ජනාධිපතිවරයා පසුගිය 22 දා ජනාධිපති කාර්යාලයේදී දිවයිනේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ අදාළ අමාත්‍යංශවල නිලධාරීන්ද සමඟ සාකච්ඡාවක් පැවැත්වූවේය. අනතුරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ ද සාකච්ඡා කර ඇත. මෙහිදී තීරණ කිහිපයක් ගෙන තිබෙන බව වාර්තා විය.
ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ සහල්වලට පනවා ඇති උපරිම විකිණුම් මිලෙහි වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බවය. විධිමත් කෘෂිකාර්මික සැලසුමක් ඇතිකර ගොවි ජනතාවටද පාරිභෝගිකයාටද දිගුකාලීනව සහන සලසන වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිවරයා පැවසුවේය. පාලන මිල පැනවීමෙන් පසු ගොවියන්ගේ වී මිලට ගෙන ඇති නිසා ඉන්පසුව මිලේ වෙනසක් ඇතිකිරීම සාධාරණ නොවන බවද ඔහු පෙන්වා දී ඇත. ගොවියන්ගෙන් සාධාරණ මිලට වී මිලට ගෙන පාරිභෝගිකයාට සාධාරණ මිලට හාල් ලබා දීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. මේ වනවිට සහල් මිල කෘත්‍රිමව ඉහළ ගොස් ඇති අතර, දිගුකාලීනව මිල පාලනය නොකිරීම නිසා මිලෙහි අස්ථාවරභාවයක් ඇතිවී තිබේ. මෙහිදී අතරමැදි තොග රැස්කරන්නන් ලියාපදිංචි කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ට විශාල නිෂ්පාදන පිරිවැයක් යන බව පෙන්වා දීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ මූල්‍ය දුෂ්කරතා අවම කිරීමට යෙදවුම් මිල අඩු කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දී තිබේ. මෙම රැස්වීමේදී මහා පරිමාණ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසා තිබෙන්නේ පාලන මිලට සහල් අලෙවි කිරීම පාඩු සහගත නමුත් රජයට කරන අනුග්‍රහයක් ලෙස සහල් තොග අවසන් වනතුරු පාලන මිලට සහල් අලෙවි කරන බවය.
පසුගිය 25 දා ජනාධිපතිවරයා පැවසුවේ රටේ සහල් නිෂ්පාදකයන්ට ආණ්ඩුව සමඟ අවබෝධයකින් කටයුතු කළ නොහැකි නම් මිල අඩු කිරීමට නීත්‍යානුකූල පියවර ගන්නා බවකි. මේ වනවිට පොහොර සහනාධාරය හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩිකර ඇති අතර ජනවාරි වනවිට මිලදී ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන බැවින් ගොවියාට වැඩි ආදායමක් ලැබෙන බව කියා ඇත. මෙහිදී ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ සියලුම සහල් ගබඩා පරීක්ෂා කර තොග පිළිබඳ දත්ත වාර්තා කළ යුතු අතර සහල් නිෂ්පාදකයන් මෙතෙක් ලබාගෙන ඇති ඇපකර පිළිබඳව ද සොයා බලන ලෙසටය.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එන්.පී.එන්.එම්. වික්‍රමසිංහ පැවසුවේ සහල් ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස වී මෙට්‍රික් ටොන් ලක්ෂ 4 ක් මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවය.
දැනට ආණ්ඩුව සතුව වී නොමැති නිසා ලබන කන්නයේ සිටවත් වී මිලදී ගැනීමට මේ වනවිට ගබඩා පහසුකම් වැඩි කරමින් සිටින බව කීවේය. ඉන් අනතුරුව හාල් මිල 4 – 5 දෙනකුට තීරණය කිරීමට ඉඩ නොලැබෙන අතර හාල් හිඟවන විට වෙළෙඳපොළට මුදාහැරීම සඳහා වී මෙට්‍රික් ටොන් ලක්ෂ 4 ක් මිලට ගැනීමට කටයුතු කරන බවද හෙතෙම පවසයි.
කුරුණෑගල ප්‍රාදේශීය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පසුගිය 26 – 27 දිනවල සහල් ගබඩා පරීක්ෂා කළ අතර දත්ත පිළිබඳ වාර්තාවක් කඩිනමින් කොළඹ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට ගැනීමට කටයුතු කරමින් සිටිති. පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ ගබඩා, නිලධාරීන් විසින් පරීක්ෂා කරනු ලැබ ඇත. පොළොන්නරුවේ අරලිය සහල් මෝල, මින්නේරිය සී.පී.පුර මේනක සහල් නිෂ්පාදන ආයතනය, වැලිකන්ද සිංහරත්න සහල් නිෂ්පාදනාගාරය, නිපුන සහල් ව්‍යාපාරය, පොළොන්නරුව හේවාගම පවත්වාගෙන යන හිරු සහල් මෝල, කදුරුවෙල නගරයේ වීහේන හාල් මෝල, ලක් සහල් මෝල ආදී ස්ථාන නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්විය.
අරලිය හාල් මෝලේ කළමනාකරණ අධ්‍යක්ෂ ලාල් සිරිසේන, විධායක අධ්‍යක්ෂ සම්පත් රත්නායක යන අය නිලධාරීන්ට පවසා ඇත්තේ හාල් නිෂ්පාදනය සඳහා විශාල මුදලක් වැය වන අතර රජයේ පාලන මිලට සහල් දීමට අපහසු බවයි. නාඩු, සම්බා සහ කීරි සම්බා තොග පවතින තුරු පාඩු විඳගෙන හෝ පාලන මිලට දෙන බවද, නාඩු සහල් කිලෝ ලක්ෂයක්, කීරි සම්බා ලක්ෂ 2 ක් හා සම්බා ලක්ෂ 10 ක් දිනපතා නිකුත් කරන අතර, තිබෙන සහල් තොගය දින 75 කට ප්‍රමාණවත් බවද ප්‍රකාශ කර තිබේ. නිපුන සහල් ව්‍යාපාරයේ අධිපති සිරිපාල ගම්ලත් පවසා ඇත්තේ නාඩු කිලෝව රුපියල් 220 ක පාලන මිලට නිකුත් කරන නමුත් තමන්ට නාඩු කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 225 ක් වැය වන බවයි.
කෙසේ වුවද පාලන මිල දිගටම පවත්වාගෙන යාමේ තීරණය මත දිගටම පාලන මිලට සහල් අලෙවි කළ හැකිද යන්න ප්‍රශ්නගත වේ. කිසිදු ව්‍යාපාරිකයකු පාඩු ලබමින් ව්‍යාපාර නොකරන අතර එසේ සිදුවුවහොත් එය මග දී අවසන් වනවා ඇත. ඒ නිසා දැනටමත් පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන නමුත් මෙම අවදානම නොගන්නා ව්‍යාපාරිකයන් සහල් අලෙවියෙන් ඉවත්ව ඇති අතර ඒ හේතුවෙන් මේ වනවිට සහල් හිඟයක් ඇතිවී ඇති බව පෙනෙන්නට තිබේ. මෙය ඉදිරි උත්සව සමයේදී විශාල ගැටලුවක් වනවා ඇත.
ජනාධිපතිවරයා සහල් වෙළෙඳුන් සමඟ කළ සාකච්ඡාවේදී සංචාරක ව්‍යාපාරය සඳහා හැර හාල් ඇටයක්වත් පිටරටින් නොගෙන්වන බව ස්ථිරවම ප්‍රකාශ කළ නිසා කූට සහල් වෙළෙඳුන් ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවේ යැයි උපකල්පනය කර දැනටමත් සහල් කිලෝව රුපියල් 5 – 10 ආදී වශයෙන් මිල වැඩිකර විකිණීමට පටන්ගෙන ඇති බව නගරයේ මෙන්ම පිටිසරින්ද අනාවරණය වෙයි. තවද හාල් මෝල්වල දැනට ඇති සහල් තොග මෙම වසර අවසානය වන තෙක් අලෙවි කරන නමුත් යළි සහල් නිෂ්පාදනය නොකරන නිසා ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම සහල් හිඟයක් ඇතිවිය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
එසේම නගරයේ සහල් වෙළෙඳුන් පවසන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තමන්ට සහල් අලෙවි කරන්නේ පාලන මිලට වන බැවින් ඒ මිලට සහල් මිලදී ගෙන එම මිලටම හාල් විකිණීමට සිදුව ඇති නිසා අතින් කාලා අනුන්ගේ හරක් බලා ගැනීමට නොහැකි බැවින් තමන් වෙළෙඳාමෙන් දැනටමත් ඉවත්ව ඇති බවයි. මේ නිසා ඩඩ්ලි සිරිසේන පාලන මිලට සහල් දෙන බව පැවසීම ප්‍රයෝගයක් මිස එයින් මිල අඩු කළ නොහැකි බව ඔහු ද දන්නා කාරණයක් බව සිතාගත හැකිය. කෙසේ වුවද මෙම දැවෙන ප්‍රශ්නයට ඉක්මනින් විසඳුමක් ලැබීම අවශ්‍ය වන බව ආණ්ඩුව සිතාගත යුතුය.
සහල් වෙළෙඳපොළේ දැනට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සමාලෝචනයක යෙදෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මෙසේ ප්‍රකාශ කරයි.
“ජනාධිපතිතුමා සහල් ගැටලුවට විසඳුම් අපේක්ෂාවෙන් පසුගියදා සහල් මෝල් හිමියන් හා මධ්‍යම පරිමාණ සහල් ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා කිරීම ගැන මුලින්ම සතුටු විය යුතුයි. එහෙත් එම සාකච්ඡාවේදී ගත් තීරණ හරි හැටි ක්‍රියාත්මක නොවීම ගැටලු සහගතයි. ඒ නිසා මම නම් කියන්නේ එක් කණ්ඩායමක් සමඟ පමණක් නොව මෙම ව්‍යාපාරයේ නිරත සියලු දෙනා සමඟම එක මේසයක සිට සාකච්ඡා කළ යුතු බවයි. යෙදවුම් සපයන්නා, ගොවියා, අතරමැදියා, තොග වෙළෙන්දා, සුළු පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, මහා මෝල් හිමියන්, සහල් තොග ප්‍රවාහනය කරන්නන්, සිල්ලර වෙළෙඳුන් ආදී කොට ඇති සෑම දෙනා සමඟම එකට සාකච්ඡා කර තීරණයක් ගත යුතුයි. එවිට ඒ සැමගේම ගැටලුවලට විසඳුම් දිය හැකි වෙනවා.
මේ සැම දෙනාම තමාට යම් පමණක හෝ වාසියක් ලබන්නේ නැති නම් මෙම ව්‍යාපාරයේ නිරත වෙන්නේ නැහැ. එහෙම නැතුව පුණ්‍ය කටයුත්තක් ලෙසට මෙය කරන අය නැහැ. ඒ නිසා සම්බන්ධ වන සෑම දෙනාටම සුළු හෝ ලාභයක් ලැබිය යුතුයි. සහල්වලට පාලන මිලක් පනවන විට මේ සියලු දෙනා දෙසම බලන්න වෙනවා. නැතිනම් සාර්ථක වෙන්නෙ නැහැ. ඒ නිසා මේ සෑම අංශයකම නියෝජිතයන් එකට තබා සාකච්ඡා කර ඒ සැමටම එකඟ විය හැකි තීරණයකට බහින්න වෙනවා. කන්නය ආරම්භයේදී මෙන්ම කන්නය අවසන් වීමට කලින් ද සාකච්ඡා දෙකක් පැවැත්විය යුතුයි.
මෙවර පවතින පාලන මිල පසුගිය රජයෙන් පනවපු එකක්. එය සියල්ලන්ගේ එකඟතාවයෙන් නොගත් එකක් විය හැකියි. ඇතැම් වෙලාවට කොළඹ සිටින නිලධාරීන්ගේ වාර්තා බලා ගත් තීරණයක් විය හැකියි. කවුරුන් හෝ වී තොග හංගාගෙන ඉන්නවද? අතරමැදියන් වී රැස් කරගෙන ඉඳලා මිල නංවනවද? කියා සොයා බැලිය යුතුයි. කෙසේ වුවත් පවතින උපරිම මිල ප්‍රායෝගික නොවේ නම් මිල වැඩි කළ යුතුයි. එහෙත් ඡන්දය ආසන්නයේ එවැනි තීරණයක් ගන්න බැහැ. ඡන්දය අවසන් වීමෙන් පසු මේ ගැන තීරණයක් ගැනීමට සිදු වෙනවා. කෙසේ වුවද කවුරු අකැමැති වුණත් කවදා හෝ සත්‍යයට මුහුණ දිය යුතුයි.
මෙයට පෙර 2020 වසරේදීත් මෝල් වටලන්න පටන් ගත්තා. එහෙත් එය අසාර්ථක වුණා අපට මතකයි. ඒ නිසා මේ විදිහට මෝල් විමර්ශනය කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ජනාධිපති සතුටු කරන්න කතා කරලත් වැඩක් වෙන්නෙ නැහැ. වී අලෙවි මණ්ඩලයට වී ගබඩා 325 කට වැඩියෙන් තියෙනවා. වී අලෙවි මණ්ඩලයට රටේ ඇති මුළු අස්වැන්නම ගන්න බැහැ. එහෙත් සෑහෙන ප්‍රමාණයක් මිලට ගෙන ආරක්ෂිත තොග ලෙස තබාගත හැකියි. අසාධාරණ ලෙස මිල වැඩි වේ නම් ඒවා වෙළෙඳපොළට මුදා හැරලා මිල පාලනය කළ හැකි වෙනවා. ඒ වුණාට මේ ප්‍රශ්නය එක රැයකින් විසඳන්න බැහැ. හරිම සංකීර්ණයි.
තාවකාලික වශයෙන් හෝ ක්ෂණිකව සහල් ප්‍රශ්න විසඳනවා නම් අදාළ කණ්ඩායම්වලට සහනාධාර දිය යුතුයි. මිල අඩුවීමෙන් සිදුවන අවාසිය සහනාධාරවලින් ආවරණය කරගත යුතු අතර ඒ අවාසිය රජය දැරිය යුතු වෙනවා. පැළැස්තර දාලා විසඳන්න අපහසුයි. කෙසේ වුවත් නිතරම ඒ මේ අතට වැනෙන සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට වගකිවයුත්තන් ඉක්මනින් කටයුතු කළ යුතු වෙනවා.”
• යසවර්ධන රුද්රිගු