2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

අධික ශීතලෙන් බේරෙන්න ලංකාවට බහින යුරෝපා සුද්දෝ

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 14

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමඟම, විශේෂයෙන් පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි රටවල වැසියෝ, එහි පීඩාකාරී පරිසර ගැටලුවලින් මිඳීම සඳහා සමකාසන්න රටවල් වෙත ඇදී යාම සිදු කරති.

 එම සමකය ආසන්න රටවල් අතුරින් බෙහෙවින් සුන්දර, එසේම කාලගුණික වෙනස්කම් කැපී පෙනෙන ආකාරයෙන් දැකගත හැකි රටවල් අතර කැපී පෙනෙන ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටීම මෙම සංචාරකයන් මෙරටට ආකර්ෂණය වීමට ප්‍රධානතම හේතුව වී තිබේ. පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ පිහිටි රටවල්වලින් වැඩි ප්‍රමාණයක් යුරෝපා මහාද්වීපයට අයත් රාජ්‍යයන් වන අතර, ඒවායේ වැසියන්, අධික ශීත කාලගුණික තත්වයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාව එක් ගමනාන්තයක් ලෙස තෝරාගෙන තිබේ.

මෙයට කදිම සාක්ෂියක් වන්නේ ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාවට සැසඳීමේදී මෙම 2024 වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 44% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ දත්ත ඇසුරෙන් කළ විග්‍රහයකදී අනාවරණය වී තිබීමයි.
මෙසේ ශ්‍රී ලංකාවට මෙම කාලසීමාව තුළ සංචාරකයන් පැමිණීම සඳහා ඔවුහු ඍතුමය වශයෙන් ක්‍රියාත්මක වන කුලී ගුවන් සේවා යානා යොදවා ගනිමින් සිටිති. ඒ අනුව 11/06 දින සිට රුසියාවේ සිටින සංචාරකයන් මෙරටට රැගෙන ඒම සඳහා අසූර් එයාර් ගුවන් සේවය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ.

අසූර් එයාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය 11/06 දින උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. මෙම ගුවන් ගමන සඳහා බෝයිං - 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය 342 ක් සිටියහ. මෙම රුසියාවේ අසූර් එයාර් ගුවන් යානා 11/06 දින සිට 2025 වසරේ අප්‍රේල් 30 දින දක්වා රුසියාවේ ප්‍රධාන නගර 05 ක සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
වෙනිකොව් (Venukov), සෙන්ටි පීටර්ස්බර්ග් (St: Petersburg), ක්‍රොසනොස්කො (Krasnosk), සෝචි (Soch) සහ නොවොසිබිස්ක් (Novosibirsk) යන රුසියාවේ ප්‍රධාන නගරවල සිට සතියකට ගුවන් යානා 05 ක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය. එසේම රෙඩ් වින්ග්ස් නැමැති තවත් රුසියානු ගුවන් සේවා ආයතනයක් විසින් ද මත්තල ගුවන් තොටුපොළ වෙත මෙම ඍතුමය ගුවන් ගමන් සේවා ආරම්භ කර තිබේ.

ඊට අමතරව නියමිත කාලසටහනකට අනුව ධාවනය වන රුසියාවේ එරොෆ්ලොට් ජාතික ගුවන් සේවය, රොසියා ගුවන් සේවය සහ ස්කයි ටීම් ගුවන් සේවා යානා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් සේවා නිතිපතා ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවායේ මේ වනවිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව උතුරු අර්ධ ගෝලයේ පිහිටි යුරෝපා රටවල් අතරින් විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන රට බවට ශ්‍රී ලංකාව පත් වී තිබේ.

මෙයට කදිම නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවට ප්‍රථම වතාවට අයිස්ලන්තයේ සිට සංචාරකයන් කණ්ඩායම් දෙකක් 11/05 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීම පෙන්වා දිය හැකිය. ඒ අනුව 11/05 දින උදෑසන 08.33 ට එමිරේට්ස් ගුවන් යානයකින් 24 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සහ දහවල් 01.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් තවත් අයිස්ලන්ත ජාතිකයන් 20 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම අයිස්ලන්ත ජාතිකයන් ශ්‍රී ලංකාව තුළ දින 14 ක කාලයක් ගත කිරීමට නියමිත අතර මෙම ගුවන් ගමන් අයිස්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙරට සංචාරක නියෝජිත ආයතන සමඟ එක්ව සංවිධානය කර තිබුණි.

රුසියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන්, එරට රජයේ මැදිහත් වීම මත, මෙරට තුළ එම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂිත වූ ප්‍රවාහන ජාලයක් ද පවතී. ඇනෙක්ස් (Anex) නමින් හැඳින්වෙන මෙම ප්‍රවාහන ජාලය තුළ බස් රථ, වෑන් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන විශාල සංඛ්‍යාවක් තිබේ.

මීට අමතරව ඉකුත් 11/01 දින සිට ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට තවත් ඍතුමය වශයෙන් ක්‍රියාත්මක වන ගුවන් සේවයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් ගමන් ආරම්භ කළේය. ඒ ඊඩ්ල්වයිස් ගුවන් (Edelweiss) සේවයයි. මෙම ගුවන් යානා 11/01 දින සිට එළඹෙන 2025 වසරේ මැයි මස 31 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් ගමන සඳහා එයාර් බස් ඒ.- 340 ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 251 දෙනකු පැමිණ තිබුණි. මෙම ගුවන් යානා දැනට සතියකට වරක් ස්විට්සර්ලන්තයේ සුරීච් නුවර සිට පැමිණීමට නියමිත අතර එළඹෙන 2025 ජනවාරි මාසයේ සිට මෙම ගුවන් යානා සිකුරාදා සහ ඉරිදා යන දිනවල සතියකට දෙවරක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

එසේම පෝලන්තයේ සිට ද තවත් ඍතුමය වශයෙන් ක්‍රියාත්මක වන විශේෂිත ගුවන් යානා සමූහයක් 11/02 දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. එන්ටර් එයාර් (Enter Air) ගුවන් සේවයේ මෙම ගුවන් යානා පෝලන්තයේ වෝර්සෝ (Worsaw), කැතොවීසා (Katowice) සහ පොස්නන් (Poznan) යන ප්‍රධාන නගර 03 ක සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.

මෙම ගුවන් යානා සෑම දින 10 කට වරක්, පෝලන්තයේ මෙම ප්‍රධාන නගර තුනෙහි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර මෙම ගුවන් සේවයේ ගුවන් යානා එළඹෙන 2025 වසරේ මාර්තු මස 31 දින තෙක් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙසේ ශ්‍රී ලංකාව වෙත සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය වීමට මෙරට තුළ පවතින කාලගුණික තත්වයට අමතරව, ශ්‍රී ලංකාවේ ආහාර පාන, ශ්‍රී ලාංකිකයන් තුළ පවතින සුහදශීලීත්වය, ආගන්තුක සත්කාර, සුන්දර වෙරළ තීර, මෙරට පවතින හෝටල් පහසුකම් ආදී කරුණු රාශියක් හේතු වී තිබේ. එනිසා මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත දිනපතා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 5,000 ඉක්මවා යමින් පවතී.
එසේම ඉදිරි දින කිහිපය තුළ තවත් ඍතුමය වශයෙන් ක්‍රියාත්මක වන ගුවන් සේවා රාශියක් කටුනායක ගුවන් තොටුපොළ වෙත, ශීත ඍතු කාලසටහන යටතේ පැමිණීමට නියමිතය.

• කටුනායක ටී.කේ.ජී. කපිල