2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා

ඒ පාර සූදු කෙළින්නත් ඔන්ලයින්

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අන්තර්ජාල සූදුව බරපතළ සමාජ ගැටලු‍වක් බවට පරිවර්තනය වී ඇති බව ඉතා පැහැදිලිය. ඉකුත් සතියේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද මේ පිළිබඳ වාර්තා කර තිබුණි. ජාත්‍යන්තර කොමිසමක් විසින් සිදු කරනු ලැබූ වාර්තාවක් අනුව යමින් මෙම වාර්තාකරණය සිදුවූ අතර ලොව පුරා ලක්ෂ 800 ක පමණ පිරිසක් මේ සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා විය. ඒ අනුව මෙම ගැටලු‍ව පිළිබඳ වඩාත් පුළුල් කියවා ගැනීමක අවශ්‍යතාවය අවධාරණය වූ අතර, අපි ඊට අදාළ සොයා බැලීම් සිදු කළෙමු.

අන්තර්ජාල සූදුවේ ප්‍රවර්ග දැකගත හැකි අතර ඉතා සරලව පැහැදිලි කළහොත් පහත දක්වා ඇති කාණ්ඩ ඉතා සුවිශේෂීය. අන්තර්ජාලය හරහා සිදුවන සූදු ක්‍රීඩා විවිධ වර්ගවලින් සමන්විතය. මෙම ක්‍රම ප්‍රධාන වශයෙන් දක්වා ඇති අයුරින් වර්ග කළ හැකි වේ.

1. Online Casino Games (මාර්ගගත කැසිනෝ ක්‍රීඩා)
2. Sports Betting (ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම)
3. Online Poker Rooms (මාර්ගගත පෝකර් ක්‍රීඩා කාමර)
4. Online Bingo and Lottery (බින්ගෝ සහ ලොතරැයි)
5. eSports Betting (ඊ-ක්‍රීඩා සඳහා ඔට්ටු ඇල්ලීම්)
6. Fantasy Sports (ෆැන්ටසි ක්‍රීඩා)

ඒ අනුව අන්තර්ජාලය හරහා සිදුවන සූදු ක්‍රීඩා (online gambling) විවිධ වර්ගවලින් සමන්විත බව පැහැදිලිය. ශ්‍රී ලංකාව තුළ ද මෙම සියලු‍ම ආකාරයේ ක්‍රමවේද ඔස්සේ අන්තර්ජාල සූදුව සඳහා සම්බන්ධ වන පිරිස් වේගයෙන් වර්ධනය වී තිබේ.

විශේෂයෙන්ම ක්‍රීඩා සඳහා ඔට්ටු ඇල්ලීම ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කෙරෙන අතර, ඉන්දියානු ආභාෂය සහිතව ක්‍රිකට් ක්‍රීඩාව එහිදී ප්‍රමුඛ වී ඇත. ඊ-ස්පෝට් සඳහා වන ඔට්ටු ඇල්ලීම් ද වේගයෙන් ප්‍රවර්ධනය වන බව නිරීක්ෂණය වන අතර, ඒවා වඩා වැඩි වශයෙන් දරුවන් සහ යෞවනයන් අතර ජනප්‍රිය වෙමින් තිබේ. මාර්ගගත කැසිනෝ ක්‍රීඩා ද වෙළෙඳ දැන්වීම් හරහා අන්තර්ජාලය තුළ සිංහල මාධ්‍යයෙන් ප්‍රවර්ධනය කිරීම මෑතක සිට ඉතා ඉහළ මට්ටමෙන් දැකගත හැකිය.

අප සොයා බැලූ ආකාරයට 2022 දී, ලෝකය පුරා අන්තර්ජාලය හරහා සූදු ක්‍රීඩා කර්මාන්තයේ වටිනාකම සම්පූර්ණයෙන්ම ඇමෙරිකානු ඩොලර් බිලියන 63.53 ක් ලෙස තක්සේරු කර තිබේ. මෙම වර්ධනය වාර්ෂිකව 11.7% ක අගයකින් ඉදිරියට යන අතර, 2030 වන විට එය බිලියන 153.6 ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මෙම දත්ත මෙහි වර්ධන වේගය හඳුනා ගැනීමට කදිම නිදසුනකි.

සමාජ මාධ්‍ය මේ විෂයෙහි දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර සූදුව ප්‍රිය කළ නමුත් අවස්ථාව නොලැබුණු පිරිස් මේ වන විට මේ සඳහා වේගයෙන් ඇබ්බැහි වෙමින් සිටිති.

ඒ අනුව ලොව පුරා අන්තර්ජාල සූදු ක්‍රීඩාවලට ඇබ්බැහි වීම (online gambling addiction) ඉතාමත් සංකීර්ණ ගැටලු‍වක් වී තිබේ. එය විවිධ මට්ටම්වල බලපෑම් ඇති කරමින් සමාජීය හා පුද්ගල ආර්ථික, මානසික, සහ සෞඛ්‍යමය ගැටලු‍ රැසක් නිර්මාණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සමීක්ෂණ ප්‍රතිඵල පෙන්වා ඇති පරිදි, ලොව ජනගහනයෙන් 3% - 5% පමණක් සූදු ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටිති. එයින් 1% - 2% ක් අන්තර්ජාල සූදු ක්‍රීඩාවලට විශේෂයෙන්ම ඇබ්බැහි වී ඇති බව දක්වයි. මෙම කාර්යය නිසා මිනිසුන්ගේ දෛනික ජීවිතයට ඍජු හානි සිදුව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ Public Health Implications of Excessive Gambling (2022) වාර්තාව හරහා අන්තර්ජාල සූදුව පුද්ගල මානසික සහ කායික ගැටලු‍ කෙරෙහි බලපාන ආකාරය මනාව විග්‍රහ කර ඇත.

ඒ අනුව ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාල සූදු ක්‍රීඩාවට ඇබ්බැහි වන ලක්ෂණ කිහිපයක් හඳුනා ගත හැකිය.

වැඩි කාලයක් සූදු සඳහා වෙන් කර ගැනීම.

සූදු ක්‍රීඩාවෙන් පරාජිත වීමෙන් පසු, එම මුදල් නැවත දිනා ගැනීමට නැවතත් සූදු ක්‍රීඩා කිරීම.

කුමන හෝ ක්‍රමයකින් ජයග්‍රහණය කිරීම සඳහා අධිපතිවාදීව ක්‍රියා කිරීම.

පවුල් සහ වෘත්තීමය සබඳතාවලින් ඈත්වීම.

අන්තර්ජාල සූදුවට ඇබ්බැහිවූවන්ගේ දැකගත හැකි ලක්ෂණ කිහිපයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව අන්තර්ජාල සූදු ක්‍රීඩාව, පුද්ගලයාට කායික සහ මානසික වශයෙන් කරන බලපෑම විග්‍රහ කර ගැනීම අතිශය වැදගත් වේ. මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් මේ සඳහා දක්වන ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් මෙම තොරතුරු ජනගත කළ යුතුමය.

අන්තර්ජාල සූදුව නිසා පුද්ගල ජීවිතයට සිදුවන කායික හානි (Physical Health Implications) රැසකි. නින්ද අහිමිවීම මෙහි ප්‍රධානතම ගැටලුවයි. අධික ලෙස සූදු ක්‍රීඩා කරන පුද්ගලයන් සම්පූර්ණයෙන් නිදි නොලැබීම හෝ අඩු නින්දක් ලබන පිරිස් බවට පරිවර්තනය වීම සිදුවේ. මේ හරහා මෙම පිරිස් දිගු කාලීන සෞඛ්‍ය ගැටලු‍වලට නිරාවරණය වී සිටින අතර ඔවුන්ගේ කාර්ය සාධනය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ. ඒ අනුව මෙම ක්‍රීඩා හරහා නිර්මාණය වන අධික මානසික පීඩනය හේතුවෙන් පුද්ගලයන්, හදවත් රෝග, අධි රුධිර පීඩනය, අක්ෂි රෝග ආදී රෝග රැසකට ගොදුරුව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

අන්තර්ජාල සූදුවට ඇබ්බැහි වීම හරහා සිදුවන මානසික හානි (Mental Health Implications) තක්සේරු කළ නොහැකි තරම් බරපතළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ පිළිබඳ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කර ඇති බොහෝ ආයතන සඳහන් කරයි. ඇමෙරිකානු මනෝ චිකිත්සකයන්ගේ සංගමය (American Psychiatric Association (APA) විසින් ඉදිරිපත් කරනු ලැබූ Gambling Disorder and Internet Gambling (2021) වාර්තාවට අනුව අන්තර්ජාල සූදු ක්‍රීඩාවට ඇබ්බැහිවීම් නිසා 60% කට ආසන්න පිරිසකට අවදානම් මට්ටමේ මානසික රෝග වැළඳීමේ හැකියාව පවතී.

මෙහිදී හඳුන්වා දිය හැකි ප්‍රධානතම මානසික ගැටලු‍ අතර අධික ආශාව, අනතුරුදායක අවදානම් දෑ වෙත යොමුවීම, පරාජය හමුවේ විරාගී වීම සහ ජීවිත ආශාව අතහැර දැමීම, සමාජ සබඳතා විනාශ කර දැමීම, තමන්ට හානිකර ගැනීම වැනි ගැටලු‍ රැසක් නිර්මාණය වන බව ඉදිරිපත්ව ඇති වාර්තා පෙන්වා දෙයි. එම තත්ත්වයන් විවිධ මානසික රෝග සමඟ සසඳා විග්‍රහ කර දක්වා ඇති අතර මෙය පුද්ගල සමාජ ජීවිතය කෙරෙහි අතිශය බරපතළ අවදානම් සහගත කටයුත්තක් බව විග්‍රහ කර තිබේ.

WHO වාර්තාවේ දැක්වෙන පරිදි අන්තර්ජාල සූදු ක්‍රීඩා නිසා ඇතිවන කායික සහ මානසික හානි නිසා පෞද්ගලික, පවුල් සහ සමාජමය ජීවිතයට මෙන්ම රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති කටයුතුවලටද ගැටලු‍ නිර්මාණය විය හැකිය. මේ වන විට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම අවදානමට වේගයෙන් නැඹුරු වෙමින් පවතින බව ඉතා පැහැදිලිය. මෙම තත්ත්වය වළක්වා ගැනීමට නීතිමය ප්‍රතිපාදන තිබෙන නමුත්, ඒවා ක්‍රියාත්මක කිරීම විෂයේ රාජ්‍ය බලධාරීන් දුර්වල බව මෙහිලා සඳහන් කළ යුතුය.

එසේ හෙයින් මෙම තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩිනම් ක්‍රියාමාර්ග මෙන්ම නීති ක්ෂේත්‍රය තුළ පැහැදිලි වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බව අපි අවධාරණය කර සිටිමු.

• චමිඳු නිසල් ද සිල්වා

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:03