2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ඡන්දයකට කලින් එන පොරොන්දු

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද රජයේ සේවක ආකල්ප අනාවරණය කළේය. ආර්ථිකය බිඳ වැටුණු පසු අර්බුදයේ බලවත් පීඩනය, වැඩ කරන ජනතාව වෙත එල්ල විය. රජයේ සේවකයෝ එහිදී දරුණුම ප්‍රහාරයට ලක් වූහ. වැටුප් වැඩි කරන ලෙස බල කරන ලද නමුත් එවකට පැවැති ආණ්ඩුවේ උත්තරය යහපත් වූයේ නැත. වැටුප් වැඩි කරන පිරිවැය ආවරණය කර ගැනීම සඳහා බදු වැඩි කරන්නට සිදුවන බව අවධාරණය කෙරිණි. එම තීන්දුව පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බාධක තිබුණි. ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ස්ථාවර කරන ක්‍රියාමාර්ග සඳහා වියදම් පාලනය කරන ලද අතර එය පහසු පියවරක් වූයේ නැත. ආර්ථිකය නිසි මගට ගැනීමෙන් පසු පවත්වන ලද පළමු මැතිවරණයෙන් රජයේ සේවකයන්ගේ පමණක් නොව පොදු ජනතාවගේ තීන්දුව ද නිරාවරණය වී ඇත.

ජනාධිපතිවරණයට තරග කරන ලද ප්‍රධාන අපේක්ෂකයෝ ඡන්දදායකයන් ඉදිරියේ දැවැන්ත පොරොන්දු ගණනාවක් තැබූහ. රජයේ සේවක වැටුප් වැඩි කිරීම, පොහොර සහනාධාර, ඉන්ධන මිල අඩු කිරීම, විදුලිය ගාස්තු අඩු කිරීම සහ දුප්පත් ජන කොටස් සඳහා ආධාර ක්‍රම ඒ අතර යහමින් තිබුණි. ජාතික ජනබලවේගය ද පොරොන්දු ඉදිරිපත් කළේය. ඒවායෙන් ඇතැම් අදහස් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. 2025 අයවැය මගින් තවත් පොරොන්දු ගණනාවක් ඉටු කරන බව ප්‍රකාශ වී තිබේ. ආර්ථික වර්ධනයක් කරා යන ගමනේදී පොරොන්දු පිරිවැය සම්බන්ධ ඍජු බලපෑම අවධානයට ගත යුතුය.

ඡන්දයේ දී පොරොන්දු බලයට පැමිණි පසු යථාර්ථය

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ පොරොන්දු බහුලය. එය මෙරට පමණක් නොව දකුණු ආසියාවේ දේශපාලනයට පොදු කරුණකි. ලෝකයේ සෑම රටකම පාහේ බලයට පත්වීම සඳහා පොරොන්දු ඉදිරියේ තබන අවස්ථා ඇත. එහෙත් මේවා ඉෂ්ඨ කිරීම පහසු නැත. සෑම රටකම පාහේ පාලකයෝ පොරොන්දු හා යථාර්ථය අතර ගැටුමකට මුහුණ දී සිටිති.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ හාල් හඳෙන් ගෙනැවිත් දෙන බව ප්‍රකාශ වී තිබේ. ධාන්‍ය රාත්තල් අටක්, දුප්පත් ජනතාවට ඉතුරුම් සහතික පමණක් නොව හොරකම් නතර කර පාන් තුනයි පනහකට දෙන බවද සඳහන්ය. රජයේ රැකියා, ආණ්ඩුවෙන් ඉඩම් හා ගොවියන්ට පොහොර නොමිලේ සැපයෙන බව තවත් සමහරකි. නිදහසට පසු කාලයේ සිට අද දක්වා මැතිවරණ පොරොන්දු ලේඛනයක් සකස් කළහොත් එය විශ්වවිද්‍යාල උපාධියකට ඉදිරිපත් කළ හැකි පර්‌යේෂණයක් වනු ඇත. මෙම පොරොන්දු අතර යථාර්ථයක් ද ඇත. ඡන්දයෙන් පසු මෙම පොරොන්දු අමතක වේ. අනෙක් අතට පොරොන්දුවලට නතු වී කටයුතු කළහොත් ආර්ථිකය ගොඩනගන කාර්යය කරගත නොහැකි වේ. ඡන්ද දිනන්නට ජනතාව අතරට එන නායකයන් පසුව ඒවා අමතක කරන අතර වරින් වර පවත්වන මැතිවරණවලට දෙන පොරොන්දු හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වෙනුවට අඩාල වීම සිදුවන බව නොරහසකි.

සංවර්ධනය ගැන තීරණ ගැනීමේදී සිංගප්පූරුව ශ්‍රී ලංකාවේ හැසිරීම ආදර්ශයක් කොට කටයුතු කළේය. එහි නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා ශ්‍රී ලංකාවේ ඡන්ද පොරොන්දු නැති සම්පත් බෙදන ක්‍රමයක් ලෙස හඳුන්වා ඇත. ආර්ථිකයේ දුබලතා නොසලකා ප්‍රකාශ කරන බරපතළ පොරොන්දු ඉටු කරන්නේ කෙසේද යන්න ගණන් බලන්නේ නැති දේශපාලකයන් අවසානයේ දී පාඩම් ඉගෙන ගන්නේ ඊළඟ මැතිවරණයේදීය.

රජයේ සේවකයන්ට වැඩිපුර වැටුප්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයෙහි නිරත පිරිස ලක්ෂ 14 කට අධික බව අවිවාදිතය. දියුණු වන රටක් වශයෙන් ජන අනුපාතය පරිදි නොගැලපෙන තරමට විශාල රජයේ සේවක පිරිසක් සිටින බව පර්‌යේෂකයන් පෙන්වා දී තිබේ. රජයේ සේවය අකාර්යක්ෂම හා ඵලදායීතාවයෙන් තොර එකක් බව ද ප්‍රකාශ වේ. විශාල පිරිවැයක් දරන අතර මහජනතාව අපේක්ෂා කරන අරමුණු සාක්ෂාත් කෙරෙන්නේ නැත.

2002 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පළමු වතාවට ඍණ අගයක් ගත් අතර මේ හා සමානව ආර්ථික දුබලතා පැන නැගිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත්තේය. එම වකවානුවේදී ද ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතු අතර රජයේ සේවය කුඩා කළ යුතු බවට නිර්දේශ කර ඇත. එම වගන්ති නොසලකා සෑම වසරකම බඳවා ගැනීම් කළ නමුත් එම බඳවා ගත් රජයේ සේවකයන් පවා ඡන්දයක දී ආණ්ඩුවේ සහායට ඡන්දය පාවිච්චි කළේ නැත. රජයේ රැකියාව ලබාගත් පසු ඉහළ වැටුප්, අතිකාල දීමනා හා පහසුකම් සම්බන්ධ වෘත්තීය අරගලවල නිරතව ප්‍රතිපත්ති විවේචනය කිරීම සිදු වී තිබේ. එහි අවාසිය අවසානයේදී එල්ල වූයේ රටට හා ජන සමාජයට බව සඳහන් කළ යුතු වේ.

2024 ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා ඊළඟ මැතිවරණයට සූදානම් වේ. 2025 අයවැය මගින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව දක්වා ඇත. ලක්ෂ පහළොවක් පමණ වන රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන යෝජනාව සඳහා භාණ්ඩාගාරයට මුදල් සොයා ගැනීමට සිදු වේ. වාර්තා දක්වන පරිදි රුපියල් දස දහසකින් වැටුප් වැඩි කළහොත් රුපියල් බිලියන දෙසිය පනහක් පමණ අවුරුද්දකට වෙන් කළ යුතුය. මෙම මුදල අතිරේකව උපයා ගැනීම සඳහා ආදායම් අංශ බලගන්වන්නට සිදු වේ. රජයට අයත් ආයතනවල අලාභ සමඟ රජයේ සේවක වැටුප් වැඩි කිරීමෙන් පසු එයට මුදල් සොයන්නට නම් අත්‍යවශ්‍ය දේ සඳහා අලුතින් බදු පැනවීම හැර අනෙක් විකල්පයක් දැනට නැත.

විශ්‍රාම වැටුප් හා පොහොර සහනාධාරය ද පිරිවැයකි

ඡන්ද පොරොන්දුවක් අනුව වහාම විශ්‍රාමිකයන් සඳහා රුපියල් තුන් දහසක මාසික දීමනාවක් නියම කර ඇත. අවුරුද්දකට රුපියල් තිස් හය දහස බැගින් එක විශ්‍රාමිකයකුට වැඩිපුර ගෙවීමෙන් පසු රජයේ වියදම ඉහළ නැගේ. මෙම මුදල ගෙවන්නට කොතැනකින් හෝ අලුතින් මුදල් සොයාගත යුතු වේ. ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආණ්ඩුව මෙම සති කිහිපය තුළ දෙවතාවක් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කර තිබේ. රුපියල් බිලියන 182 ක් සියයට දහය ඉක්මවන ප්‍රතිලාභ ගෙවන පදනම මත රජය ණය ලබාගෙන ඇත. මේවා වත්මන් ආණ්ඩුවට පමණක් නොව කලින් ලබාගත් දේශීය ණය ආපසු ගෙවීම සඳහා ද විය හැකිය. කෙසේ වෙතත් අවුරුද්දකට පසු තවත් රුපියල් බිලියන දහඅටක පොලියක් සමඟ ගෙවීමෙන් පසු ඇතිවිය හැකි තත්ත්වය සුබදායක එකක් නොවේ. ණය ගැනීම වෙනුවට හැකි තාක්ෂණය පාලනය කරගෙන ආර්ථිකය කළමනාකරණය කරගත යුතුය.

විශ්‍රාම වැටුප්, හෙක්ටයාරයකට රුපියල් විසිපන්දහසක පොහොර සහනාධාරය, ධීවරයන් සඳහා ඉන්ධන සහන යනාදිය කෙළින්ම මුදල් ක්ෂය වන අංශ බව දැක්විය හැකිය. අනෙක් අතට ඉන්ධන මිල අඩු කර තිබේ. විදුලිය ගාස්තු ද අඩු කර ඇත. ඒවායෙන් ලැබුණු බදු හා වක්‍ර ආදායම් මාර්ග ද රජයට අහිමි වී තිබේ. ඉන්ධන හා විදුලිය ගාස්තු අඩුවීම හේතු කොටගෙන ප්‍රවාහන පිරිවැය ද ජීවන වියදම ද අඩු වී ඇත. පසුගිය මාස දෙක තුළ උද්ධමනය ඍණ අගයක් ගැනීම මගින් එය සනාථ වේ. ඡන්ද පොරොන්දු අනුව නැති සම්පත් බෙදන පසු රජය නැවතත් ආදායම හිඟ තැනකට තල්ලුවීම වැළැක්විය නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති රාමුව අනුව ආදායම ලබාගත හැකි මාර්ග හා වියදම් කළ හැකි අංශ ගැන සවිස්තරාත්මකව දක්වා තිබේ. අලුතින් පත් වූ ආණ්ඩුවට ජනතාවට සහන වශයෙන් මෙම රාමුව සීරු මාරු කිරීමේ වරම ඇත. පසුගිය දා ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කළ මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මෙම වරම නිකුත් කරන ලද බව පැහැදිලිය. ඉලක්කම් මාරු කර පොරොන්දු ඉටු කරන නමුත් අවසානයේ දී වන්දි ගෙවන්නේ පොදු ජනතාවගේ පොකට්ටුවෙන් බව සඳහන් කළ යුතු වේ.

තැනින් තැනින් වෙනුවට ප්‍රතිසංස්කරණ

දුටුගැමුණු කුමාරයාට යුද වදින ආකාරය කියා දුන් මහළු කාන්තාවගේ කතාව ජන සාහිත්‍යයෙහි ඇත. උණු කිරිබත් කන්නට කලින් පිඬු වශයෙන් තැනින් තැන තබා නිවාගත හැකිය. එය ප්‍රතිසංස්කරණයේ උපාය මාර්ගයකි. ප්‍රතිසංස්කරණ, ක්‍රම වෙනස් කිරීම, සිස්ටම් චේන්ජ් යන ඕනෑම ආකාරයකින් කියන්නේ පිළිවෙළක් හැදීම හැර අනෙක් දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය කාලය තුළ පිළිවෙළින් බැහැර වී ඇත. වියදම් පාලනය කරගත නොහැකි වී තිබේ. ආදායම ප්‍රමාණවත් නැති අවස්ථාවේදී දේශීය හා විදේශීය වශයෙන් දැවැන්ත ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත. එම ණය පරිභෝජනය වෙනුවෙන් ලබාගැනීම වඩාත් බරපතළ තත්ත්වය වී තිබේ. නිෂ්පාදනය වැඩි කරන අතර ආදායම ඉහළ නංවන ව්‍යාපෘතිවලට යෙදවීම ඉතාම අඩුය. මහ බැංකු වාර්තා දක්වන පරිදි සංවර්ධන කටයුතු සඳහා රජයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහකටත් අඩුය. එවැනි පසුබිමක් තුළ අලුතින් ධනය රටට ලැබෙන්නේ නැත.

මෙම අවස්ථාවේදී ස්ථාවර වී ඇති ආර්ථිකයේ වාසිය සමාජය සමඟ බෙදාගන්නට කලින් ආදායම ගොඩනගන්නට ඇති උපාය ගැන අවධානය යොමු කළ යුතු වේ. නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුව ඇත. නිපදවන දෙය මෙරට හෝ පිටරට වෙළෙඳාම සමඟ සම්බන්ධ කළහොත් රජයේ ආදායම ඉහළ යනු ඇත. විශ්‍රාමිකයන්ට හෝ රජයේ සේවකයන්ට වැඩි වැටුප් ගෙවීමේදී ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව වැඩිවනු ඇත. එවිට වෙළෙඳපොළ තුළ සැපයුම තිබිය යුතු වේ. මෙරටින් හෝ පිටරටින් සැපයිය යුතු අතර එසේ නොවුණහොත් ධනය අතට ලැබෙන ජන කොටස්වලට පාරිභෝගික භාණ්ඩ නොලැබීමෙන් නැවත අර්බුදයක් ඇතිවිය හැකිය. ඡන්ද පොරොන්දු ඉෂ්ට කිරීම අවශ්‍යය. ඡන්දයට පොරොන්දු දුන් පසු ඒවා කළ හැකි නොහැකි බව සලකා තීන්දු ගැනීම වැදගත්ය. පොරොන්දු පමණක් නොව ඒවා ඉටු කරන ධනය සොයා ගන්නේ කෙසේද යන්න ගැන ද කල්පනා කළ යුතු වේ. නැවත නැවතත් ණය ගෙන මුදල් අච්චු ගසා පියැවුවහොත් නැවත වටයකින් අර්බුදය තමන් අසලටම කැඳවා ගැනීමට අවදානමක් ඇත.

• සාරා කන්දෙගොඩ