2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ඡන්දයට සංග්‍රහයත් තහනම්!

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 14

මැතිවරණ නීති කඩකිරීම් පිළිබඳ විවිධාකාර වාර්තා ඉකුත් සති කිහිපය පුරාවටම අපට අසන්නට දකින්නට ලැබුණි. සාපේක්ෂව පෙර මැතිවරණවලට වඩා මැතිවරණ නීති කඩකිරීමේ සිදුවීම් වාර්තා වීම තරමක් අවම වී ඇති බව සත්‍යයකි. එහෙත් තවදුරටත් බලය සඳහා වන මැතිවරණ සටනේදී අයථා ක්‍රම හරහා ජනතාව තමන් වටා එක්රොක් කර ගැනීමට අපේක්ෂකයන් මෙන්ම දේශපාලන පක්ෂ ද වෙහෙසෙන බව පිළිගත යුතුමය.

මැතිවරණය ඉලක්ක කරගත් සංග්‍රහ කටයුතු සම්බන්ධව ලැබුණු පැමිණිලි පිළිබඳ ඉකුත් සතියේ ඉහළ අවධානයක් යොමු විය. මෙම සිදුවීම් පිළිබඳ කියවා ගැනීමට අපි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සම්බන්ධ කර ගතිමු.

“වෙනදාට සාපේක්ෂව ඉතාම අඩු තත්ත්වයක් තමා පේන්න තියෙන්නේ. කොහොම නමුත් මේ බ්‍රහස්පතින්දා වන විට සංග්‍රහ සම්බන්ධ පැමිණිලි 80 ක් ලැබිලා තියෙනවා. එයින් 74  ක් තමා තහවුරු වෙලා තියෙන්නෙ. දේශපාලන අරමුණු සහිතව සංග්‍රහ කිරීම කියන කාණ්ඩයට තමයි මේ පැමිණිලි අයත් වෙන්නෙ. මෙවර තත්ත්වය සාපේක්ෂව අඩු වුණත්, ඉතිහාසය ගත්තොත් මේක ඉතාම බරපතළ තත්ත්වයක්.”‍
රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉතිහාසයේ මැතිවරණ අභිමුව දේශපාලන අරමුණු සහිතව මහජනතාව වෙත සංග්‍රහ සිදුකිරීම පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.
අප දන්නා ඉතිහාසය තුළ මැතිවරණ සමයන්හිදී ඇතැම් අපේක්ෂකයන් පැය 24 පුරාම තම නිවෙස්වල බුෆේ දමා සිය ඡන්දදායකයන්ට සංග්‍රහ කළ හැටි අපට මතකය. කෑම පමණක් නොව බීම ද ඇති පදමට ලබාදීමට මැතිවරණ සමයන්හිදී අපේක්ෂකයෝ කටයුතු කළහ. කෑම බීම වෙනුවෙන් ජනතාව තම නිවාස වෙත ගෙන්වා ගැනීමට ඇතැමුන් ප්‍රවාහන පහසුකම් පවා සලසා තිබුණි. එකල්හි මෙය ඉතා සාමාන්‍ය දෙයක් වූ අතර, මීට එරෙහිව කටයුතු කිරීම සඳහා නීති ප්‍රතිපාදන තිබේද යන්න පිළිබඳවත් කිසිවෙක් නොදැන සිටියේය.

“කාලයක් ජනාධිපති කාර්යාලයෙත් මේක සංවිධානය වෙලා තිබුණා. මැතිවරණ කාලවලදී විවිධ වෘත්තීය කණ්ඩායම් ගෙනල්ලා ඔවුන්ට සංග්‍රහ කළා. පහුගිය ජනාධිපතිවරණයෙත් වෙනදා තරම් නොවුණත් යම් ප්‍රමාණයකට මේ තත්ත්වය නිරීක්ෂණය වුණා. විපක්ෂයත් මේ වගේම කටයුතු සිදු කළා.”‍

රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන පරිදි මේ වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සහ රැස්වීම්වලදී අපේක්ෂකයන් ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධව පවතින සීමා මොනවාද යනුවෙන් සංවාදයක් මැතිවරණ නිරීක්ෂකයන් අතර නිර්මාණය වී තිබේ. යම් රැස්වීමකට පැමිණෙන පිරිසකට තේ කෝප්පයක් බිස්කට්ටුවක් ලබාදීම මෙම සංග්‍රහ ගණයට නොවැටිය යුතු බව ඇතැමකුගේ පිළිගැනීමයි. ඒ අනුව මහා පරිමාණ සංග්‍රහ පැවැත්වීම මෙහිදී වාරණය කළ යුතු බව පොදුවේ බහුතරයක් දෙනා පිළිගනිති.

“ඉතිහාසය දිහා බැලු‍වම අපිට පේනවා ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති කෙළින්ම මැතිවරණ සමයන්හිදී සංග්‍රහ කටයුතු වෙනුවෙන් පාවිච්චි කරලා තියෙනවා. සුබසාධන ව්‍යාපෘතිවල මුදල් භාවිත කරලා තියෙනවා. මේ සියල්ල රාජ්‍ය මුදල්. එක්තරා නියඟයක් වෙලාවක ලංකාවේ දිස්ත්‍රික්ක 14 එයින් පීඩාවට පත්වෙලා තිබුණා. ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක මේ නියඟයෙන් පීඩාවට පත්වෙලා තිබුණත්, මැතිවරණය සඳහා තරග කළ ආණ්ඩුවට ඉතා සමීප අපේක්ෂකයෙක් ජයග්‍රහණය කිරීමේ අරමුණු සහිතව බදුල්ලට දෙන්නෙ නැතුව මොණරාගලට විතරක් සහනාධාර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කළා.”‍

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පළමු වතාවට අයථා ලෙස සංග්‍රහ කිරීම් සම්බන්ධව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මගින් නඩු පැවරූ අතර අපේක්ෂක යාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට පවා අධිකරණය නියෝග කොට තිබුණි. මෙම පූර්වාදර්ශය ඉදිරිපත් කරමින් සංග්‍රහ කටයුතු හරහා ජනතාව ආකර්ශනය කර ගැනීමට උත්සාහ දරන අපේක්ෂකයන් වෙත මැතිවරණ නිරීක්ෂකයන් සහ වගකිවයුත්තන්ද අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ.
ජනතාව විශාල වශයෙන් තරු පන්තියේ හෝටල්වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධුර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පසුගිය සතියේ නිවේදනය කර තිබුණේ මේ අනුව යමිනි.

ඡන්දදායකයන් විවිධ ලෙස වර්ග කරමින් ඔවුන්ව වෙන් වෙන්ව හෝටල්වලට කැඳවා කෑම බීම සියල්ල සපයා කුඩා ප්‍රමාණයේ රැස්වීම් පැවැත්වීම ධනවත් අපේක්ෂකයන්ගේ සම්ප්‍රදායක් වී ඇති පසුබිමක මෙම අනතුරු ඇඟවීම නිකුත් වී තිබේ. ඒ අනුව වර්තමාන දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයත් සමඟ ඇතැම් අපේක්ෂකයන් ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අවදානමට ලක්වීම පිළිබඳ කරුණ බැහැර කළ නොහැකිය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ද අදහස් දක්වා තිබුණි. ඡන්දදායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුර අහෝසි කෙරුණු අවස්ථා ගණනාවක් ඉතිහාසය පුරාම ඇති බව ඔහු සිහිපත් කළේය. ඒ අනුව මේ ආකාරයට ඡන්දදායකයන්ට සංග්‍රහ දීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ කොමිසම පැවසීය.

අතීතයේ සංග්‍රහ පැවැත්වීම, භාණ්ඩ බෙදා දීම ආදී ක්‍රමවේද කොතරම් ප්‍රබලව පැවතියද වර්තමාන තත්ත්වය අපේක්ෂා සහගතය. රෝහණ හෙට්ටිආරච්චි මහතා ඒ පිළිබඳව පැහැදිලි කරන්නේ මේ අයුරිනි.

“මේ වෙනකොට සංග්‍රහ කිරීම්, බඩු බෙදා දීම් ආදිය හරහා මිනිස්සු එකතු කරගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ජනතාවට සංග්‍රහ පැවැත්වුවා කියලා ජනතාව පෙරළා අපේක්ෂකයන්ට ඡන්දය ලබා නොදෙන තත්ත්වයක් නිර්මාණය වෙලා. බොහෝ වෙලාවට අපේක්ෂකයන්ටත් විශ්වාසයක් නෑ, ජනතාව මේ දේවල් අරගෙන පෙරළා ඡන්දෙ දෙයි කියලා. ඇත්තෙන්ම ඒක ඉතාම හොඳයි.”‍

කෙසේ වෙතත් මේ වන විට දැන ගැනීමට ලැබී ඇති පරිදි ඡන්දදායකයන්ට හෝටල්වල සංග්‍රහ පැවැත්වූ සහ මැතිවරණ නීති කැඩූ අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සකස් කරමින් පවතියි. මහනුවර ඇතුළු ස්ථාන කිහිපයක හෝටල් කිහිපයක් ද මැතිවරණ නිලධාරීන් විසින් වටලා මෙම ක්‍රියාමාර්ග වළක්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මැතිවරණ සංස්කෘතිය පිළිබඳ පැහැබර බලාපොරොත්තු සහිත මැතිවරණයක් ලෙස මෙම මැතිවරණය අවසානයේ හඳුන්වා දිය හැකිය.

• චමිඳු නිසල් ද සිල්වා

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:02