2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

මන්දගාමී වූ ඡන්ද ප්‍රචාරය

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා සිටින්නේ විවිධ අදහස්වලය. නව ජනාධිපතිවරයකු පත්වීම නිසා නව ආණ්ඩුවක් බොහෝ දෙනා අපේක්ෂා කරති. ඒ නිසා ආණ්ඩුවේ බොහෝ දෙනා ඉල්ලීම් කරන්නේ 2/3 ක ශක්තිමත් ආණ්ඩුවක් සැකසීමට සහාය දෙන ලෙසයි. මේ නිසා වේදිකාවක් වේදිකාවක් ගාණේ ජාතික ජන බලවේගයේ පිරිස ශක්තිමත් ආණ්ඩුවක් සැකසීම සඳහා ඉල්ලීම් කරමින් සිටිති.

මේ අතර ජනාධිපතිවරණයේදී දෙවැනි තැනට පත්වූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ කණ්ඩායම ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවක් ඉල්ලමින් සිටිති. ඔවුන් පවසන්නේ ආණ්ඩුවක් හැදුවොත් ඔවුන්ට ඕනෑම මොහොතක අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පවතින බවයි. ඒ නිසා ඔවුහු ද එළිපිට ආණ්ඩු බලය ඉල්ලමින් සිටිති.

ඉහත පක්ෂ දෙක හැර අනෙකුත් සියලු‍ පක්ෂ එළිපිට ඉල්ලන්නේ එක දෙයකි. එනම් ශක්තිමත් විපක්ෂයක් මේ මොහොතේ රටට අවශ්‍ය බැවින් තමන්ව ශක්තිමත් විපක්ෂයක් සෑදීම සඳහා පාර්ලිමේන්තූවට යවන ලෙසයි. මෙය ඉතිහාසයේ ශක්තිමත් විපක්ෂයක් සාදා ගැනීමට වැඩිම පක්ෂ ගණනාවක් ඉල්ලීම් කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාස ගතවනු ඇත. ඒ නිසා මෙවර මැතිවරණය ආණ්ඩුවටත් විපක්ෂයටත් මහා තරගයක් පවතින අවස්ථාවකි. එය ඡන්දදායකයාගේ තෝරා ගැනීම මහත් දෙගිඩියාවකට තල්ලු‍ කර ඇත.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ උණුසුම ඒ ආකාරයෙන්ම ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරුණේදැයි බොහෝ අයට ගැටලු‍වකි. ඒ ජනාධිපතිවරණයේදී තිබූ මහා උද්‍යෝගය හමුවේ පවා වර්තමාන ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඉතිහාසයේ පළමු වරට දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවීමය. එසේ ගණන් කර තිබියදී පවා ඔහුට 50% ක් සහ තවත් ඡන්දයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. එහිදී හෙළි වූයේ ජනාධිපතිවරණයේදී ලක්ෂ 35 කට ආසන්න සංඛ්‍යාවක් ඡන්දය භාවිත කර නොමැති බවයි. එම තත්ත්වය මත සැබැවින්ම මෙවර මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය භාවිත කරයිද? නැද්ද? යනුවෙන් ගැටලු‍වක් පවතී. කෙසේ වෙතත් වර්තමාන දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 50% කට අධික සංඛ්‍යාවක් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගොස් සිටිති. ඒ අනුව මෙවර මහ මැතිවරණයේ බහුතරය අලුත් මුහුණුය. තවත් කාරණයක් නම් මෙවර මැතිවරණය සඳහා නව පක්ෂ ගණනාවක් තරග බිමට පැමිණ තිබීමය. එම නව පක්ෂ ගණනාවකම පරණ මුහුණු දැකගත හැක. අලු‍ත් බෝතලයේ පරණ වයින්මය. මෙවර විවිධ පක්ෂවලට මාරු වී සිටිය ද ඇතැම් අය පරණ අයමය. ඒ අනුව බහුතර ඡන්දදායකයන් පිරිසක් මොවුන්ව ප්‍රතික්ෂේප කරන තැනක පසුවෙති.

මේ ආදී ඇතැම් කරුණු නිසා අද වන විට ඡන්දදායකයන් බොහෝ පිරිසකට ඡන්දය පිළිබඳ ඇත්තේ උද්‍යෝගයක් නොව, කලකිරීමකි. පෙර පැවති “කැපුවත් පක්ෂ”‍ සංස්කෘතියේ මේ වනවිට බහුතරයක් නොමැති හෙයින් එකී ඡන්දදායකයන්ට ඡන්දය සත පහකට වැඩක් නැති කාරණයක් වී තිබේ.

විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා පත්කර ගැනීමත්, පසුගිය ජනාධිපතිවරණයේදී මහා පක්ෂ හාන්සි වීමත් තුළ ඇත්තේ එකී දේශපාලන සංස්කෘතියේ පැහැදිලි වෙනසකි. ඒ අනුව ජනතාව මැතිවරණය උත්සවශ්‍රීයෙන් සමරන තැනට පත්ව තිබූ ක්‍රමවේදය දැන් බැහැරව ගොස් ඇත. ඊට ප්‍රධාන හේතුව නම් පොරොන්දු දේශපාලනය විසින් සිදු කළ විනාශයයි.

මීට අමතරව මෙහි ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ බොහොමයක් අපේක්ෂකයන්ට සිය ඡන්ද ව්‍යාපාරය කිරීමට අවශ්‍ය වටපිටාව හෝ මූල්‍ය පහසුකම් නොමැති වීමයි. එනම් මැතිවරණ කොමිසම මගින් මැතිවරණ වියදම් පාලනය කිරීමයි. ඒ එක කරුණකි. අනෙක් කරුණ නම් මේ කාලයේ කටවුට්, බැනර්, පෝස්ටර් ප්‍රචාරය කිරීම ලෙහෙසි පහසු නැත. අධික මිල ගණන් ඒ සඳහා වැය වන බැවිනි. මේ හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණයේදී බැනර්, කටවුට් සඳහා වැය කිරීම සීමා කිරීමක් පෙන්නුම් කරයි. විශේෂයෙන් පොස්ටර් ප්‍රචාරය කළහොත් රාත්‍රියේදී ඒ සියල්ල පොලිසියෙන් විනාශ කරනු ඇත. ඒ නිසා ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයන් මුදල් වැය කරන සීමාව ඉතා අවමය.
මෙකී කාරණා නිසා සමාජය තුළ මැතිවරණ ප්‍රචාරණයේ උද්‍යෝගය අඩුවී ගොස් ඇත. උද්‍යෝගය නැති වී ඇත්තේ මැතිවරණ සංස්කෘතියට විනයක් එකතු වී ඇති බැවිනි. ඒ නිසා බොහෝ දෙනා තම කැමැත්ත ඉතාම රහසිගතව ප්‍රකාශ කිරීම පමණක් සිදු කරන තැනට පත්ව සිටිති.

විශේෂයෙන් පසුගිය ආණ්ඩු මැතිවරණ ව්‍යාපාර හරහා ජනතාව විශාල වශයෙන් ඇන්දවීම සිදු කළේය. ඒ අනුව ජනතාව තවදුරටත් පක්ෂවල ඉත්තන් වීම අත්හැර දමා ඇත. හුරේ දමන්නට ගිය බොහෝ දෙනාට අද එය රැකියාවක් පමණක් වී තිබේ. එදා අරක්කු කාලට, බත් පැකට් එකට මැතිවරණ ප්‍රචාරණයේ ගිය අය අද හතර මායිමේ නැත. අද තරුණ පිරිස් ඒ සඳහා මැදිහත් වන්නේ ද නැත. මොවුන් සමාජ මාධ්‍ය තුළ ගැවසෙන බැවින් අද අපේක්ෂකයන් බහුතරයක් සිය මැතිවරණ ප්‍රචාරය කෝටි ගණන් වියදම් කරමින් සිදු කරන්නේ සමාජ ජාලා තුළය.

අවසාන වශයෙන් කිව යුත්තේ මේ වන විට සමාජය තුළ මැතිවරණ උනන්දුව අඩු වීමට ප්‍රධානම කරුණ දේශපාලන කලකිරීම් බවය. දෙවැන්න නම් මැතිවරණ සංස්කෘතිය වෙනස් වීමය. අනෙක් කරුණ නම් ජනතාව මැතිවරණය තමන්ගේ රහස් අයිතියක් ලෙස හඳුනාගෙන සිටීමය. එහෙත් එක දෙයක් කීමට ඇත. එනම් කෙතරම් කලකිරීම් තිබුණද ඔබ ඡන්දය නිසි පුද්ගලයා වෙනුවෙන් භාවිත කිරීම සිදු කළ යුතුමය. එසේ නොමැති වුවහොත් ඔබ වෙනුවෙන් නීති සම්පාදනය කරන ආයතනය නියෝජනය කිරීමට අයකු නොමැති වනු ඇත. ඒ සඳහා තමන් වෙනුවෙන් නියෝජිතයකු යැවීම ඔබේ අයිතියක් මෙන්ම යුතුකමකි. බුද්ධිමත්ව සිතා බලා නොවැම්බර් 14 තීරණාත්මක දිනයේදී එකී යුතුකම ඉටු කර මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

• ගයාන් ගාල්ලගේ