2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය අපට පාඩම් රැසක් කියා දුන් සිදුවීමකි. ජාතික ආරක්ෂාව තඹයකට මායිම් නොකිරීමේ ප්‍රතිවිපාක අදටත් අපි විඳවමින් සිටිමු. ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් ලැබුණු තොරතුර පවා තැකීමක් නොකරමින්, ඒ ගැන සොයා බැලීමක් සිදු නොකෙරිණි. ඒ සඳහා ආරක්ෂාව සැපයීමට නොහැකි වීම හේතුවෙන් එම සිදුවීම අවසානයේදී මහා ඛේදවාචකයක් බවට පත් විය.
පසුගියදා එවැනිම තොරතුරක් විදෙස් ඔත්තු සේවා හරහා අපේ රටේ ආරක්ෂක අංශ වෙත ලැබී තිබුණේ ඔක්තෝබර් මාසයේ මුල් දින කිහිපයේය. ඒ ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රාලය සමඟ මැදපෙරදිග යුද්ධය ඇතිවීමත් සමඟ මෙරටට යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවන බවට වූ තොරතුරය. ඊශ්‍රායල ජාතිකයන් වැඩියෙන්ම ගැවසෙන ස්ථානයක් වන ආරුගම්බේ ප්‍රදේශයේදී ඔක්තෝබර් 17 ත් 23 ත් අතර කාලය තුළ මෙම ප්‍රහාරය එල්ල වන බවට එහි සඳහන් විය. ඒ අනුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් රැස්වූ ආරක්ෂක කවුන්සිලය වෙත අදාළ අංශ විසින් එම තොරතුර ලබා දී තිබිණි.
එම තොරතුර අනුව කියැවුණේ ඊශ්‍රායලය විසින් පලස්තීනයටත්, ලෙබනනයටත් ගාසා තීරය හරහා එල්ල කළ ප්‍රහාර හරහා හිස්බුල්ලා නායකයා මිය යාමත් සමඟ ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ලෝකය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඒ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ගනිමිනි. ශ්‍රී ලංකාව යනු මේ සමයේදී ඊශ්‍රායල ජාතිකයන් විශාල ලෙස සංචාරයේ නිරත වන රටකි. එහිදී ආරුගම්බේ වෙරළේ දියමත ලිස්සා යාමේ (සර්ෆින්) ක්‍රීඩාවේ යෙදීමට හැකි වීම ඒ වෙත සංචාරකයන් ඇදී යාමට හේතුවකි. එපමණක් නොව, මෙම සමයේ ආරුගම්බේ ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ජාතිකයන්ට අයත් හීබෘ ආගමික උත්සව රැසක් ද එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වීමට නියමිතව පවතී. එවන් වටපිටාවක ඊශ්‍රායල ජාතිකයන් වැඩියෙන් ගැවසෙන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සැලසුම් කර ඇති බවට එම බුද්ධි තොරතුරුවල සඳහන් විය.
ඒ අනුව ආරක්ෂක කවුන්සිය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සකසනු ලැබීය. මෙහිදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ, එම ප්‍රදේශයට මෙන්ම ඊශ්‍රායල ජාතිකයන් ගැවසෙන අනෙකුත් ප්‍රදේශවලට ද ආරක්ෂාව සැපයීමට කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පිටතට ලබා නොදීමට රජය කටයුතු කර තිබිණි. ඒ, අනවශ්‍ය කලබලයක් සිදු කර ආරක්ෂක සැලසුම් විනාශ වීමට ඉඩ තිබීමත්, ඒ හරහා සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් ඇතිවේ යැයි පැවති සැකයත් හේතුවෙනි.
පසුගිය බදාදා සියලු සැලසුම් කඩා බිඳ දමමින් ඇමෙරිකා තානාපති කාර්යාලය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ඒ ඇමෙරිකානු ජාතිකයන්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසත්, කොළඹ ආරක්ෂිත ස්ථානවල පමණක් සංචාරය කරන ලෙසත්ය. ඒ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවෙතැයි යන සැකය හේතුවෙනි. ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඊශ්‍රාලය ආදී රටවල තානාපති සහ කොන්සලර් කාර්යාල ද එලෙස අනතුරු නිවේදන නිකුත් කළේය. මේ තත්ත්වය මෙරට මාධ්‍ය තුළ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද ප්‍රචාරය විය. නොවැම්බර් සිට අප්‍රේල් දක්වා වූ කාලය මෙරටට සංචාරකයන් වැඩියෙන් පැමිණෙන කාලයයි. එවැනි මොහොතක මේ සිදුවීම සංචාරක කර්මාන්තයට එල්ල වුණු මරු පහරක් බවට පත් විය.
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සිදුවීමත් සමඟ ආරක්ෂක කවුන්සිලය නිරන්තරයෙන් කැඳවමින් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීය. එපමණක් නොව, මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට නොදැනෙන පරිදි ඔවුන් පසුපස පොලිස්, විශේෂ කාර්ය බලකා සහ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමට කටයුතු කෙරිණි.
මේ සියල්ල මැද ආරක්ෂක අංශ, සැකකරුවන් සොයා පරීක්ෂණ සිදු කළේය. ඒ අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශයට වාර්තා වුණේ මෙම ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනකු ගල්කිස්ස සහ වැල්ලවත්ත ප්‍රදේශයේ ජීවත් වන බවය. ඒ අනුව එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.
අත්අඩංගුවට පත් එක් අයකු දමිළ ජාතිකයකු වන අතර ඔහුට එල්ටීටීය සමඟ සබඳතා තිබූ අයකු බවට වාර්තා වේ. එසේම දෙවැනි සැකකරු මාලදිවයින් ජාතිකයෙකි. එහෙත් ඔහු ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා ඇති අයකු වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී බන්ධනාගාර ගත වූ අයෙකි. මොවුන් එකිනෙකා සම්බන්ධ කර ඇත්තේ ඉරාකයේ සිට පැමිණි අයෙකි. එම ඉරාකයේ සිට පැමිණි පුද්ගලයාත් තවත් ඉන්දියාවේ සිටින පුද්ගලයකුත් මොවුන් අමතා සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය සඳහා අවශ්‍ය දෑ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හමුවී ලබාගන්නා ලෙසය. එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මහා පරිමාණයෙන් ජාවාරමේ නිරතව සිටි අයකු වන අතර මෙම සැකකරුවන්ට මුදල් ලබා දීමට කටයුතු කර ඇත්තේ ද ඔහුය. කෙසේ වෙතත් මෙම පුද්ගලයන් එකිනෙකා සමඟ සිදු කළ සංවාද සියල්ල පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයාගෙන ඇත.
මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ගෙන් හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයා මේ වන විටත් සොයා ගැනීමට හැකි වී නොමැත. ඔහු සිටින ප්‍රදේශ පවා දුරකථනය ඔස්සේ පරීක්ෂා කළ ද ඒ සියල්ල විසන්ධි කර තිබේ. මේ වනවිට අදාළ සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රහාරය සැබැවින්ම සැලසුම් සහගත ප්‍රහාරයක් නොවන අතර මෙය හුදෙකලා ප්‍රහාරයක් ලෙස සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පැවසේ. විශේෂයෙන් වෙනත් කිසිදු සංචාරකයකුට හානියක් නොවන ආකාරයට අදාළ ඊශ්‍රායල ජාතිකයන්ට පමණක් මෙහිදී ප්‍රහාර හෝ තුවාල සිදු කිරීමට සැලසුම් කර ඇත.
පසුගියදා මාධ්‍ය අමතමින් නීතිය සාමය භාර අමාත්‍යවරයාත්, වැඩ බලන පොලිස්පතිවරයාත් ප්‍රකාශ කර සිටියේ මේ වනවිට ඒ පිළිබඳව කිසිදු අවදානමක් නොමැති බවය. එහෙත් අප අවධානයෙන් සිටිය යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව තවම මැදපෙරදිග ගිනි ගන්නා බැවිනි. ඒ, ගින්න නිවෙන තෙක් ලෝකයටම පවතින අනතුර එලෙසම බැවිනි.
• ගයාන් ගාල්ලගේ