එළැඹෙන මූල්‍ය වසර සඳහා ආදායම හා වියදම සම්බන්ධ දළ අදහසක් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කෙරේ. එය සම්ප්‍රදායයක් වශයෙන් සිදුවේ. නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අයවැය යෝජනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන අතර කාරක සභා අවස්ථාවකට පසු සම්මත කර ගැනේ. සකස් කරගත් අයවැය මුදල් වසර සඳහා අදාළ වනු ඇත. පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පමණින් එය අතිශය වැදගත් කිසිසේත් සංශෝධනය කළ නොහැකි කඩදාසි බවට පත් නොවේ. අවශ්‍ය අවස්ථාවක පිළිගත් ක්‍රමවේද අනුව යෝජනා වෙනස් කරන බලය ආණ්ඩුවකට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අලුත් ආණ්ඩුවක් තෝරා ගැනීමේ අයිතිය මහජනතාව ඉදිරියේ තබා තිබේ. මහජන නියෝජිතයන් තෝරා පත් වීමෙන් පසු බෙහෝ දුරට ලබන මාර්තු මාසයේදී එම වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරනු ඇත.
නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති රාමුවට වෙනස් දේශපාලන සන්දර්භයක් සහිත පාලනයක් නිර්මාණය වී ඇත. ඇතැම් බටහිර මාධ්‍ය දක්වන පරිදි මාක්ස්වාදී වාමාංශික ප්‍රවණතාවයකි. කෙසේ නමුත් ජනාධිපතිවරණ වේදිකාවේදී පවා ලිබරල් අදහස්, ධනේශ්වර උපාය මාර්ග සහ සැලසුම් ගැන අදහස් ඉදිරිපත් වූ බව මතක් කළ යුතුය. මෙම මිශ්‍ර ස්වභාවය හමුවේ ආණ්ඩුවේ ආර්ථික දර්ශනය ඉතාම වැදගත්ය. අයවැය අනුව රට ඉදිරියට ගෙන යන දැක්ම හෙළි කරනු ඇත. කරුණු එසේ හෙයින් අයවැය යෝජනා ඉතාම වැදගත් අවස්ථාවකි.
• ස්ථාවරත්වය මැද ඉදිරියට පියවරක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිබුණු තැන අනතුරුදායකය. අද වන විට එහි වෙනස්කම් ඇතිවී තිබේ. ස්ථාවරභාවයක් ලබා ඇත. ප්‍රධාන ශ්‍රේණිගත කිරීමේ ආයතන අවදානම ගැන මතු කර තිබුණු අදහස් සමතුලිත කරන පියවර ගෙන තිබේ. එය විශාල ප්‍රගතියකි. ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණු, එහෙත් ගෙවාගත නොහැකි ණය ගැන සාකච්ඡා සාර්ථක වී ඇති අතර ඒවා ආපසු ගෙවන ක්‍රමවේද නිගමනය කර ඇති බව ජාත්‍යන්තර ප්‍රජාව පිළිගෙන තිබේ. පැරිස් කණ්ඩායම, චීනය හා විශේෂයෙන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය ආපසු අය කරගැනීම ගැන දක්වා ඇති ප්‍රතිචාර ඉදිරියේ දී ඇති කරගත යුතු ආර්ථික වර්ධනය සඳහා ඉතා වැදගත්ය.
කෙසේ නමුත් අයවැය සම්බන්ධව දැනට මතුව තිබෙන අදහස් අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් ගැනීම අවශ්‍ය බව වත්මන් රජය විශ්වාස කරන බව පෙනේ. මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පීටර් බෲවර් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා හා රජයේ නිලධාරීන් මුණගැසුණහ. මූල්‍ය අරමුදලේ සැලැස්ම ඉදිරියට ගෙන යන අවශ්‍යතාව දෙපාර්ශ්වයම පිළිගත් අතර ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවක මෙරටට එන්නට නියමිත තුන්වැනි නිරීක්ෂණ වටය ආරම්භ කළ හැකි බව ප්‍රකාශ වී තිබේ. ඉදිරියේ දී එනම් නොවැම්බර් මාසයේ අග පමණ නිරීක්ෂණ කණ්ඩායම පැමිණ මෙතෙක් ලබාගත් වාරික සම්බන්ධ ප්‍රගතිය සමාලෝචනය කරනු ඇති බව දැක්වේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතාව අනුව මාස හතළිස් අටක් දක්වා ගතවන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් භාවිත කරමින් සිටී.
ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර ඇති කරගත් එකඟතාව ගැන රට තුළ විවිධ අදහස් තිබේ. මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රට හසුරුවන බව ද කල්පනා කරන බව පෙනේ. එහෙත් ආකෘතිය සකස් කරගත යුත්තේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව අනුව බව පැහැදිලිය. ණය ගෙවාගත නොහැකි අතර විනිමය සංචිත පිරිහී ගිය රටක් වශයෙන් ස්ථාවරත්වය ඇති කරගැනීම උදෙසා පිළිගත් විගණන උපාය අනුව කටයුතු කළ යුතු වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති කරන රාමුව ජාත්‍යන්තර ප්‍රජාව, අයෝජකයන් හා ණය හිමියන් සඳහා අදාළය. එයට අනුව කටයුතු කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීන්දුවකි. ප්‍රතිපත්ති වෙනස් කිරීම අනුව සැලැස්ම ඉදිරියට ගෙන යන ආකාරය හෝ එයට සහමුලින්ම විරුද්ධ වෙනත් සැලැස්මක් ඉදිරිපත් කර රට ආර්ථික දියුණුව කරා ගෙන යන පියවර වර්තමාන ආණ්ඩුව ගත යුතු තීරණයක් බව පැහැදිලිය.
• අලුත් ආර්ථික විප්ලවය
රජයේ ආදායමෙන් සියයට හැටක පමණ ප්‍රතිශතයක් කලින් ලබාගත් ණය පොලිය හා වාරික වෙනුවෙන් වෙන් කරන්නට සිදුවී ඇති බව භාණ්ඩාගාර තොරතුරු දක්වයි. රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම රජයේ ආදායම සමඟ සැසඳුවහොත් සියයට 45 ඉක්මවන බවද අනාවරණය වේ. රජයේ ආදායම පැවැත්ම සඳහා කෙසේවත් ප්‍රමාණවත් නොවන බව එයින් අඟවයි. අලුත් ආණ්ඩුවට අලුතින් යමක් කරන්නේ කෙසේද? පොහොර සහනාධාරය වැඩි කර ඇත. විශ්‍රාම වැටුප් සඳහා දීමනාවක් එකතු කර තිබේ. ලබන වසරේ සිට රජයේ සේවක වැටුප් වැඩි කරන බව ප්‍රකාශ වී ඇති කරුණකි. අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අංශවල විශාල උන්නතියක් අපේක්ෂා කරයි. පොදු ප්‍රවාහනය සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදුවනු ඇති බව මහජනතාවගේ අපේක්ෂාව වී තිබේ. අනෙක් අතට විදුලිය ගාස්තු අඩු කළ යුතු අතර ඉන්ධන සඳහා අය කරන බදු ඉවත් කර අඩුම මිලට සැපයිය යුතු බව මහජනතාව දැඩිව විශ්වාස කරන බවද මෙහිදී සඳහන් කළ යුතු කරුණකි. සහල් මිල, බිත්තර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අඩු මිලට සැපයිය යුතු බවද අපේක්ෂාව වී ඇත. මෙකී සියලු කරුණු සලකා බැලීමේදී ආණ්ඩුවක වියදම පාලනය කරගැනීම අපහසු විය හැකිය. අලුත් ආදායම් සොයා ගත යුතු වේ.
ලබන වසර අලුත් ආණ්ඩුවට තීරණාත්මක එකකි. පසුගිය කාලය තුළ ගමන් කළ ආර්ථික සමාජ ප්‍රතිපත්තිවලින් බැහැර නවතම ප්‍රවේශයකට යා යුතුය. සන්ධාන ආණ්ඩුව තිබියදී එක්සත් ජාතික පක්ෂය එහි එක ප්‍රධාන පාර්ශ්වයකි. පසුගිය කාලය තුළ ආර්ථික වේගය සීමා කරන ක්‍රමවේදයක් අනුගමනය කළේය. එහි අරමුණ ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පාලනය කිරීමයි. විනිමය සීමාසහිත වීම ඉදිරියේ බලවත් ගැටලුවක් වූ ආනයන වියදම පාලනය කරගැනීම එයින් අපේක්ෂා කෙරිණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි විශ්වාසය තහවුරු කරන වැඩපිළිවෙළක් සඳහා අලුත් ආණ්ඩුව වැය ඉදිරිපත් කිරීමේදී සැලසුමක් අවශ්‍යය. ප්‍රතිපත්ති මත පිහිටා ආර්ථික සැලසුම් ගණනාවක් පසුගිය කාලය තුළ සකස් කර ජනතාව හමුවේ තබා ඇත. වසර 2025 සඳහා වන දර්ශනයක් පසුගිය ආණ්ඩුව ඉදිරිපත් කර තිබුණු අතර ඒවා සම්පූර්ණයෙන්ම අවසන් බවද මෙහිදී සඳහන් කළ යුතුය.
• අයවැය රාමුව ගැන අභියෝග
ආණ්ඩුවට අලුතින් හිතන්නට කාලයක් නැත. බරපතළම ගැටලුව එයයි. පළාත් සභා මැතිවරණය පවත්වන්නට අවශ්‍යය. පළාත් පාලන ආයතන ඡන්ද පවත්වන්නට නියමිතය. එය අතරවාරයේ පොදු ජනතාව තෘප්තිමත් කළ යුතුය. මහා භාණ්ඩාගාරයේ ඉලක්කම් පෙන්වන්නේ ආර්ථිකයේ ඇති දුබලතා හැර අනෙකක් නොවේ. ඒවා අභිබවා ජනතාවට සහන දීමට අති විශාල අවදානමක් ගත යුතු බවයි.
එහිදී මූල්‍ය අරමුදල යෝජනා කරන අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට හතරක තබා ගැනීමට යෝජනා කර ඇත. අනෙක් අතට රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහළොවක් දක්වා වැඩි කරන්නට නියමිතය. කොන්දේසි අනුව සලකා බැලීමේදී ආණ්ඩුව අය කරගන්නා බදු සාධාරණව වැය කරන අතර ගෙවන බදුවලින් අත්පත් කරගන්නා අවස්ථා ප්‍රසිද්ධ කළ යුතු වේ. මූල්‍ය විනිවිදභාවය සම්බන්ධ අන්තර්ජාල තොරතුරු පද්ධතියක් නඩත්තු කිරීම මූල්‍ය අරමුදලේ කොන්දේසි සියයක් අතර තිබේ. එයට අනුව මාස හයකට වතාවක් රාජ්‍ය ප්‍රසම්පාදන හා කොන්ත්‍රාත් සම්බන්ධ තොරතුරු මහජනතාව හමුවේ තැබිය යුතු වේ. ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබන සමාගම්වල ලේඛනයක් හා සුඛෝපභෝගී රථවාහන ආනයනය කිරීමෙන් පසු බදුවලින් නිදහස් කරන පුද්ගලයන් හා සමාගම් ගැන සියලු විස්තර ජනතාවට හෙළි කළ යුතු වේ. මෙම කරුණුවලට අදාළ වෙනම වේදිකාවක් සකස් කිරීම සුදුසු බව මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.
රාජ්‍ය මුදල් වැය කරන ආකාරය ගැන මාසිකව වාර්තා කරන ප්‍රතිපත්ති හා රාජ්‍ය ව්‍යවසාය වාර්ෂික ගිණුම් ප්‍රකාශ නිසි පරිදි නිකුත් කිරීම ද මූල්‍ය අරමුදලේ යෝජනා අනුව ආණ්ඩුව පැත්තෙන් ඉටු කළ යුතු බරපතළ කරුණු අතර තිබේ. මේවා පුළුල්ව සලකා බැලීමේදී අයවැය හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කරන්නට සිදුවේ. මේවා අභියෝග වශයෙන් සනිටුහන් වනු ඇත.
• සාරා කන්දෙගොඩ