ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ගැන වදන් වියමනකට පන්හිඳ සුරතට ගැනීමේ මොහොතේත් ඔව් මේ මොහොතේත් මා නෙත් අභියස මැවී පෙනෙන්නේ ගංගාරාම විහාරයේ ඇතුළු දොරටුව අබිමුව වැඩහිඳි ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ පින්සාර ප්‍රිය දසුනයි. යතිවර අහසම සදාතනිකව එකළු කළ පුර සඳක් වන් උන්වහන්සේ තරම් මානවවාදී ප්‍රේමයකින් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන තරම් මානවවාදී ප්‍රේමයකින් සහ උත්තරීතරම මනුෂ්‍යත්වයකිනන් ළය මඬල පුරවාගත් යතිවරයාණන් වහන්සේ නමක් මේ තත්ත්පරය දක්වා මට හමු නොවූ වග ලියන්නට අවසරයි අපේ පොඩි හාමුදුරුවනේ... මේ මහා විශ්වයේ සියලු ප්‍රාණින් වෙනුවෙන් ජාති, ආගම්, කුල, පන්ති, තරාතිරමේ භේදයකින් විනිර්මුක්තව උන්වහන්සේ ළය දරාගත් අසීමාන්තික ආදරය හා ළතෙත් ප්‍රේමය නමින් උන්වහන්සේගේ හදවත් යායේ පිපී සුසුවඳවත් කුසුම් මතින් විහිදුණු සුගන්ධනය පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේ සංසාර වීදි දිග සසර සක්මන සරාම රැගෙන යනු ඇතැයි සිත්වන්නේ ඒ සුවඳෙහි අක්මුල් ඔබවහන්සේගේ භව සැරිය පුරා ඔබවහන්සේ රැගෙන ආ සුවඳක් විලසින් මට යළි යළිඳු දැනෙන නිසාමය. හැඟෙන නිසාමය. එහෙයින්ම අප්‍රමාණ සමාජීය, ශාසනික මෙහෙවරක් දෙවුර දරාගත් යතිවර මහ රජෙකු වූ පොඩි හාමුදුරුවන් යනු නිර්වචනය කළ නොහැකි තරමේ මනුෂ්‍යත්වයක් සහ පරාර්ථකාමීත්වයක් උදෙසා මා හැඳිනගත් සොඳුරුතම සංනිදර්ශනයයි.
දකුණුලක පුරවරයේ ගල්බොඩ ගම්මානයේ ගොවිතැනින් සරුසාර පවුලක ගල්බොඩ කංකානම්ගේ දොන් මද්දුමගේ පියාණන්ටත් අමරවික්‍රම ලියනගේ සෙලෙහෙනා හාමි මාතාවටත් දාව 1943 උඳුවප් මස 14 වැනිදා ගල්බොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න නමින් මෙදියතට දෑස් විවර කළ පින්වත් කුල කුමරුන්ගේ බාල විය ගෙවුණේම සෞභාග්‍යමත්ව නිලට නිලේ දිදුලන අසිරිමත් ගම්මානයක ගහකොළ මල් මිටියාවත් අතරය. අහස සිඹින තුරු මුදුන් පිස හමා ආ සිහිල් සුළං රැල්වල අපමණ ආස්වාදය කැටි වූ වෙල් ඉපනැලි මත දුව පැන ඇවිදිමින් දඟකාරයකු ලෙස ගෙවාලූ ඒ සොඳුරු ළමා වියට ඒ දරුවා සිය කැමැත්තෙන්ම සසර පුරුද්දක් සදිසි හැඟුමකින්ම පැවිදි මුද්‍රාව සනිටුහන් කරලීමට ඉඩහසර උදා කර ගත්තේ එකොළොස් වැනි වියේදීය. ඒ 1954 නොවැම්බර් මස 08 වැනි දින ගංගාරාම විහාරාධිපති ලෙස වැඩ උන් දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමිපාණන්ගේ සහ දෙවුන්දර ශ්‍රී රතනජෝති නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙනි. එදවස පටන් දිවිසැරිය නිමා කරලූ ඉකුත් අගෝස්තුවේ දෙවැනි සිකුරාදා තෙක් අසූ දෙවසක් වූ දිවි සක්මනේ හැත්තෑ වසරක් වූ යතිවර දිවිය තුළ උන්වහන්සේ යතිවර වන මැද මහා වනස්පතියක් සේ වැඩ හිඳිමින් තැබූ ස්වර්ණවත් මුද්‍රා අපමණය. පොඩි හාමුදුරුවනේ... සංසාර සෙනසුන් සරා ස්නේහයෙන් කෘතවේදීත්වයේ කුසුම් ඔබවහන්සේ නමට පුදන්නට තරම් ඒ සත් දශකයක ඔබවහන්සේගේ අනුපමේය අසමසම ශාසනික මෙහෙවර හේතු වාසනා නොවන්නට නම් හේතුවක් නැත. එක් යුගයක යකුන්ගේ රැහේ ලේ ධාතුව දරාගත් නිර්භය රණශූර සෙම්පතියකු ලෙස හුණුපිටිය දනව්වේ නාහෙට නාහන උන් යතිවර අණසක මහිමයෙන් මෙල්ල කරමින් ප්‍රචණ්ඩත්වයේ රුදුරු මුල් මුදුන් මුලෙන්ම සිඳලූ යතිවර යුග සලකුණ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ය. ගංගාරාම පුදබිම වත්මනෙහි දරාගත් විශ්වීය කීර්තිය, අභිමානය එදා ඒ උන්වහන්සේගේ විපුල උදාරතර මහා මෙහෙවරෙහි නොසිඳෙන අස්වැන්නකි.
ගංගාරාමයේ විහාරාධිපති වුවත් උන්වහන්සේ හැමදාමත් සියල්ලන්ටම පොඩි හාමුදුරුවන් වූ ලොකු හාමුදුරුවන්ය. උන්වහන්සේ සිවුරු දෙවුර දැරූ සන්ධියේ ගංගාරාමයේ වැඩ උන් වයසින් ලාබාලම හිමිනම උන්වහන්සේ වූ බැවින් පොඩි හාමුදුරුවෝ ගැන ළයාදර ළතෙත් ආමන්ත්‍රණයෙන් උන්වහන්සේ අමතනු ලැබූහ. ඒ පොඩි හාමුදුරුවන් අසූ දෙවසරක පරිච්ඡේදය ජීවන පුස්තකයේ කියවමින් උන් මොහොත වන විටත් පොඩි හාමුදුරුවන්මය. යෝධ හයියෙන් යෝධ සිතුවිල්ලෙන් යෝධ වැඩ කළ පොඩි හාමුදුරුවන්මය.
මරණය යනු මේ විශ්වයට සපැමිණෙන කිසිවකුට කිසිදා අවසඟව යා නොහැකි නියත දහමකි. ඒ නියත දහමට එකඟව උන්වහන්සේ පොඩි හාමුදුරුවන් නමින් වූ භෞතිකය හැර ගියත් සංසාරයේ බොහෝ මාවත් හි වීදි දිග උන්වහන්සේගේ විඥානය තවත් භෞතිකයන් හා එක්වෙමින් සැරිසරනු ඇත. එහෙත් හදවත හදවත ප්‍රකම්පනය කරවන වේදනාවට හේතුව උන්වහන්සේ යළි කිසිදු දිනක ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ලෙස අපට හමු නොවීමය.
ගංගාරාම ඤාණිස්සර පිරිවෙන් අධ්‍යාපනය අවසන් කර 1961 වර්ෂයේ දී එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලය ලෙසින් නම් ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් ලද විවරණය තුළ සිංහල, පාලි, බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය යන විෂයන් මෙන්ම ඉංග්‍රීසි භාෂාව ද මැනවින් ප්‍රගුණ කළ උන්වහන්සේගේ බෝධිසත්ත්ව ගුණෝපිත ශ්‍රේෂ්ඨත්වය විදහා දැක්වූයේ ඒ ශිෂ්‍ය අවධියේ සිටමය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ කෙතරම් කාර්යබහුල වුවත් ඒ අවධියේදීම රෝගාතුර වූ තම ගුරු දේවෝත්තමයන් උන්වහන්සේට වයස අවුරුදු 18 සිට 23 වසරක් පොඩි හාමුදුරුවෝ උවටැන් කළහ. 1984 මැයි 16 වැනි දින උන්වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ වූ දෙවුන්දර ශ්‍රී වාචිස්සර නාහිමියන් අපවත් වන දින දක්වාම තම යුතුකම සොඳුරු වගකීමක් ලෙස දෙවුර දරාගත් පොඩි හාමුදුරුවන්ට ඉනික්බිති දෙවුර දරන්නට සිදුවූයේ ගංගාරාම විහාරයේ විහාරාධිපති ධුරයේ වගකීම් සමුදායයි.
ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් අපේ පොඩි හාමුදුරුවන්ගේ ශාසන දිවියේ කීර්තිමත් සංධිස්ථාන ද්විත්වයක් වන්නේ වර්ෂ 1979 දී ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය ආරම්භ කිරීම සහ නවම් මහා පෙරහර ආරම්භ කිරීමය. ගරා වැටුණු සීමාමාලකය නවතාවයෙන් ගොඩනැංවූ පොඩි හාමුදුරුවෝ උදකුක්ඛේප සීමාමාලකය ත්‍රෛනිකායික යතිවාරයාණන් වහන්සේලාට විනය කර්ම කිරීමට හැකි ශක්‍යතාවෙන් යුත් කේන්ද්‍රයක් බවට පත් කළහ. නිසැකවම එදා මෙදා තුර උන්වහන්සේ සිංහ වෙසින් නැගී හිඳ ඕනෑම නිරිඳකුට කටයුත්ත නොවලහා පවසමින් ගත යුතු ප්‍රායෝගික සක්‍රීය ඵලදායී තීරණයක් වෙත්නම් ඕනෑම බාධාවක්, පවුරු පදනමක් බිඳ හෙලමින් එම ක්‍රියාව ප්‍රායෝගිකකරණය කරමින් සිදු කළ අප්‍රමාණ අසීමාන්තික සේවාවන් ගොනු කළ හැක්කේ පත්තර පිටුවකට නොව මහා පුස්තකයකටැයි සිතෙන තරම්ය.
පොඩි හාමුදුරුවන් සැමවිටම ප්‍රායෝගික බුද්ධියෙන් චින්තනයෙන් ක්‍රියා කළ සඝ රජෙකි. උන්වහන්සේගේ සංකල්පයක් අනුව නිර්මාණය කළ කතරගම විශ්‍රාම ශාලාව අදටත් කතරගම වන්දනාවේ යන සැදැහැවතුන්ට මහත් වූ උපකාරයකි. ඕනෑම අයෙකුට නොමිලේම නවාතැන් ලබාදෙන එය සියලු සැප පහසුකම්වලින් අනූන නවාතැනකි. උන්වහන්සේට තිබුණේම ගැනීමට නොව දීමටම පුරුදු වූ සිතකි. අතකි. රටට, රටේ පුරවැසියන්ට විපතක් වූයේ කවර මොහොතක ද පොඩි හාමුදුරුවෝ කළ හැකි සියල්ල ඉටුකිරීම තම පුරවැසි මෙහෙවරක් ලෙස සලකා ඉදිරිපත් වූ වගට ගෙනහැර දැක්විය හැකි සංනිදර්ශන බොහෝ වෙත්! මහ බැංකුවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ, දළදා මාලිගාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොඩි හාමුදුරුවෝ නොබියව ඉදිරිපත් වී සහන ඇවැසි සියල්ලන්ට සුවිශේෂී සහනදායී කාර්යයන් ඉටු කරමින් මුදල් පරිත්‍යාග කළහ. සුනාමි ව්‍යසනයේ දී මෙන්ම ගංවතුර, නාය යාම්, නියං, මේ ආදී ස්වභාවික විපත්වලින් ජනතාව අසරණ වූ සෑම මොහොතකම ගංගාරාම ද්වාරය අබියසින් පිටත් වන ආහාර සහ ඇවැසි සියලු භෞතික භාණ්ඩ ඇතුළත් ලොරි පෝලිම නෙතට නුහුරු දසුනක් නොවේ. පොඩි හාමුදුරුවන්ගේ ඒ සියලු සද්කාර්යයන්හි දී උන්වහන්සේගේ ශිෂ්‍ය යතිවර හිමිවරුන් වූ උන්වහන්සේ සපැමිණි මඟේම පියවර තබා සපැමිණි ආචාර්ය කිරින්දේ අස්සජී හිමි, පල්ලේගම රතනසාර හිමි ඇතුළු මහා යතිවර හිමිවරු ද සිටියහ.
සරලත්වයට කඩිසර බවත්, නූතනත්වයත් මැනවින් සම්මිශ්‍රණය වූ ප්‍රායෝගික මහා පෞරුෂයක් උදෙසා පරමාදර්ශී ප්‍රතිබිම්බයක් සදිසි වූ පොඩි හාමුදුරුවෝ කිසිදා වියපත් නොවූ නිර්භීත කාර්යශූර ඍජු යතිවර මහරජ යැයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හඳුන්වා දිය හැකි යතිවර මහ රජෙකි. ගෝලීය ලෝකයට කිසිදා බිය නොවූ පොඩි හාමුදුරුවෝ ඇවැසි තැන්වලදී ගංගාරාම පසුබිම ජාත්‍යන්තරකරණයකට නතු කළහ. ගංගාරාම විහාරය විශ්වීය සබඳතා ජාලයක කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහ. විශ්වීය සංකල්පනා ගංගාරාමය කේන්ද්‍රීයව ලෝකයට රැගෙන යාමෙහිලා පුරෝගාමී වූහ. කිසිවක් හෝ කිසිවෙක් විෂයෙහි කිසිදා අන්තවාදියෙක් නොවූ පොඩි හාමුදුරුවෝ නවමු සංවර්ධනාත්මක ප්‍රවේශයන් සහ ඩිජිටල් ලෝකය සමඟ ථෙරවාදී බෞද්ධ දැක්ම ද මැනවින් සම්මිශ්‍රණය කළහ. ලාංකික භික්ෂු වංශයේ ගෝලීයකරණය වූ ප්‍රථම භික්ෂුව ලෙස සම්භාවනාවට පාත්‍ර වූ උන්වහන්සේගේ නිරන්තර ප්‍රාර්ථනාව වූයේ සෑම මුව මඬලකම සිනහව දැකීමත් කිසිදු දෑසක කඳුළක සේයාවන් නොදැකීමත්ය. ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් පවසන ආකාරයට ළතෙත් හිත් මඬලක් ඇති නමුදු උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම උන්වහන්සේ හඬා ඇත්තේ දෙවතාවකි. ඒ උන්වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ අපවත් වූ දින සහ ගංගාරාමයේ ඇතා ජීවිතයට සමුදුන් දිනයි.
උන්වහන්සේ තුළ තිබුණේ වදනින් මෙතෙකැයි විස්තර කළ නොහැකි තමේ සත්ත්ව කරුණාවකි. දුර බැහැර පෙදෙස්වල වඩින විට උන්වහන්සේට දානය පිණිස සපැමිණෙනු මැනැයි දායක දායිකාවන්ගෙන් කොතෙක් ආරාධනා ලැබුණත් සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයන් ශක්තිමත් කරනු රිසින් උන්වහන්සේ කළේ එහෙව් තැන් බලා බත් පාර්සල් මිලට ගැනීමය. එසේ බත් පාර්සල් මිලට ගනිද්දී කෑමට සිටින්නේ දෙදෙනකු නම් උන්වහන්සේ තවත් එක් බත් පාර්සලයක් වැඩියෙන් මිලට ගත්හ. ඒ උන්වහන්සේ විවේකී සුවයෙන් වළඳද්දී සාගින්නේ පෙළෙන කවර හෝ සත්ත්වයෙක් එතැනට පැමිණියහොත් හිතේ හැටියට ඒ සත්ත්වයාගේ කුසගින්න නිවන ප්‍රාර්ථනාවෙනි. ගංගාරාමයේ ගස් මුදුන් හි උන්වහන්සේ ආහාර රැඳවුම් ගැටගසා තැබුවේ ඒ පින්බිමට ඉගිල්ලී එන කුරුල්ලන්ට ගස් මත යනෙන ලේනුන්ට ඇති තරම් කා කුසගින්න නිවා ගන්නටය. අලි ඇතුන් කෙරේ උන්වහන්සේගේ තිබූ ප්‍රේමයට ගංගාරාමයේ ඇතාටත් ගංගාටත් උන්වහන්සේ තුළ වූ ආදරය මැනවින් පසක් කරයි.
යෞවනය ඉමක් නොදැන අතරමං වනු දැකීමට නොරිසි වූ පොඩි හාමුදුරුවන් වහන්සේ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලය අරඹා එහි වෘත්තිය පාඨමාලා පනහක් පමණ ක්‍රියාත්මක කරමින් නොමිලේම දරුවන්ට ඉගෙන ගැනීමට වාතාවරණයක් නිමැවූයේ සවිඥානික බුද්ධියකින් දරු මනස තේරුම් ගත් මනසින් ප්‍රවේශ වෙමිනි. සැබැවින්ම උන්වහන්සේ ගංගාරාමයේ අස්සජී හිමියන්, රතනසාර හිමියන් ප්‍රමුඛ තම ශිෂ්‍ය හිමිවරුන්ට දෙවැනි පීතෘවරයෙක්ම වූහ. වරක් අස්සජී හාමුදුරුවන් ප්‍රකාශ කළ පරිදි 12 වැනි වියේ දී අස්සජී හිමියන් පැවිදි දිවියට එළඹෙන විට පොඩි හාමුදුරුවන් අස්සජී හිමියන්ගේ මෑණියන්ට දන්වා ඇත්තේ දරුවා විතරක් පන්සලට ගේන්න... අනිත් සියල්ල මම ලෑස්ති කරලා තියෙන්නේ... පිරිකර මුකුත් ගේන්න අවශ්‍ය නෑ... යනුවෙනි. එසේ පැමිණි අස්සජී හිමියන් ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනයට යොමු කරමින් උන්වහන්සේගේ අනාගතය සුරක්ෂිත කරනු වස් පොඩි හාමුදුරුවන් කැප වී ඇත්තේ පියෙකු හා සමාන ස්නේහයකින්මය.
සැබැවින්ම පොඩි හාමුදුරුවන්ගේ අනුපමේය මෙහෙවර ආගමික, අධ්‍යාපනික, සෞඛ්‍ය, සමාජීය, දේශපාලන, ආර්ථික ආදී බොහෝ ක්ෂේත්‍ර පෙරටු කරගත් දිශානතින් කෙරේ විහිද ගිය හැටි මහා විස්මයක් බඳුය. උන්වහන්සේ හැමදාමත් සිටියේ මිනිසුන් සමඟය. උන්වහන්සේ ජනතාවාදී මහා තෙරුන් වහන්සේ නමකි. 2012 වර්ෂයේ දී ගංගාරාමයේ වැඩ සිටින බුදුන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේ දිනපතා මහජන ප්‍රදර්ශනය පිණිස විවෘතව තබන්නට පොඩි හාමුදුරුවන් සැලසුම් කළ අවස්ථාවේ ඒ තීරණයෙන් කේෂ ධාතුන් වහන්සේලාගේ ගෞරවයට හා වටිනාකමට හානියක් විය හැකි යැයි මත ඉදිරිපත් විය. නමස්කාර පූර්වක වස්තුවක් ජනතා නමස්කාරයෙන් දුරස් කර සේප්පුවක බහා සුරක්ෂිත කර තැබිය යුතුයි යන සාම්ප්‍රදායික ජන මතය එකහෙළා ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ එදා පැවසුවේ මෙවැන්නකි.
“බුදුරජාණන් වහන්සේ ජීවමනාව හිටියේ ජනතාව එක්ක. එහෙම වෙච්ච බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේ සේප්පුවක දමා අගුළු දමා ජනතාවගෙන් ඈත්කොට තැබීම සුදුසු නෑ. බුදුහාමුදුරුවන් අදටත් ඉන්න ඕනෑ ජනතාව සමඟයි” උන්වහන්සේගේ ඒ මානුෂවාදී, ජනතාවාදී සහ ප්‍රායෝගිකවාදී තීරණයට සුවහසක් වාරයක් පින් සිදු වෙන්නට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට කේෂ ධාතුන් වහන්සේ නමස්කාර පූර්වකව වැඳ නමස්කාර කිරීමට භාග්‍ය උදා වූ සේක.
සිංහල අලුත් අවුරුදු උදා වෙද්දීත් ජනේරුව සපැමිණෙද්දීත් ඩොලරයක් රුපියල් නෝට්ටුවක් සහ කාසි කිහිපයක් ගංගාරාමයට සපැමිණෙන සියලු බැතිමතුන්ට දී ආශිර්වාද කළ පොඩි හාමුදුරුවන් ලංකාවේ ඇති දරිද්‍රතාවයෙන් යුත් පන්සල් ගොඩනංවා එහි වැඩවෙසෙන යතිවරයාණන් වහන්සේලාගේ සුබසිද්ධියත් අධ්‍යාපනයත් උදෙසා කළ මෙහෙය වදනින් මෙතෙකැයි මෙපමණකැයි පහදන්නට තරම් මගේ වචන ශබ්දකෝෂය දුප්පත් යැයි මට සිතේ. ගංගාරාමයට පූජාවක් ලෙස ලැබුණු අක්කර අටසිය ගණනකින් යුත් අකුරැස්සේ ඌරුමුත්ත වතුයාය ඒ ගමටම මහා සම්පතක් බවට පරිවර්තනය කළේ ද පොඩි හාමුදුරුවන්මය. එම වතුයායේ ඒ ගමේ බොහෝ ගැමියන් වැටුප් ලබන සේවකයන් ලෙස රැකියාව කරන අතර ඒ වතුයායේ ඕනෑම ඵලදාවක් තමාගේ යැපීම වෙනුවෙන් නෙලාගෙන යන්නට පොඩි හාමුදුරුවන් අවසර දී තිබේ. ගහට කොළට සතා සීපාවාට අපමණක් ආදරය කළ පොඩි හාමුදුරුවෝ ගස් බැංකුව නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරමින් අකුරැස්සේ ඌරුමුත්ත වතුයායේ තේක්ක, මහෝගනී ආදී වගාවන්ගෙන් සුපෝෂිත කළහ. නා සෙවණ ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ උන්වහන්සේ තේ, පුවක්, රබර්, වැනිලා, කජු, පොල්, කරුඳු, අඹ, පැෂන්, කොකෝවා ආදී වගාවන් ජනතාව අතරේ ප්‍රවර්ධනය කළහ.
සෑම රාජ්‍ය නායකයකු සමඟම ප්‍රායෝගික බුද්ධියෙන් කටයුතු කළ උන්වහන්සේ ඒ කවරෙකුට වුවත් කියන්නට යමක් ඇත්නම්, අප්‍රසාදයක් පළ කිරීමට ඇත්නම් නොබියව එය ප්‍රකාශ කළහ. පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාර ලබාදීම, නිලඇඳුම් ලබාදීම මෙන්ම ජන සවිය වැනි සංකල්ප උදෙසා ඒ දේශපාලන නායකත්වයට මූලික මඟපෙන්වීම ලැබුණේ ද පොඩි හාමුදුරුවන්ගෙනි. තවද බොහෝ විදේශ රාජ්‍යයන් සහ ආගමික නියෝජිතයන් සමඟ තිර සබඳතා විධිමත් ලෙස ගොඩනංවාගත් පොඩි හාමුදුරුවන් යනු ලාංකික යතිවර ඉතිහාසයේ ස්වර්ණවත් මුද්‍රාවකි.
සසුනඹර එකළු කළ සරා සඳ
වලාවෙන් වැසුණා
මහා තෙර නමක ලෙස රට දැයට සෙත සැදුව
අපේ පොඩි හාමුදුරුවෝ
සිය මෙහෙය නිමා කර තිබුණා
දකුණු ලක කෙළවරක ගම් දනව්වක ඉපිද
අගනුවර ජීවිතය ගෙවුණා
අතගැසූ සියල්ලම රන් රුවන් වන පිනම
පොඩි හාමුදුරුවන්ට තිබුණා
එය ලොවට සම සමව බෙදුණා
නව යොවුන් පරපුරට සිප් සතර බෙදා දී
ඔවුන් නිවැරදි මඟට යැවුණා
සිංහ වෙස් දරා සිට තුන් හෙළය අවදි කළ
ගැඹුරු හඬ සදහටම නිවුණා
නිම් නාද වී නැවත ඇසුණා
බණ්ඩාර ඇහැලියගොඩ ගී පද රචකයාණන් ලියූ ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියාණන් සංගීතවත් කළ විශාරද අමරසිරි පීරිස් සංගීතවේදියාණන් ගැයූ ඒ ගීය පොඩි හාමුදුරුවන් චිතකයෙන් නැගුණු සඳුන් දර සුවඳ මිශ්‍රිත දුම් අහසට නැගෙද්දී වැහුණු මොහොතේ මතකය මේ මොහොතේත් මා දෑස් හඬවයි.
මහා යුග මෙහෙවරක් නිමා කළ යතිවර මහරජ දැන් ඉතින් සමුගන්න.
අවසරයි පොඩි හාමුදුරුවනේ
• සංජීවිකා සමරතුංග
ඡායාරූප - සුමුදු හේවාපතිරණ