ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබමින් ජාතික ජනබලවේගය එහි පාලන බලය හිමිකර ගත්තේය. ජාතික ජනබලවේගයට මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ, ජනාධිපතිවරණයෙන් අනතුරුව ලැබූ පළමු මැතිවරණ ජයග්‍රහණය හේතුවෙනි.
ඇල්පිටිය පුංචි ඡන්දය පැවැත්වුණේ, නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයේ ඡන්ද උණුසුම මැදය.
ඡන්ද කොට්ඨාස මට්ටමින් සහ සමානුපාතික ක්‍රමයට පැවති මෙම මැතිවරණයේදී ආසන 30 කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15 ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. සමගි ජනබලවේගය ආසන 6 ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3 ක් හිමිකර ගත්තේය. ජනතා සන්ධානය සහ ස්වාධීන කණ්ඩායම ආසන 2 බැගින් දිනා ගත්තේය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂ 8 ක් තරග කළේය.
ජාතික ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, දෙවන පෙරමුණ එම පක්ෂ අතරට අයත්ය.
මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට දින 20 කටත් අඩු කාලයක් තුළ පැවති මෙම මැතිවරණයේ ප්‍රතිඵලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කෙසේ බලපානු ලබයිද?
‡ මේ ප්‍රතිඵලය මහ මැතිවරණයට බලපාන්නේ කෙසේද?
මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ, මෙම පුංචි ඡන්දයේ තීරණය මහ මැතිවරණයට විශාල බලපෑමක් නොකළ ද ජනාධිපතිවරණයේ තීරණය මහ මැතිවරණය කෙරෙහි ඍජුවම බලපාන බවය.
ජනාධිපතිවරණයට පෙර බොහෝ දෙනකු බලාපොරොත්තු වූයේ ඉදිරි මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට නොහැකි ලෙස එල්ලෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය විය හැකි බවටය.
එහෙත්, ජනාධිපතිවරණයෙන් අනතුරව රටේ දේශපාලන වාතාවරණය මුළුමනින්ම පාහේ උඩු යටිකුරු වීමේ තත්ත්වයක් මේ වන විට උද්ගත වී තිබේ.
පවුල් බලය පැවති, නම් දැරූ ප්‍රවීණ මන්ත්‍රීවරුන් සහ දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් රැසක් ඉදිරි මහ මැතිවරණයට තරග නොකර ස්වයං විශ්‍රාම ගැනීමකට යොමු වී සිටිති.
ඒ අනුව විපක්ෂය තුළ දැඩි දේශපාලන රික්තකයක් මේ වන විට නිර්මාණය වී ඇති අතර, පාර්ලිමේන්තුවේ සංයුතියට එය විශාල බලපෑමක් එල්ල කළ හැකිය.
“ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බත් නැතත්, ජනාධිපතිවරණයත් ඒකත් එක්ක හැදිච්චි වෙනසත් තාම තියෙනවා.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පළාත් පාලන මැතිවරණයට බලපාන්න පුළුවන්. ළඟ ළඟ මැතිවරණ තියෙනකොට එක Flow එකකට යනවා.” නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පැවසුවේ, “සාමාන්‍යයෙන් පූර්වයෙන් පවතින මැතිවරණයේ ප්‍රවණතාවය, ඡන්දදායක හැසිරීම සහ එහි අවසන් ප්‍රතිඵලය ඊළඟ මැතිවරණයට බලපානවා. කිසිවකුට කියන්න බැහැ, ඒ මැතිවරණයේ ප්‍රතිඵලය අනිවාර්යෙන්ම ඊළඟ මැතිවරණයට බලනොපානවා කියලා.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කවුරු දිනුවත්, ඒකේ ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයට බලපානවට වඩා වැඩි පරිමාණයකින් බලපානවා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය.
ඇල්පිටියේ ප්‍රතිඵලය කවාරාකාර වුණත් ඊට වඩා සිය ගුණයකින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව සිහි කරලා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණාතාවක් ඇති. ඒක සාමාන්‍ය ස්වභාවය.” ඔහු පෙන්වා දුන්නේය.
‡ දේශපාලන පක්ෂවලට මතක හිටින පාඩමක්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වුණේ දිවයිනේ සෙසු සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්ව ඇති පසුබිමකය. පළාත් පාලන මැතිවරණය 2023 වසරේදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබුවද, ඒ සඳහා අවශ්‍ය අරමුදල් රජය විසින් වෙන් නොකිරීම නිසා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.
එම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් ඇතැම් අපේක්ෂකයන් මිය ගොස් ඇති අතර තවත් පිරිසක් විදෙස් ගතව සිටිති.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය කැඳවන අවස්ථාවේ පැවති දේශපාලන පක්ෂ හා සන්ධාන මේ වන විට කැඩී ගොස් ඇත.
පසුගිය රජය විසින් දිගින් දිගටම ඡන්ද කල් දැමීමට ගත් තීරණය ඔවුන්ට විශාල පාඩමක් උගන්වා ඇතැයි, රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.
“දේශපාලන බලය ඉලක්ක කරගෙන පළාත් පාලන මැතිවරණය උපහාසයට අපහාසයට ලක් කළා. එතකොට ඒගොල්ලන්ට ඉතිහාසයේ මතක හිටින පාඩමක් ඡන්දදායකයෝ කියලා දීලා තියෙනවා. ඒ කරපු දේශපාලන තීන්දුව නිසා, ආණ්ඩුව මොකද්ද කිව්වේ. සල්ලි නැහැ කිව්වා. සල්ලි තිබුණත් ඡන්දය නැහැ කිව්වා. ජනාධිපතිවරණය වෙනකම් පළාත් පාලන ඡන්දය තිබ්බෙ නැහැ. දැන් මොකද්ද ප්‍රතිඵලය. ප්‍රතිඵලය දේශපාලන පක්ෂවලට මතක හිටින පාඩමක්.”
‡ මැතිවරණ පැවැත්වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක්
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පැවසුවේ, නැවත මැතිවරණ සමයක් පැමිණීම ප්‍රජාන්ත්‍රවාදය අතින් ඉතා වැදගත් පියවරක් බවය.
“ඡන්ද නැති කාලෙක මරණාධාර සමිතියේ නිලයකට පත් කිරීමත් ප්‍රවණතාවක් බවට පත් වෙනවා. දැන් මේක ඡන්ද තියන කාලයක් නිසා මේකත් යම් ප්‍රමාණයකට බලපායි.
මැතිවරණ කෝඩයක් තිබිලා නියඟයක් තිබිලා මැතිවරණ වැස්සක් දැන් වහින්න පටන් අරන් තියෙන්නේ. මේකේ පැහැදිලි කාරණය. මේකට වගකියන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ.
ඔහු ඉතාම ශූර, චෞර පාලකයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සඳහා. විශේෂයෙන් මැතිවරණ කල් දැමීම, මැතිවරණ නොපවත්වා බලයට පැමිණීමේ මංපෙත් හදා ගැනීම වගේ. නමුත් ඍජුව මැතිවරණයකට තරග කරලා ඒ ආශ්‍රයෙන් මහජන මතය උරගා
බැලීමේ ශූරයෙක් නෙමේ.
මේ වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවල ප්‍රතිඵල මිසක් අන් කවරක්වත් නෙමෙයි.
පළාත් පාලන ඡන්ද හැකි ඉක්මනින් පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.
• BBC