එක් රෝගියකුගෙන් තවත් පුද්ගලයන් 18 දෙනකුට බෝවීමට ඉඩ ඇති බවට හඳුනාගෙන තිබෙන වසංගත රෝග තත්ත්වයක් වන සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ගතවූ මාස 17 තුළ මෙරටින් සරම්ප රෝගීන් 1100 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා මහතා කියා තිබුණි. මේ සමඟ සරම්ප පිළිබඳ අවධානය නැවත ඉහළ ගොස් තිබේ.
මෙරටින් තුරන් කළ සරම්ප මෙසේ නැවත පැතිරීම හේතුවෙන් දැන් මේ සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් විවෘත කර ඇති බවත් ඒ හරහා ජනතාවට සරම්ප, රුබෙල්ලා ඇතුළු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසිය හැකි බවත් එම අමාත්‍යාංශය පවසයි. 0117446513, 0117682722, 0117682872 හෝ 0117682662 දුරකතන අංක ඔස්සේ ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකිය. එම ඒකකය පෙරවරු 07.00 සිට පස්වරු 06.00 දක්වා ක්‍රියාත්මක වෙයි. සරම්ප එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන් ඇත්නම් වහාම එන්නත් ලබා ගත යුතු බවද අමාත්‍යාංශය දන්වා තිබේ. මේ සඳහා විශේෂ සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් ද ක්‍රියාත්මක විය.
සරම්ප රෝගය බුද්ධ වර්ෂ 600ටත් ඉහත කාලයක සිට වාර්තා වූවකි. කෙසේ වුවද රෝගය පිළිබඳව මුල්ම විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලද්දේ බු.ව. 860 - 932 කාලයේදී විසූ පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හඳුනා ගන්නා ආකාරය මුලින්ම විස්තර කර තිබිණි. පසුගිය වසර 150 තුළ සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනතාව මිලියන 200ක් පමණ මිය ගොස් ඇත.
වෛරසයක් මගින් පහසුවෙන් බෝවන සරම්ප කුඩා දරුවන් අතර වැඩි ව්‍යාප්තියක් දක්වයි. එසේම ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්ට වැළඳීමේ අවදානම ඉහළය. රෝගය සඳහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90% කටම අසාදිත රෝගියකු මාර්ගයෙන් රෝගය බෝවේ. ශ්වසන රෝගයක් වන මෙය ආසාදිතයකු කහින, කිවිසින විට වාතයට එක්වන වෛරස පැය 2ක් පමණ රැඳී පවතින නිසා පහසුවෙන් බෝවීමේ හැකියාව සහිතය. රුබෙයෝලා නමින් ද හැඳින්වෙන සරම්ප රෝගය Morbilli, red measles)ලෙස ද හැඳින්වේ. මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ. පළමුව ශ්වසන පද්ධතියෙන් ඇරැඹී සිරුර පුරා පැතිර යාමේ හැකියාව ඇති සරම්ප වෛරසය ශරීරගත වී දින 10-14 කාලයක් තුළ රෝග ලක්ෂණ පහළ කරයි. කැස්ස, හොටු දියර ගැලීම, ශරීරය පුරා කුෂ්ඨයක් පැතිරීම දැකිය හැකිය. මේ කුෂ්ඨය මුලින් මුහුණ හා බෙල්ල ආශ්‍රිතවත් පසුව අත් කකුල් කරාත් පැතිර යයි. රෝගී තත්ත්වයේදී තෙහෙට්ටුව, මලානික බව, ආහාර ප්‍රතික්ෂේප කිරීම, මෙන්ම ෆැරන්හයිට් අංශක 104 ට පමණ තද උණ මතු වේ. මෙම රෝග ලක්ෂණ සතියකින් පමණ පසු පහව යයි.
සරම්ප මගින් වයස අවුරුදු 5 ට අඩු ළදරුවන් මරණයට පත් විය හැකිය. සරම්ප රෝගය හේතුවෙන් නියුමෝනියාව, බිහිරිභාවය, අන්ධභාවය, නොමේරූ ළදරු උපත් සහ මළ දරු උපත් පවා සිදුවිය හැකිය. සරම්ප රෝග කාරක වෛරසය නිසා සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වී පසුකාලීනව නිව්මෝනියාව, මොළයට බලපෑම් එල්ල වීම ආදිය සිදු විය හැකිය. මේ සඳහා ඇති හොඳම ප්‍රතිකාරය එන්නතයි. සාමාන්‍යයෙන් වසර 2-3 අතර කාලයේදී වසංගත තත්ත්වයකට වර්ධනය වන මේ රෝගය එන්නත මගින් සාර්ථකව පාලනය කළ රටවල් අතරට ලංකාව ද එක්ව තිබුණි. මේ වන විට වෛරසයේ ප්‍රභේද 21 ක් හඳුනාගෙන ඇත. 1963 සිට රෝගය සඳහා බලපත්‍ර ලද ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ. දරුවකු ඉපදී මාස 09 න් හා අවුරුදු 03 දී සරම්ප රෝගය බෝවීම වළක්වන එන්නත ලබා දේ. එය MMR නමින් හඳුන්වයි. මෙම එන්නත මගින් සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා යන රෝග ත්‍රිත්වය පාලනය සඳහා සිරුරට ප්‍රතිශක්තිය ඇති කරයි. මෙහි පළමු මාත්‍රාව මාස 09 දී ලබා දී දෙවැනි මාත්‍රාව අවුරුදු 03 දී ලබා දෙයි. සරම්ප රෝගය වළක්වා ගැනීම සඳහා එන්නත් ලබාගත යුත්තේ රෝගය වැළඳුණහොත් විශේෂිත ප්‍රතිකාර නොමැති බැවිනි. එහිදී කළ හැක්කේ රෝගී දරුවාගේ නිසි පෝෂණය පවත්වාගෙන යෑම සහ විජලනය තත්ත්වයෙන් වළක්වාගෙන උණ තත්ත්වය වහාම පාලනය කිරීමය.
• සුගත්