විදේශීය පාවහන් ආනයනය කිරීම හේතුවෙන් දේශීය පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට විශාල තර්ජනයක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නෙවිල් පෙරේරා මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
මේ වන විට ඍජුව හා වක්‍රව ලක්ෂ තුනක සේවක පිරිසක් මෙම කර්මාන්තයෙහි සේවයේ යෙදී සිටිති. මෙය රජයට සමගාමී ක්ෂේත්‍රයක් වශයෙන් වැඩි පිරිසක් සේවයේ යෙදෙන කර්මාන්තයකි. එමෙන්ම රුපියල් මිලියන එකසිය පනහක වාර්ෂික වෙළෙඳපොළ වටිනාකමක් ඇත. එමෙන්ම ඩොලර් උපයන කර්මාන්තයකි. මෙහිදී 85% ක් දේශීය වෙළෙඳපොළට නිෂ්පාදනය කරන අතර 15% ක් ආනයනය කිරීම සඳහා නිෂ්පාදනය කෙරේ. මෙවැනි පසුබිමක පැවති කර්මාන්තය අද මුහුණ දී ඇත්තේ ඉතා අවදානම් තත්ත්වයකටයි. මේ වන විට මෙම කර්මාන්තයෙහි සමාගාමී සම්බන්ධතා පවත්වන කර්මාන්ත ශාලා කිහිපයකි. ඒ අතර ලේස් කර්මාන්තයේ ශාලා හයකි. පාවහන් අලවන සහ ගම් නිපදවන කර්මාන්ත ශාලා අටකි. අච්චු කැපීමේ කර්මාන්ත ශාලා දෙකකි. මෙලෙස මෙයට සමගාමී නිෂ්පාදන සහිත කර්මාන්ත ශාලා කිහිපයක්ම ලංකාවේ ඉදි කර ඇත. ඒ දේශීය පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තයෙහි ඇතිවූ දියුණුවත් සමඟයි.
2007 වසරේදී එවකට පැවති රජය මෙම නිෂ්පාදන අපනයනය කිරීමට සුදුසු යැයි තීරණය කළේය. වසර ගණනාවක සිට ඔවුහු මෙම කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී වසරක් පාසා ප්‍රදර්ශනයක් පැවැත්වූහ. පසුව ඔවුහු මෙම ප්‍රදර්ශනය සංගමය වෙත භාර දුන්හ. එතැන් සිට වර්තමානය දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. මෙය ජාත්‍යන්තර ප්‍රදර්ශනයකි. එයට ඉන්දියාව, චීනය, පාකිස්ථානය ආදී රටවල්වල අමුද්‍රව්‍ය සැපයුම්කරුවෝ සහභාගි වෙති. මෙයට විදේශීය ප්‍රදර්ශන කුටි තිස් දෙකක් පමණ ඇතුළත් අතර ප්‍රදර්ශනය කුටි 250 කින් සමන්විත වේ. මෙම ප්‍රදර්ශනය පාවහන්වලට අමතරව බෑග්, ලෙදර් භාණ්ඩ, අත්වැසුම් ආදී දෑ වලින් සමන්විතය.
වර්තමානය වන විට චීනය, ඉන්දියාව වැනි රටවල්වලින් ලැබෙන ඇණවුම්වලට අනුව සැපයුම් ලබාදුන් එම නිෂ්පාදනවලින් ඉතුරු වූ පාවහන් එරටදී කිලෝවලට විකිණීම සිදුවේ. ඒ ඉතා සුළු මුදලකටය. එවැනි පාවහන් මෙරටට ආනයනය කරන බවට එම සංගමය චෝදනා කරයි.
“එවැනි පාවහන් කිලෝ ගණන්වලට කන්ටේනර්වලින් මෙරටට ආනයනය කරනවා. යුගල් හතළිස් දහසක් කන්ටේනර් එකක ගෙනාවත් එයින් ඔවුන් පෙන්නුම් කරන්නේ විසි දහසක් පමණයි. ඒවාත් කිලෝ ගණනටයි. සාමාන්‍යයෙන් එවැනි පාවහන් යුගලක් ලංකාවේ නීත්‍යානුකූලව ගෙන්වීමට විවිධ බදු එක් කළ විට රුපියල් දෙදහසක් පමණ වැය වෙනවා. නමුත් එවැනි විදෙස් පාවහන් යුගලක් අද වෙද්දී රුපියල් දෙදහකටම වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. සමහරක් විට ඊටත් අඩුවෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එයට හේතු වන්නේ රජයට අය විය යුතු බද්ද නොමැතිකමයි. මේවා අස්සේ තමයි සිගරැට් ලංකාවට ගෙන එන්නේ. මත්පැන් ගෙන එන්නේ. මෙය තහනම් භාණ්ඩ ලංකාවට ගෙන්වීමට මෙවලමක් කරගෙනයි තියෙන්නෙ. මෙය තනිකරම හොර වංචා කරන ව්‍යාපාරයකට උදව් කරන මෙවලමක් වෙලා ඉවරයි. සිගරැට් ටික එළියට ගත්තට පසුව පාවහන් යුගල පන්සීයට දුන්නත් ඔවුන්ට ගැටලුවක් නැහැ.” යැයි නෙවිල් පෙරේරා මහතා චෝදනා කරයි.
මෙම ආනයනය කිරීම් හේතුවෙන් දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනවලට නිසි වටිනාකමක් නොලැබෙන බව එම සංගමය පවසයි. පහුගිය කාලයේ පාස්කු, කොවිඩ්, ආර්ථික අර්බුද හමුවේ දේශීය කර්මාන්තය විශාල තර්ජනයකට මුහුණ දී තිබුණි. මේ නිසා බොහෝ ක්ෂේත්‍රවල නියැළුණු නිෂ්පාදකයෝ තමන් ලබාගත් ණය වෙනුවෙන් ඔවුන්ගේ සංගම් හරහා රජයෙන් හා විවිධ පාර්ශ්වයන්ගෙන් තම කර්මාන්තය වෙනුවෙන් සහනයක් ලබා දෙන්නැයි ඉල්ලීම් කළහ. නමුත් ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසන පරිදි තමන්ට තිබූ ස්ථාවරභාවය තුළ ඔවුන් රටට බරක් නොවී තම පෞද්ගලික ඉඩකඩම්, යාන වාහන විකුණා හෝ ඒ තර්ජනයට මුහුණ දුන්නද තමන්ට සහනයක් ලබා දෙන්නැයි රජයෙන් කිසිදු ඉල්ලීමක් කර තිබුණේ නැත.
“අද වන විට අනවසර පාවහන් හා සම්භාණ්ඩ වෙළෙඳපොළට එකතු වීමත් සමඟ දේශීය කර්මාන්තයට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. රජය කොයි තරම් නීති දැම්මත් එම නිලධාරීන්ද මෙම නීති විරෝධී කටයුතුවලට වක්‍රව හෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉන්දියාවෙන් සහ චීනයෙන් ගුවන් යානා ලංකාවට එද්දී ඩීමෝ බට්ටා ලොරි රථ දෙකකට පැටවීමට පාවහන් ප්‍රමාණයක් එකතු වෙනවා. ගුවන් යානාවල මගීන්ගේ ප්‍රමාණය අඩු වූ විට ඔවුන් කිලෝ ප්‍රමාණයට මේවා පටවනවා. ඒවාට ඉහළ නිලධාරීන්ගේ සහයෝගය ලැබෙනවා.” යැයි නෙවිල් පෙරේරා මහතා පැවසීය.
දේශීය පාවහන් නිෂ්පාදනයේදී ලංකාවේ නිෂ්පාදනය නොවන අමුද්‍රව්‍ය ආනයනය කිරීම ද සිදුවේ. ඒ ආනයනය කිරීමේදී බද්දක් අය කරනු ලබයි. බදු ගෙවා පාවහන් නිෂ්පාදනය කිරීමේදී එම පාවහන් වෙනුවෙන් වැය කරන මුදල, විදෙස් රටවල්වලින් ආනයනය කරන පාවහන්වලට වැය වන මුදලට සාපේක්ෂව වැඩි වන අතර පාරිභෝගිකයන් මිලදී ගනු ලබන්නේ අඩු මුදලට වෙළෙඳපොළේ ඇති විදේශීය නිෂ්පාදනයි.
“මේ වනවිට අපට මේ අනවසර ආනයනික පාවහන් විශාල ගැටලුවක් වෙලා තියෙනවා. එම තත්ත්වය නතර නොවුණහොත් දේශීය කර්මාන්තකරුවන් එම කර්මාන්තයෙන් ඉවත් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මේ නිසා මේ අනවසරයෙන් පාවහන්
ගෙන එන එක නතර කරන්න යැයි අපි ඉල්ලීමක් කරනවා. අපිට මෙම කර්මාන්තයට අය කරන බදුවලට යම් සහනයක් ලබා දෙන්න. එවිට අපේ පාවහන් අපනයනය කිරීමට අවස්ථාව සැලසේවි. දේශීය නිෂ්පාදකයන් ලංකාවේ ඉගෙන ගන්නා පාසල් දරුවන් ලක්ෂ 42 කට සපත්තු නිෂ්පාදනය කරනවා. ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සපත්තු දේශීය නිෂ්පාදකයන් නිෂ්පාදනය කරනවා. එවැනි තත්වයක දේශීය පාවහන් හා සම්බන්ධ නිෂ්පාදකයන් ගැන මීට වඩා හිතන්නැයි අපි ඉල්ලීමක් කරනවා.” යැයි ද නෙවිල් පෙරේරා මහතා වැඩිදුරටත් පවසයි.
• දිශානි ජයමාලි කරුණාරත්න