රුසියාව තුළ යූ ටියුබ් නාළිකාව අවහිර කිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන ගූගල් ආයතනයට රුසියානු අධිකරණයක් මගින් දැවැන්ත දඩයක් පනවා තිබේ. ඒ ඇමෙරිකානු ඩොලර් 2000,000,000,000,000,000,000,000,000,000,000වැනි ප්‍රකාශ කළ නොහැකි තරමේ දඩයකි. ගූගල් සමාගම ලොව ධනවත්ම සමාගම් අතරින් එකකි. එහි අගය ඩොලර් ට්‍රිලියන 2 කට අධිකය. එහි මව් සමාගම වන ඇල්ෆබට් සමාගම 2023 වසරේ ඩොලර් බිලියන 307 කට අධික ආදායමක් ලබා තිබිණි. මෙම දඩය ඔවුන්ගේ සමස්ත වත්කම්වලටත් වඩා වැඩි අගයකි. එමෙන්ම එය ලොව සියලුම රටවල දළ දේශීය නිෂ්පාදිතයටත් වඩා වැඩි මුදලකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණනය කිරීම්වලට අනුව ලොව සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 110 කි. ගූගල් සමාගමට පනවා ඇති දඩ මුදල ඩෙසිලියන 20 කි. (ඩෙසිලියනයක් සඳහා මුල් ඉලක්කමට පසුව බින්දු 33කි.)
ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළේ ඔහුට මෙම අගය නිවැරදිව උච්චාරණය කිරීමට පවා නොහැකි නමුදු එහි සැලකිය යුතු සංකේතාත්මක බරක් ඇති බවයි. “ගූගල් සමාගම අපගේ විකාශකයන්ගේ ක්‍රියාකාරකම් සීමා නොකළ යුතු වූ අතර ඔවුන් එවැන්නක් සිදු කිරීම මත මෙම දඩය පනවා තිබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය. මීට අමතරව, රුසියානු රාජ්‍ය ප්රවෘත්ති ආයතනයක් වන ටාස් පුවත්පත වාර්තා කළේ, අවහිර කරන ලද යූ ටියුබ් නාළිකාව යළි ප්‍රතිස්ථාපනය කිරීමට හෝ නැතිනම් සෑම දිනකම දෙගුණයක් වන දඩ මුදල ගෙවීමට සූදානම් වන ලෙසට අධිකරණය නියෝග කර තිබූ බවයි.
රුසියානු රාජ්‍ය අනුබද්ධ මාධ්‍ය නාළිකා කිහිපයක් අවහිර කිරීමෙන් ගූගල් සමාගම දේශීය විකාශන රෙගුලාසි උල්ලංඝනය කළ බවට රුසියානු අධිකරණය තීන්දු කර තිබේ. රුසියාවේ ආර්.බී.සී මාධ්‍ය ආයතනය සඳහන් කරන පරිදි යූ ටියුබ් නාළිකාව අවහිර කිරීම සම්බන්ධයෙන් රුසියානු මාධ්‍ය ආයතන 17 ක් සඳහා අධිකරණය හමුවට ගොස් තිබිණි. ඒ අතර මෙම රජයට අයත් චැනල් වන්, හමුදාවට අනුබද්ධ Zvezda සහ රෂියා ටුඩේ ද විය. රුසියාව දඩ පැනවූයේ එකට එක කිරීමක් ලෙසිනි.
මෙම අවහිර කිරීම් 2020 වසරේ සුළු වශයෙන් ආරම්භ වූ අතර රුසියාව යුක්රේනය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීමෙන් පසු දැඩි විය. 2020 දී රජයට පක්ෂපාතී මාධ්‍ය ආයතන වන Tsargrad සහ RIA FAN ඔවුන්ගේ යූටියුබ් නාළිකා අවහිර කිරීම සම්බන්ධයෙන් සමාගමට එරෙහිව නඩු පැවරූ අතර දිනකට රූබල් 100,000 බැගින් දඩ ගෙවීමට නියම විය. 2021 මැයි මාසයේදී, රුසියාවේ මාධ්‍ය නියාමක රොස් කොම්නඩ්සෝර් (Roskomnadzor), ආර්.ටී. (රෂියා ටුඩේ) සහ ස්පුට්නික් ඇතුළු රුසියානු මාධ්‍ය ආයතන වෙත යූටියුබ් ප්‍රවේශය සීමා කිරීමට ගූගල් ආයතනය කටයුතු කර ඇතැයි ද රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සඳහා නීති විරෝධී ලෙස සහාය දක්වන බවට ද චෝදනා කළේය.
2022 මාර්තු මාසයේ, ගූගල් රෂියා ටුඩේ සහ ස්පුට්නික් වැනි රුසියානු රාජ්‍ය නාළිකා සඳහා ගෝලීය තහනමක් පැනවීය. ඒ ප්රචණ්ඩ සිදුවීම් ප්‍රතික්ෂේප කිරීමේ, අවම කිරීමේ හෝ වළක්වාලීමේ ප්‍රතිපත්ති උපුටා දක්වමිනි. ඒ අනුව රුසියානු නාළිකා 1000 කට ආසන්න සංඛ්‍යාවක් මගින් යූටියුබ් අවකාශයේ ගොනු කර තිබූ යුක්රේන යුද්ධය සම්බන්ධ වීඩියෝ 15,000 ක් පමණ ඉවත් කිරීමට පියවර ගැනිණි. මෙම තීරණය රුසියාවේ දැඩි පසුබෑමක් ඇති කළේය. මෙම තහනම රාජ්‍ය අනුග්‍රහය ලබන නාළිකාවලට කරන ලද වාරණයක් ලෙස ඔවුහු සැලකූහ.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ බොහෝ බටහිර සමාගම් රුසියාවෙන් ඉවත් වූ අතර සම්බාධක පැනවීම මගින් රුසියාවේ ව්‍යාපාර කිරීම දැඩි ලෙස සීමා කරන ලදී. රුසියානු මාධ්‍ය ආයතන යුරෝපයේ බොහෝ රටවල තහනම් කෙරුණු අතර රුසියාවෙන් පළිගැනීමේ ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක විය. 2022 දී, ගූගල් ආයතනය ප්‍රකාශ කළේ රුසියාවේ පිහිටි තම අනුබද්ධ ආයතනය බුන්වත්ව ඇති බවටය. ඒ අනුව ගූගල් සමාගම රුසියානු වෙළෙඳ ප්‍රචාරණය වැනි වාණිජ සේවා සැපයීම තවතා දැමීය. එහෙත් ගූගල් නිෂ්පාදන රුසියාවේ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළේ නැත.
රුසියාව විසින් පනවා ඇති ඇදහිය නොහැකි දඩය මිහිමත ඇති සමස්ත මුදල් ප්‍රමාණයම ඉක්මවන බැවින් එවැනි දඩයක් ගූගල් සමාගමට ගෙවීමට නොහැකි වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහෙත් පසුගිය බ්‍රහස්පතින්දා ක්‍රෙම්ලීනය ප්‍රකාශ කර ඇත්තේ ගූගල් සමාගමට පනවා ඇති දඩය සංකේතාත්මක එකක් බවටය. ගූගල් කළමනාකාරිත්වයට මේ පිළිබඳව අවධානය යොමු කිරීමට සහ වැරැද්ද නිවැරදි කිරීමට කළ බලපෑමක් යැයි ක්‍රෙම්ලීන් මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සඳහන් කර තිබේ.
ස්වාධීන ප්රවෘත්ති ආයතන සහ ප්රකාශනයේ නිදහස දැඩි ලෙස කප්පාදු කර ඇති රුසියාවේ මාධ්‍ය නිදහසක් නොමැති බැව් පැවසේ. රාජ්‍ය බලධාරීන් මාධ්‍ය නිදහස දැඩි ලෙස සීමා කර ඇති සහ බොහෝ ස්වාධීන පුවත් වෙබ් අඩවි අවහිර කර ඇති බැවින් ස්වාධීන තොරතුරු සඳහා ප්‍රවේශ විය හැකි මූලාශ්‍ර කිහිපයෙන් එකක් වූයේ යූටියුබ් නාළිකාවය.
රුසියාවෙන් පනවා ඇති දඩය සම්බන්ධයෙන් ගූගල් සමාගම මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා