මහනුවර රජකම් කළ දෙවැනි රාජසිංහ රජු කෘරකම්වලට ද ප්‍රසිද්ධ රජ කෙනෙක් බව ජනප්‍රවාදවල සඳහන්ය. මහනුවර රජ වාසලේ සිටීම වෙනුවට ඔහු මහනුවරින් කි.මී. 22 ක් ඈතින් පිහිටි දුෂ්කර පිටිසර කඳුකර පළාතක් වන නිල්ලඹ නම් ගමේ රජ මාලිගයක් තනා වාසය කළේය. මෙම රාජධානිය තිබුණු ඇතැම් සලකුණු නිල්ලඹ වත්ත මැදින් ගලා යන ඔය අසල දැකගත හැකිය. නමුත් එහි සැලකිය යුතු නටබුන් ප්‍රමාණයක් ඉතිරි වී නැත.
දෙල්තොටට නුදුරු නිල්ලඹ නුවර රජසිරි ගැන මහනුවර යුගයේ ලියවුණු ‘පවන’ නමැති කවි පොතේ මෙසේ සඳහන්ය.
“නකුල රජයුත් රජය සිහනෘප හයා රෝහන හසල නෑරා මඟුල සුට නැගි දිනෙක දෙල්තොට පුරවරෙහිදී දුවන පාරා අඟල කට පනු හසු පිටින් ගත ගැබිනකුත් විදු සිදු නොවාරා එකල වැඩ සිටි මහිම කිම මතු කියනු කොක්කන් කර වදාරා”
පසුකාලීනව තේවතු යායක්ව පැවති නිල්ලඹ දැන් තරමක ජනගහනයක් පැතිරි ජලාශ යෝජනා ක්‍රමයක් ද සහිත පෙදෙසකි. එදා පැවති වනාන්තර වෙනුවට තේවතු, ජනාවාස, ගෙවතු අවට පැතිර පවතී.
උඩරට විත්ති කෘතියේ මේ පෙදෙස ගැන සඳහන් කරන පී.ඇම්.පී. අභයසිංහ :
“රජතුමා එහි මාලිගයක් තනා වෙනත් ගොඩනැගිලි ද ඉදිකරවා තිබුණේය. රජුගේ කෘරත්වය දියුණුවත්ම රටවැසියෝ කැරලි ගසන්නට පටන් ගත්හ. වර්ෂ 1664 මහනුවර ඇසළ පෙරහර කිරීමට ඉඩ නොදීම ගැන රට්ටු වැඩියක්ම කැළඹුණෝය. රජු මරා පුත් කුමරා සිංහාසනාරූඪ කරන්ට ඔවුහු කුමන්ත්‍රණය කළෝය. 1664 දෙසැම්බර් 21 දා රාත්‍රියේ ආයුධ ගත් දෙසියයක් කැරලිකරුවෝ නිලඹේට පැමිණ මුරකරුවන්ට පහර දී බොහෝ දෙනකු මරා මාලිගය අත්කර ගත්හ. රජ තෙමේ හඟුරන්කෙත අසල පිහිටි ගලඋඩ බලකොටුවට පලා ගියේය.” (20 පිට).
නිලඹේ රජවාසලට ඇතුළු වූ කැරලිකරුවෝ සැතපෙන ගෙයි නිදාගෙන සිටි රජු මරා දැමූහ. එසේ රජු යැයි මුලා වී ඝාතනය කළේ රජුගෙන් අවසර ගෙන ශ්‍රී යහනෙහි රජු ලෙස සැතපී සිටි අළුවිහාරේගම මුදලි නම් අයෙකි. පසුව කැරැල්ල සංසිඳවූ රජු අළුවිහාරේගම මුදලිගේ පුත්‍රයාට වනිගසේකර නාමය ලබා දී රන්පට බන්දවා රාජ සම්මානයෙන් ගෞරවයට පාත්‍ර කළේය. අළුවිහාරේ සන්නසට අනුව රජුගේ සිරියහන් ඇඳ, රන් පලස, රන්කම් කළ කොට්ට, රිදී ලියකම් කළ ලංස දෙකක්, කස්තාන දෙකක්, තුවක්කු පහක්, රන් මාලය, රජුගේ පේරැස් මුද්ද, තොප්පිය සහිත පළඳනාව ආදී රාජ භාණ්ඩයන්ද සමඟ ගම්වර ඔහුට ප්‍රදානය කර තිබේ.
එක් දිනෙක උදෑසන අව්ව අතරින් අපි නිල්ලඹ නුවර සොයා පේරාදෙණියේ සිට දොළුව හරහා ගම්පොළ පාරේ ගමන් කරමින් සිටියෙමු. දොළුව හන්දියට පැමිණ ගම්පොළ ගලහ පාරේ තවත් කි.මී. 4 ක් පමණ ගමන් කර නිල්ලඹට පැමිණීමට පුළුවන. මුලින්ම දැකගත හැක්කේ නිල්ලඹ ජලාශයයි. කුඩා ජල විදුලි යෝජනා ක්‍රමයක් වන මෙම ජලාශය නිල්ලඹ ඔය හරස් කර බැම්මක් බැඳීමෙන් ඉදිකර ඇත්තේ 1988 දීය. ජලාශ වේල්ලේ දිග අඩි 230 කි. මෙ.වො. 1.6 ක් වූ ටර්බයින දෙකක් නිල්ලඹ බලාගාරයේ සවි කර තිබේ. මේ මගින් උඩුනුවරට පානීය ජලය ද මුදා හැරේ. කඳු වට කරගත් සොඳුරු වටපිටාවක පිහිටි ජලාශය ඉස්මත්තෙන් ගල් පර්වත බහුල නිම්නයක ගලනා නිල්ලඹ ඔය අප නෙත් ගැටේ. මෙම ඔයේ ස්නානය කිරීමට බොහෝ ප්‍රදේශවාසීහු පැමිණෙති. අද තේ වතුවලට අවට වනපෙත එළි වී තිබුණද රාජධානි සමයේ මේ පෙදෙස ඝන වනාන්තර පැතිරුණු ආරක්ෂිත ස්ථානයක් විය.
අප ජලාශය අසලින් ඉහළට තේවතු අතරින් දිවෙන කොන්ක්‍රීට් දැමූ මාර්ගයේ ගමන් කරමින් සිටියෙමු. මේ පාරේ මෝටර් රථයකට වුවද ගමන් කළ හැකිය. ඈතින් මහනුවර ප්‍රදේශයේ කඳුවැටි ද මෑතින් තේ වගාවෙන් වැසුණු බිම් ද මේ දර්ශනය අලංකාර කරවයි. පහළ පටු නිම්නයේ නිල්ලඹ ඔය සිරි සිරියාවෙන් ගලා යන හඬ ඇසේ. “ඉක්මනට මාලිගේ තිබුණු තැන බලාගෙන ඇවිත් ඔයෙන් නාගම්මු.” අපගේ නඩයේ මිතුරෙක් කීවේය.
නිල්ලඹ ඔය මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත කඳුකර පහළ කෝරළයේ නැගෙනහිර සිට බටහිරට ගලා බසී. එහි ආරම්භක දියතු පිහිටා ඇත්තේ ගම්පොළ ඡන්ද කොට්ඨාසයේය. එය කතරගම දේවාලය නිසා ප්‍රකට ගනේගොඩට නුදුරු වැල්ලේතොටදී මහවැලි නදියට එකතු වේ. අඩි 5000 කට වඩා උසැති මහනුවර බටහිර කඳු බෑවුමින් ආරම්භ වන නිල්ලඹ ඔය ශීඝ්‍ර බෑවුමක ගලා යන ජල ප්‍රවාහයකි. එහි ආරම්භයේ සිට ගනේගොඩ වෙල්යාය දක්වාම කඳුහෙල් බහුල වටපිටාවකි. ඔය ගලා බසින්නේ නැගෙනහිරින් ගලහ, හන්තාන සහ වාරියගල යන කඳුවැටිත් දකුණින් මුල්ගම සහ පුස්සේතැන්න ගරුකැලේ කඳුකරයත් අතර පටු නිම්නයේය.
ගංගා නිම්නයේ තරමක තැනිතලා පිහිටා තිබෙන්නේ මොරහේන ජනපදයේ ගංගාරාමය අසල, සිතාඑළියේ බෝධිය අසල කරුවානේ තේ කම්හල අසල පොල්වත්ත නම් පෙදෙස්වල පමණි. පොල්වත්ත පෙදෙස අද වනවිට නිල්ලඹ ජලාශයට යටව තිබේ. මුල්ගම, තුන්පෑලවක, මොරහේන ජනපදය, නිල්ලඹ ජනපදය, ගුරුකුලේ ජනපදය ආදී ගම්මාන ඔය දෑලේ පිහිටා තිබේ. ගලහ සහ පුපුරැස්ස නගර පිටිසර තිබෙන්නේ ඔය ඉහත්තාවේය. මේ පෙදෙසේ තවමත් පිටිසර ස්වභාවය දක්නට ලැබෙන තැන්ය. නිල්ලඹ ඔය දිගින් කි.මී. 17 ක් පමණ වේ. එයට එකතු වන ලොකු කුඩා ඇළවල් සංඛ්‍යාව 41 කි. නිල්ලඹ ඔයේ ප්‍රධාන අතු ඔය වන්නේ හන්තාන කඳුවැටියෙන් උපත ලබා පල්ලෙදෙල්තොට හරහා ගලා එන හාල්වත්ත ඔයයි. තේවත්ත අතරින් පහළට දිවෙන අඩි පාරක් ඔය වෙතට වැටී තිබේ. ස්නානය කළ කිහිප දෙනෙක් ඒ ඔස්සේ ඉහළ පිහිටි මාවත දෙසට එනු පෙනේ.
ඔය ආරම්භයේ සිට අවසානය දක්වාම ගලා බසින්නේ ගල් පර්වත මතිනි. මේ නිසා පැහැදිලි ජලය නිල් පැහැයෙන් දිස්වීම ස්වභාවයයි. නිල් + අඹ (ජලය) යන්න නිල්ලඹ වූ බව ජනප්‍රවාදයේ එන කතාවකි.
දෙවැනි රාජසිංහ සමයේ සිටි ඉංග්‍රීසි සිරකරුවකු වූ රොබට් නොක්ස් සඳහන් කරන්නේ මහනුවර ප්‍රධාන මාලිගයට අමතරව නිල්ලඹේ, හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ අලුත්නුවර (මහියංගණය) තවත් ගමන් මාලිගා පැවති බවය. නිල්ලඹ ඔයේ වම් ඉවුරේ තැනිතලා බිමක මාලිගය පිහිටි බව විශ්වාස කෙරේ. එහි අද ඉතිරිව ඇත්තේ ගලින් කළ සඳකඩ පහණක් පමණි. රජු විවේක ගත් බව පැවසෙන ගල්තලාවක් ද එයට යාබදව ඔයේ පිහිටා තිබේ. මේ අවට මූකලානක් පැතිර පවතී. රජුට පෘතුගීසින් එවූ බව පැවසෙන රඹුටන් ඇටවලින් හටගත් රඹුටන් ගස්වලින් පැවතෙන රඹුටන් ගස් අදත් මාලිගා බිම අවට දැකගත හැකිය. අදටත් නිල්ලඹ වටපිටාව පිරී පවතින්නේ තේවතුවලිනි. වර්ෂ 1872 න් පසු මේ පෙදෙස තේවතු අධිරාජ්‍යයක් බවට පත්විය. නිල්ලඹ වතුයාය අක්කර 6000 ක පෙදෙසක පැතිරුණි. සිව් දෙසින්ම කඳුවලින් වටවූ නිල්ලඹ ආරක්ෂක පෙදෙසක් ලෙස වැදගත් විය.
“නිල්ලඹ උප නගර ප්‍රදේශයේ පැරණි නටබුන් මෑතක් වනතුරුම දක්නට ලැබුණු බව කියති. රජ මාලිගාව පිහිටි පෙදෙස දැන් රාජමලෙයි යනුවෙන් හැඳින්වේ. රජ මාලිගාවේ පේකඩ සහිත ගල්කණු මෑතක් වනතුරුම දුටු බව අයෙක් පැවසූහ. ඒවා දැන් පසින් වැසී ඇති බවද ඔවුහු වැඩිදුරටත් පැවසූහ. රජ මාලිගය පිහිටි භූමියට මඳක් පහළින් ඔයේ දකුණුපස ගල්තලාවකි. එහි කවිච්චියක හැඩයෙන් යුක්ත ගල් අසුනක් සකස් කර තිබේ. රාජසිංහ රජු විවේක ගැනීමට මේ ස්ථානය භාවිත කර ඇත. මෙයට පහළින් ඔයේ ගලක ඉර හඳ කොටා තිබුණද එය නිදන් ලකුණකැයි සිතූ කිසිවකු විනාශ කර ඇතැයි කියති.” (‘නිල්ලඹ අතීතය’ - හන්දෙඩියේ ගුණවංශ හිමි - ඉසුර 1985 මැයි 14 පිට)
නිල්ලඹ ජලාශය ඉදිකළ පසුව ඉහත සඳහන් සලකුණු බොහොමයක් ජලාශයේ සැඟව ගියේය. නිල්ලඹ ඓතිහාසික ගම්මානයේ දළදා මාලිගාව සතු ගම් පංගු තුනක් දක්නට ලැබේ. ඒවා නම් කත්කියන පංගුව, එඬේර පංගුව හා හක්ගෙඩි පංගුව වේ.
නිල්ලඹ අවට අතීතයේ සිතින් ඇවිද ගිය අප නිල්වන් ජලයෙන් පිරි ඔයේ නාන තොටුපොළට පියමනින්නට වූයේ එහි ගිලී සැනහෙන්නටය.
සේයාරූ - අන්තර්ජාලයෙනි
කුසුම්සිරි විජයවර්ධන