2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

විදුලි බිලට වෙන්න යන දේ

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

මසකට දෙකකට වරක් විදුලි බිල පිළිබඳ කතාබහ නිර්මාණය වීම ඉතා සාමාන්‍යකරණය වී තිබේ. ඒ අනුව අලු‍ත් ආණ්ඩුවේ විදුලි බිල පිළිබඳ කතාව ඉකුත් සතියේ කරළියට පැමිණියේය. මෙය තරමක් යහපත් බලාපොරොත්තු ඇති කරවන පුවතක් වූ අතර, විදුලි බිල අඩු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව කියැවිණි.

පසුගිය සතියේ දැන ගැනීමට ලැබුණු පරිදි විදුලි බිල අඩු කිරීමට අදාළ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි. ඒ අනුව එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම විසින් සලකා බලන බව වාර්තා වේ. යෝජනාවට අදාළව මහජන අදහස් ද විමසා බැලීමෙන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසම සිය අදහස ප්‍රකාශ කරනු ඇත.

පසුගිය වසර තුනක කාලය තුළ දී ශ්‍රී ලංකාව තුළ විදුලි ගාස්තු දෙතුන් ගුණයකින් ඉහළ ගිය බව අපි දනිමු. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම වළක්වා ගැනීමේ අරමුණු සහිතව, විදුලි ගාස්තු සඳහා ලබා දී තිබුණු සහන කප්පාදු කරමින් ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයකට පසුගිය රජය අවතීර්ණ විය. ඒ අනුව මෙරට විදුලි පාරිභෝගිකයන් දැඩි ලෙස අපහසුතාවයට පත්වූ අතර විදුලි බිල අඩු කරන ලෙසට අරගල කිහිපයක්ම දියත් විය.

එම බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස මේ දක්වා අවස්ථා දෙකකදී විදුලි බිල අඩු කර තිබේ. ඒ අනුව අලු‍ත් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලිය අනුව මේ වසරේදී තෙවැනි වතාවටත් විදුලි බිල අඩු වනු ඇත. කෙසේ වෙතත් පසුගිය ආණ්ඩුව ප්‍රකාශයට පත් කර තිබුණේ වසරකට හතර වතාවක් විදුලි සංශෝධනය කරමින් පාරිභෝගිකයන් වෙත සහන සැලසීමේ ක්‍රමවේදයකට තමන් අවතීර්ණ වන බවකි. එහෙත් එය එලෙස සිදු නොවූ අතර මෙම වසර නිමාවීමට ඉතිරිව තිබෙන මාස දෙක තුළ සිදුවන අවසන් සංශෝධනය වනු ඇත.

මේ වනවිට ආරංචි මාර්ග සඳහන් කරන පරිදි විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 4 ත් 11 ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩුවීමට නියමිතය. ඒ පිළිබඳ විදුලි පාරිභෝගික සංගම් එතරම් අනුකූලතාවයක් නොදක්වන අතර ගාස්තුවෙන් සියයට 35 ක් පමණ අඩුවිය යුතු බව ඔවුහු කියා සිටිති. කෙසේ වෙතත් මැතිවරණයක් අභිමුව සිදුවන මෙම ගාස්තු සංශෝධනය, ආර්ථික කෝණයෙන් වෙන්ව දේශපාලන වශයෙන්ද කියවා ගැනීම වරදක් නොවේ. අරමුණ කුමක් වුවද යම් සහනයක් ජනතාවට ලැබේ නම් එය වෙසින්ම අප අගය කළ යුත්තකි.

කෙසේ වෙතත් පසුගිය සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අදහස් දක්වා තිබුණි. විදුලිය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති ස්වාධිපත්‍යයට ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසීය. එසේම නව විදුලිබල පනතක් සකස් කිරීමේදී බලශක්ති ස්වාධිපත්‍යය ගොඩනගා නැගීම පිළිබඳ අවධානය යොමු වී ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කර තිබේ.

වාණිජ මණ්ඩලය හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර ඉදිරි අවුරුදු කිහිපය තුළ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ වන විට දැනගැනීමට ලැබෙන පරිදි වසරකට හතර වතාවක් සිදු කිරීමට යෝජනා වූ විදුලි ගාස්තු සංශෝධනය, වසරකට දෙවතාවක් සිදු කිරීම සඳහා නව යෝජනා අනුව යමින් මහජන උපයෝගීතා කොමිසම සලකා බලමින් සිටී. ඒ

අනුව බොහෝ දුරට නව ගාස්තු සංශෝධනය දෙසැම්බර් මාසයට වලංගු වන පරිදි සිදුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ලැබෙන ආරංචිය සුබ නමුත්, විදුලිබල මණ්ඩලය සහ විදුලි ගාස්තුව ඇතුළු සමස්තය පිළිබඳ පරිවර්තනීය වෙනසක් පිළිබඳ අපේක්ෂාව ඊට ඉහළින් පවතින බව අවසානයේ සඳහන් කළ යුතුමය. කලින් කලට ආණ්ඩුවලින් සිදු කරන වෙනස්කම් නොව ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා ජනතාවට සහන සලසන ක්‍රමවේදයක් මෙරට තුළ ස්ථාපිත විය යුතුය.

• චමිඳු නිසල් ද සිල්වා