් කාර්යක්ෂම වූ බැව් ලෝක බැංකුව ද සඳහන් කර ඇත.
ජීවිත ගලවා ගැනීම සඳහා මේ වන විට ගිලන් රථ 322 ක් සේවයේ යොදවා තිබේ. මෙම සේවාව වඩාත් කාර්යක්ෂම ලෙසින් ඉටු කිරීම සඳහා ගිලන් රථ 450 ක් හා උපස්ථ ගිලන් රථ 25 ක් අවශ්‍ය බවටත් ඒ සඳහා තවත් ගිලන් රථ 150 ක පමණ හිඟයක් ඇති බවටත් අනාවරණ විය. එයට ප්‍රතිචාර දක්වමින් ටාටා සන්ස් පෞද්ගලික සමාගමේ නව සභාපති නටරාජා චන්ද්‍රසේකරන් මහතා සියලු පහසුකම් සහිත නව ගිලන් රථ 50ක් සුවසැරියට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව ද ගිලන් රථ 45 ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව නුදුරේදීම නව ගිලන් රථ 95 ක් සුවසැරියට එක්වනු ඇත.
සුවසැරිය ගිලන් රථ සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව යෙදවුමක් ද පසුගිය කාලයේ හඳුන්වා දුන්නේය. ඉන් රෝගියා, රෝහල්ගත කිරීමට පෙර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ක්ෂණිකව ලබාදීමට හැකිය. ඉන් ගිලන් රථයේ සිටින සේවා නිලධාරියාට ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයා සමඟ රෝගියා පිළිබඳ තොරතුරු රූපවාහිනී තිරයක් ඔස්සේ ලබා දිය හැකිය. එම තොරතුරු අනුව, රෝගියා, රෝහල්ගත කිරීමට පෙර වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සිදු කෙරේ. වාර්තා වන අන්දමට දිනකට රෝගීන් දහසකට පමණ සුවසැරිය තම සේවාව ලබා දෙයි. සුවසැරියේ අනුමත කාර්ය මණ්ඩලය 1900 කි. මේ වන විට 1100 ක පමණ පිරිසක් සේවයේ නිරතව සිටිති. විශේෂ පුහුණුවක් සහිත එම කාර්ය මණ්ඩලය විසින් මූලික ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබා දෙන හෙයින් බොහෝ ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකිව තිබේ.
සුවසැරිය ආරම්භ කිරීමට මුල් වූ හේතුව සුවසැරිය නිර්මාතෘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වරක් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙලෙසය. “2013 ජූලි මාසේ කන්තලේ දී අනතුරක් වුණා. ඊට මුහුණපෑවේ මගේ මිතුරියක්. ඇය මැරෙන්න ගියා. එදා තමයි මට හැඟුණේ රෝහලකට යන්නට නොහැකිව අපේ රටේ කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද කියලා. එයයි, සුවසැරිය ආරම්භ වන්නට මුල් වුණේ.”
ගතවූ කාලය තුළ සුවසැරිය ගිලන් රථ සේවය දැවැන්ත මෙහෙවරක් ඉටු කළ අතර එය ඇගයීමට පසුගිය අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව ද කටයුතු කළේය. කොරෝනා වසංගතය පැවැති සමයේ රෝගීන් රෝහල් කරා රැගෙන යෑමට සුවසැරිය ඉටු කළ මෙහෙවර අති විශාලය. එසමයේ කොවිඩ් රෝගීන් එක්ලක්ෂ හැත්තෑපන්දහසක් පමණ රෝහල්ගත කෙරුණේ සුවසැරිය මගිනි. මෙරටින් හමු වූ පළමු කොවිඩ් රෝගියා වූ චීන ජාතික කාන්තාව ද රෝහලට ගියේ සුවසැරියෙනි. සුවසැරිය තුළ දරුවන් බිහි වූ අවස්ථා ද කිහිපයකි. ඒ සෑම අවස්ථාවකම මවගේ සහ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට කාර්ය මණ්ඩලයට හැකි විය.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබුණු සුවසැරිය ගිලන් රථ සේවාව 2016 දී ආරම්භ කළ අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් මෙන්ම දේශපාලන පක්ෂවලින් දැඩි විරෝධයක් එල්ල විය. ඇතැමුන් පැවසුවේ අධික මුදලක් වැය කරමින් මෙම ගිලන් රථ ලංකාවට ආනයනය කර ඇති බවටය. එහෙත් ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ සියල්ලන් නිහඬ කළේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරමිනි. සුවසැරියට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මෙලෙස සඳහන් කර තිබේ.
“සුවසැරිය මෙරට ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක්. මෙම ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ. ඒ සඳහා වැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 22.7 ක මුදල ඉන්දීය රජය විසින් යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නා. සුළු පිරිසක් මෙම ගිලන් රථ මුදලට අරගෙන තිබෙනවා යැයි ප්‍රකාශ කරනවා.
පසුගිය රජය එක් ගිලන් රථයක් රුපියල් ලක්ෂ 194 බැගින් ගිලන් රථ 10 ක් මිලදී ගැනීමට කටයුතු කරන විට එය අධික මුදලක් යැයි මා පෙන්වා දුන්නා. සියලු උපකරණ සහිතව 2018 මාර්තු මාසයේ දී සුවසැරිය ගිලන් රථයක් සඳහා වැය වුණේ රුපියල් ලක්ෂ 54 ක පමණ මුදලක්. ඉන්දීය රජය විසින් සුවසැරිය ගිලන් රථ සියල්ල සහ එයට අවශ්‍ය සියලු උපකරණ මිලදී ගැනීමට, ප්‍රධාන ඇමතුම් මධ්‍යස්ථානය පිහිටුවීමට, සියලු කාර්ය මණ්ඩලය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පුහුණු කිරීමට, 2018 මැද භාගය දක්වා සියලු සේවකයන්ගේ වේතන ගෙවීමට සහ සියලු ගිලන් රථ නඩත්තු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 22.7 ක ආපසු නොගෙවිය යුතු පරිත්‍යාගයක් අදියර දෙකකින් ලබා දුන්නා. ඒ මුදලිනුයි ටාටා සමාගමෙන් ගිලන් රථ ඇතුළු උපකරණ මිලදී ගත්තේ. මෙම ගිලන් රථවලට අවශ්‍ය සමහර උපකරණ ඇමෙරිකාවෙන් පවා මිලදී ගෙන තිබෙනවා. නමුත්, මේ සඳහා වැය වූ සියලු මුදල් ගෙවලා තිබෙන්නේ ඉන්දීය රජය ලබාදුන් ප්‍රදානයෙන්. ඒ වෙනුවෙන් ලංකාවේ ජනතාවගෙන් සත පහක මුදලක් වියදම් කරලා නෑ. ඒ කියන්නේ මේ ගිලන් රථ ලංකාවට ලැබුණේ නොමිලේ.
එවක ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 156 ක් පමණ වුණා. මේ අනුව, මේ ගිලන් රථයක් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ 30 ක් වැනි මුදලකට. ඒ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට මෙන්ම නාවික රක්ෂණ ගාස්තු ගෙවීමට තවත් රුපියල් ලක්ෂ 24 ක පමණ මුදලක් වැය කර තිබෙනවා. ඒ කියන්නේ ගිලන් රථයක් සහ එයට අවශ්‍ය සියලු උපකරණ සහ ඖෂධ මිලදී ගැනීම ඇතුළු සියලු වියදම් සඳහා වැය කර තිබෙන්නේ රුපියල් ලක්ෂ 54 ක් වැනි මුදලක්.” යනුවෙන් සඳහන් කර තිබේ.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා