කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය පසුගියදා නිවේදනයක් කළේ නැවත දැනුම්දෙන තුරු අම්පාර අාරුගම්බේ සංචාරක පුරවරයට ඇතුළුවීමෙන් වළකින ලෙස අනතුරු අඟවමිනි. එරට තානාපති කාර්යාලය නිකුත් කළ වාර්තාවට අනුව අාරුගම්බේ ඇතුළු මෙරට සංචාරක ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි. ඉන් මෙරටට පැමිණ සිටි ඇමෙරිකානුවන්ට වඩා සලිත වූයේ මෙරට වැසියන්ය. ඒ ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බිය නිසාය. පාස්කු දා ප්‍රහාරයේ මතක තවම මේ මිහිමත ශේෂ වී ඇති කාලයක මෙවැනි අනතුරු ඇඟවීමක කඩදාසි කැබැල්ලකට පවා මෙරට ජනතාව තිගැස්සීමකට ලක් කළ හැකි බව මෙවර සිදුවීම සනාථ කළේය.
එහෙත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ ඊශ්‍රායල රජය එරට වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස දැනුම් දී නැති බවයි. ආරුගම්බේ, ගාල්ල, ඇල්ල, වැලිගම ආදී ප්‍රදේශවලට යන අයට පරෙස්සම් වන ලෙස අවවාද කර ඇතැයි ද, නවතම දත්ත අනුව මේ දිනවල මාසයකට ඊශ්‍රායල ජාතිකයන් 900-1200 පිරිසක් ඩුබායි සහ අබුඩාබි හරහා මෙරටට පැමිණෙන බවද තානාපතිවරයා පැවසුවේය. මාලදිවයින විසින් ඊශ්‍රායල සංචාරකයන් භාර නොගන්නා බව දැනුම් දී තිබීම නිසා එකී සංචාරකයන්ද මෙරටට පැමිණෙන බව ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඊශ්‍රායල සංචාරකයන් 20,515 ක් මේ වසරේ සැප්තැම්බර් දක්වා ගත වූ මාස 9 ක කාලයේ දී මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ මෙම වසරට අදාළ මාසික වාර්තාවලට අනුව ජනවාරි මාසයේදී 773 ක්ද, පෙබරවාරි මාසයේදී 1988 ක්ද, මාර්තු මාසයේදී 2212 ක්ද, අප්‍රේල් මාසයේදී 3169 ක්ද, මැයි මාසයේදී 1506 ක්ද, ජූනි මාසයේදී 1515 ක්ද, ජූලි මාසයේදී 2962 ක්ද, අගෝස්තු මාසයේදී 3248 ක්ද, සැප්තැම්බර් මාසයේදී 3142 ක්ද වශයෙන් ඊශ්‍රායල සංචාරකයෝ පිරිසක් මෙරටට පැමිණ සිටිති. ඒ අනුව සතිපතා වාර්තාවට අනුව මෙම වසර ඇතුළත මෙරටට පැමිණි සංචාරකයන් අතරින් හොඳම විස්ස අතර 18 වැනි ස්ථානය ඊශ්‍රායලය ලබා සිටින අතර ඊශ්‍රායල සංචාරකයන් විසි එක්දහස් අටසියවිසි එකක් බව එම වාර්තාවේ වෙයි.
ඊශ්‍රායල සංචාරකයන් මේ තරමට මෙරටට පැමිණෙන්නේ ඇයිදැයි සම්බන්ධයෙන් අපි වැඩිදුර සොයා බලන්නට සිතුවෙමු. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ සංචාරක පුරවරය ඊශ්‍රායල සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට බොහෝ දෙනා දැනගත්තේ පසුගියදා යැයි පැවසීම සාවද්‍ය නොවේ. මේ සමඟම කරළියට එන තවත් මාතෘකාවක් වනුයේ පශ්චාත් යුද සමයේ ප්‍රවණතාවක් වූ යුද සංචාරක කර්මාන්තයයි. ඊශ්‍රායල පලස්තීන යුදෙව්වන් යුද පිටියෙන් ලැබෙන විවේකය ගත කරන්නට යොදාගන්නේ අපේ රටය. ඒ සඳහා ආරුගම්බේ වෙරළ තීරය තෝරා ගන්නේ එහි ප්‍රචලිත සර්ෆින් ක්‍රීඩාව හේතුවෙනි. යුද්ධයේ පීඩාවෙන් මිදී ඔවුහු මෙරටට පැමිණ සිය සල්ලි විසිකර හිත පිරෙන්න කා බී ජොලි කරති. මෙරට මුහුදු තීරයේ සර්ෆින් ක්‍රීඩාවට හොඳම රැල්ල ඇත්තේ අම්පාර, පොතුවිල්, ආරුගම්බේය. ඊශ්‍රායල සංචාරකයන් මාතර, වැලිගම, මිදිගම, මිරිස්ස, ගාල්ල, උණවටුන, තංගල්ල ආදී ප්රදේශවලටද යාමට කැමැත්තක් දක්වන්නේ සර්ෆින් ක්‍රීඩාව මෙන්ම නිල්වන් මුහුදු තීරය හේතුවෙනි.
ඔක්තෝබර් මාසය යනු ඊශ්‍රායල යුදෙව්වන්ගේ ආගමික උත්සව පැවැත්වෙන සමයයි. ඔක්තෝබර් 16 සිට 25 දක්වා යුදෙව්වන්ගේ එම සැමරුම් මාලාව පැවැත්වෙයි. මෙරට සංචාරය සඳහා පැමිණෙන ඊශ්‍රායල සංචාරකයන්ට තාවකාලික ආගමික ස්ථාන වෙනමම ඇති අතර ඔවුන් වෙනුවෙන් ඊශ්‍රායල ජාතිකයන් තාවකාලික වීසා පදනමින් මෙහි රැඳී සිටිමින් ආරුගම්බේ සංචාරක හෝටල් සහ ආගමික ස්ථාන ඉදිකර ඇත. මෙම ආගමික ස්ථාන චබාද් හවුස් නමින් හඳුන්වන අතර මෙරටට පැමිණෙන ඊශ්‍රායල ජාතිකයෝ නවාතැන් ගැනීම සඳහා මෙම මධ්‍යස්ථානය භාවිත කරති. මෙය සිනගෝගයක්, මික්වා පුස්තකාලයක්, කොෂර් අවන්හලක් මෙන්ම නේවාසිකාගාරයකින්ද සමන්විතය. චබාද් හවුස් නමැති ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් පිහිටා ඇත්තේ කොළඹ 03 කොල්ලුපිටිය ප්රදේශයේය. ඔක්තෝබර් මාසයේදී යෙදෙන ඔවුන්ගේ ආගමික වශයෙන් වැදගත් දින කිහිපයක් වෙනුවෙන් එම ස්ථාන පවත්වාගෙන යන අතර මෙම ස්ථානවල මෙරටට පැමිණෙන ඊශ්‍රායල සංචාරකයෝ නිරන්තරයෙන් ගැවසෙති.
මෙරටට පැමිණි පසු ආරුගම්බේට අමතරව ඊශ්‍රායල් ජාතිකයන් වැඩිපුරම රැඳී සිටින්නේ දකුණු පළාතේ අහංගම, මිදිගම, වැලිගම යන ප්‍රදේශ ආශ්‍රිතවය. මෙරට හෝටල්වලට අමතරව දකුණු පළාතේ සංචාරක හෝටල් කිහිපයක් ඊශ්‍රායල ජාතිකයන් විසින් පවත්වාගෙන යති. මින් වැඩිම ගණනක් ඇත්තේ ගාල්ල අහංගම ප්‍රදේශය ආශ්‍රිතවය. දකුණු පළාතට එන ඊශ්‍රායල ජාතිකයන් තම ආගමික සැමරුම් සඳහා පවත්වාගෙන යන මධ්‍යස්ථානය ඇත්තේ වැලිගමය. මේවායේ පැවැත්වෙන රාත්‍රී දේව මෙහෙය අවසන් වන්නේ භෝජන සංග්‍රහයකිනි. මෙම ආගමික ස්ථානවලට ඊශ්‍රායලයේ සිට පූජකවරු ද පැමිණෙති. චබාද් හවුස් නමැති ස්ථානවලට අයත් තාප්පවල ඡායාරූප අලවා තිබෙනු දැකිය හැකි අතර ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ ඒවා යුද්ධයෙන් මියගිය ඊශ්‍රායල ජාතිකයන්ගේ ඡායාරූප බවයි.
මෙලෙස සිය විවේකය ගත කිරීමට පැමිණෙන ඊශ්‍රායලයේ යුදෙව්වන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වන බවට ලද තොරතුරු හේතුවෙන් මෙරට රජය සංචාරක පුරවරය කේන්ද්‍ර කරගනිමින් රට පුරා දැඩි රැකවල් ක්‍රියාත්මක කර ඇත්තේ සති කිහිපයක සිටය. යුදෙව්වන්ගේ යුද සංචාර හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ වත්මන් ප්රවණතා අතර ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස කෙටිකාලීන අවසර මත යුද සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක වෙයි.
සසංක චලන ගිම්හාන