2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

මැදපෙරදිග ගැටුමට මැදිවෙන තෙල් මිල

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:03 56

මැදපෙරදිග නිර්මාණය වී ඇති යුද වාතාවරණය යටතේ ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගෝලීය තෙල් සැපයුම අවදානමට ලක්විය හැකි බවට බියක් නිර්මාණය වී ඇති අතර ඒ අනුව පසුගිය සතියේ සිට ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමට පටන්ගෙන තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට මේ වන විට පැවැති මිලෙන් 2% කින් පමණ තෙල් මිල ඉහළ ගොස් තිබේ.

ගාසා තීරය හෝ ඊශ්‍රායලය එතරම් තෙල් නිෂ්පාදනය නොකරන නමුදු ඉරානය ගැටුමට එක්වී ඇති හෙයින් තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන තිබේ. ගෝලීය වෙළෙඳපොළ තුළ ඉරානය ද යම් දායකත්වයක් දරයි. එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයේ නවතම දත්තවලට අනුව ඉරානය සත්වැනි විශාලතම තෙල් නිෂ්පාදකයා වන අතර පසුගිය වසරේ ලෝක තෙල් නිෂ්පාදනයෙන් 4% ක් පමණ නිපදවන ලද්දේ ඉරානයයි.

මෙය කුඩා ප්‍රමාණයක් ලෙස පෙනී ගිය ද අතීතයේ ඉරානයේ විවිධ අර්බුද පැවැති කාලවලදී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට ඉන් බලපෑමක් ඇති කළේය. වසර හයකට පසු ඉරානයේ තෙල් නිෂ්පාදනය පසුගිය අගෝස්තු මාසයේදී දිනකට බැරල් මිලියන 3.7 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉරාන තෙල් නිධි ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ හැකි බවට එක්සත් ජනපද ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Axios වාර්තා කර තිබිණි. ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානයට එරෙහිව දකුණු ලෙබනනයේ ගොඩබිම් මෙහෙයුම් සඳහා ඊශ්‍රයලය භට කණ්ඩායම් යවා තිබේ. පසුගිය සතියේ පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මැදපෙරදිග පිළිබඳ රැස්වීමකදී යළි ප්‍රහාරයක් එල්ල කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය සහ ඉරානය එකිනෙකාට තර්ජනය කර ඇතැයි ද වාර්තා වේ.

“මෙවැනි ඕනෑම සිදුවීමක් තුළින් ආපසු හැරවිය නොහැකි ලෙස තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමට බලපානවා.”‍ යනුවෙන් තෙල් තැරැව්කාර සමාගමක නිලධාරියකු වන තමාස් වර්ගා ප්‍රකාශ කර තිබේ.
ඉරාන ප්‍රහාර උත්සන්න වුවහොත් එක්සත් ජනපදය ගැටුමට එක්වීමේ අවදානමක් ඇතැයි කැපිටල් ඉකොනොමික්ස් සඳහන් කරයි. ඉරානය ගෝලීය තෙල් නිෂ්පාදනයෙන් 4% ක් පමණ වන නමුදු ඉරාන සැපයුම් අඩාල වුවහොත් සෞදි අරාබිය නිෂ්පාදනය වැඩි කරන්නේද යන්න සිතා බැලිය යුතු බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

මැදපෙරදිග සටන් විරාමයක් ඇතිවිය හැකි බවට අපේක්ෂා කළ ද එවැන්නක් දැකිය නොහැකිය. තවමත් අඵ යට ගිනි මෙන් ගැටුම් නිවෙමින්, ඇවිලෙමින් පවතී. මෙම තත්ත්වය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි යැයි ද ඒ අනුව මැදපෙරදිග සැපයුම් සීමා විය හැකි යැයි ද සැකයක් පවතී. ගැටුම් හේතුවෙන් නැව්ගත කිරීම නිසි ලෙස සිදු කිරීමට නොහැකි වීම ද තෙල් මිල ඉහළ යාමට බලපා ඇත.

ඔපෙක් තෙල් නිෂ්පාදන රටවල අමාත්‍යවරුන්ගේ රැස්වීමක් පසුගියදා පවත්වා ඇති අතර දෙසැම්බර් මාසය වන තෙක් තෙල් නිෂ්පාදන ධාරිතාව එලෙසම පවත්වාගෙන යෑමට ද ඉන්පසු සෑම මසකම නිෂ්පාදනය දිනකට බැරල් 180,000 කින් ඉහළ නැංවීමට ද ඔවුන් තීරණය කර තිබේ.

ඔක්තෝබර් මාසය ආරම්භ වන විට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 3.72 කින් හෙවත් 5.03% කින් ඉහළ ගිය අතර ඒ අනුව බොර තෙල් බැරලයක් ඩොලර් 77.62 ලෙස පැවතිණි. එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොර තෙල් බැරලයක් ඩොලර් 3.61 හෙවත් 5.15% කින් ඉහළ ගිය අතර බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.71 ක් විය. බ්‍රෙන්ට් ෆියුචර්ස් බැරලයක මිල ඩොලර් 77.89 ක් ලෙස දිනක ඉහළම අගයට ළඟා වූ අතර, ඩබ්ලිව්.ටී.අයි බැරලයක මිල ඩොලර් 73.97 ව පැවතියේය‍. පසුගිය දින කිහිපයේ තෙල් මිල යම් පහත වැටීමක් පෙන්නුම් කළද එය කඩිනමින් වෙනස් විය හැකිය. මේ වන විට බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 73.90 ක් වන අතර එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාසයේ බොර තෙල් මිල බැරලයක මිල ඩොලර් 70.10 කි. දෙසැම්බර් මාසය වන විට බ්‍රෙන්ට් බොර තෙල් මිල ඩොලර් 1.75 කින් හෙවත් 2.4% කින් පමණ ඉහළ යෑමක් අපේක්ෂා කරන අතර ඒ අනුව බැරලයක මිල ඩොලර් 76.04 ක් අගයක් ගනු ඇතැයි වාර්තා වේ.

ස්ටෝන්එක්ස් ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයන්හි දත්ත සමාලෝචනය අනුව, ගෝලීය ඛනිජ තෙල් නිෂ්පාදනය පසුගිය සතියේ බැරල් බිලියන 1.24 ක් පමණ වූ අතර එය පසුගිය වසරට වඩා බැරල් මිලියන 5 කින් අඩුය. පසුගිය සතියේ එක්සත් ජනපද බොර තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 1.64 කින් ඉහළ ගිය අතර එය බොර තෙල් බැරල් 300,000 ක පමණ වැඩි වීමකි. එහෙත් පෙට්‍රල් සහ පිරිපහදු ඉන්ධන නිෂ්පාදනය බැරල් මිලියන 3.5 කින් පහත වැටී ඇතැයි ඇමරිකානු පෙට්‍රෝලියම් ආයතනයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින්, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර තිබේ.

පසුගිය වසර පුරා බොර තෙල් බැරලයක මිල ඩොලර් 66 ත් 96 ත් අතර උච්ඡාවචනය වී ඇති අතර, මේ වන විට ඩොලර් 74 ක පමණ කළ අගයක පවතී.

ගෝලීය බලශක්ති වෙළෙඳපොළ ප්‍රකාශ අනුව මේ වසරේ ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීම ද ඉල්ලු‍ම පහත වැටීම ද තෙල් මිල ඉහළ යාමට බලපා තිබේ.

තෙල් මිල අපගේ බත්පතේ සිට සියලු‍ පාරිභෝගික භාණ්ඩවලට බලපාන්නකි. කෙසේ නමුදු විවිධ හේතු මත ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වරින් වර උච්ඡාවචනය වේ. රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක අගය ඩොලර් 130 කට ආසන්න විය. කොවිඩ් වසංගතයෙන් සහ යුක්රේන රුසියා ගැටුමත් සමඟ ද පසුව එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල තෙල් මිල සීග්‍රයෙන් ඉහළ ගිය අතර පසුව යථා තත්ත්වයට පත් විය.

බලශක්ති විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරි වසර 5 තුළ සහ සහ ඉන්පසු පොසිල ඉන්ධන සඳහා ඇති ඉල්ලු‍ම විශාල ලෙස පහත වැටෙනු ඇති බවටය. ඒ අනුව වසර 5 ක10 ක පමණ කාලයක් තුළ තෙල් මිල යම් ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

•  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා