“මම විප්ලවවාදිනියක්. විප්ලවවාදියකුට තිබිය යුතු සුවිශේෂීම ගුණාංගය වනුයේ මානව ප්‍රේමයයි. පීඩිත පන්තියේ වේදනාව නොදැනෙන්නේ නම්, ඔවුන්ගේ හදගැස්ම නොදැනෙන්නේ නම්, තම සහෝදරයන්ට ගහන අතුල් පහරේ වේදනාව නොදැනේ නම්, ඔහුට හෝ ඇයට විප්ලවවාදියකු වෙන්න බෑ. එකී ගුණාංගවලින් සපිරි විප්ලවවාදියකුට ඒ සුදුසුකමම ඇති කුමන තත්ත්වයක් යටතේ හෝ කොන්දේසි විරහිතව මහජනතාව වෙනුවෙන් සටන් කරන්න.”
ඉන්දියානු පුනර්ජීවනයේ කිවිඳිය ලෙසින් විරුදාවලි ලැබූ ඉන්දියානු කාන්තාවක් ශ්‍රී ලංකාවට නිදහස ඉල්ලා සටන් කළාය. ඇය නමින් සරෝජිනී නායිදුය. ඉන්දීය නිදහස් සටනේදී මහත්මා ගාන්ධි සමගින් උරනොර ගැටී මහ පොළොවට පෑගෙන වැලි කැට මෙන් වූ ඉන්දියාවේ දූර්භීක්ෂයකට වඩා දරුණු වූ කුල භේදයෙන් පොඩිවුණු මිනිසුන් වෙනුවෙන් ඇය සටන් වැදුණාය. එදවස වීරවරියක් වූ හෙයින් එරට සෑම ගෙයකම පාහේ බිත්තියක් බිත්තියක් පාසා සැරසුණේ ශත 15 කට අලෙවි වූ ඇයගේ ඡායාරූපවලිනි.
මේ ලොවේ විප්ලවවාදී කාන්තාවන් තම සලකුණ තැබුවේ එහෙමය. ඉහතින් සඳහන් කළ ප්‍රකාශය ඇයගේ වදනින්ම පැවසුවහොත් එවන් වූ විප්ලවවාදිනියකගේය. ඇය නමින් චානූ නිමේෂාය. එසේත් නැතිනම් අරගලයේ චානූය. ඇය කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ බැලුම ලකුණෙන් තරග කරන්නීය. මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය ඇත්තේ බොහොම අඩු ප්‍රතිශතයකි. එයටත් වඩා මෙරට දේශපාලන ඉතිහාසයේ සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් දේශපාලනයට ඉදිරිපත් වන මුල්ම අවස්ථාව මෙයයි. චානූ නිමේෂා වෘත්තියෙන් ප්‍රමාණ සමීක්ෂකයකු (Quantity Surveyor) ලෙස සේවය කරන්නීය. එමෙන්ම ලේඛන කලාව, කලාකරුවකු ලෙස, සංගීත සහ වීඩියෝ සංස්කරණය ආදී ක්ෂේත්‍ර ගණනාවක දස්කම් දක්වන්නීය. ලංකාවේ වඳවීමේ තර්ජනයකට ලක්වූ වන මල් සම්බන්ධයෙන් කෘතියක් රචනා කර ඇත. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට බොහෝ පොත්පත් ලියැවී තිබේ. එහෙත් සංක්‍රාන්තික ලිංගිකත්වයේ විද්‍යාත්මක පදනම සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයකින් සහ අත්දැකීම් ඇසුරෙන් සංක්‍රාන්ති කාන්තාවකගේ ජීවන වෘතාන්තය හෙළි කරමින් අනාමික නමින් කෘතියක් ලියා ඇති අතර ඇය පවසන්නේ එය නුදුරු දිනකදීම ජනගත කරන බවයි.
දේශපාලන පිටියට ගොඩවූ ඇය සිය අත්දැකීම මුල්වරට හෙළි කරමින් සිය ගැඹුරු හඬ මා ඉදිරියේ මෙසේ ගෙතුවාය.
“අප කුඩා අවධියේ ඉඳන් වාමාංශික ව්‍යාපාරයෙන් හැදී වැඩුණේ, දේශපාලනික වශයෙන් පෝෂණය වුණේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ක්‍රම වෙනසකට අපි දිගටම සටන් කළා. ඒ එක්ක 2022 අරගලයට සම්බන්ධ වුණා. මට අවුරුදු 30-35 වගේ කාලයක තමයි මම ලිංගික සංක්‍රාන්ති තත්ත්වයකට පත්වුණේ. ඒත් මගේ දේශපාලනික සටන නැවතුණේ නෑ. ඒක කිසි වෙනසක් නැතිව සිදුවුණා. බොහෝ වෙලාවට සමාජය ඉදිරියට ආවේ නෑ. වේදිකාව පිටුපස ඉඳන් ලොකු වැඩ කොටසක් කළා.
2022 වසරේ අරගලයේදී සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව නියෝජනය කරමින් වේදිකාව පිටුපසින් ඉදිරියට පැමිණ මට මගේ සටන කරන්න සිදුවුණා. ඒකෙන් තමයි මම ගැන බොහෝ දෙනා දැනගත්තේ. මාව හැඳින්වුවේ අරගලයේ චානු කියලා. නව උපාය මාර්ග සමගින් සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය දේශපාලන පරිවර්තනයකට යාමට මංපෙත් විවර කරන්නට අපි හිතනවා. ඒ වෙනුවෙන් අපි අරගලයේදී ප්‍රතිඥා දුන්නා. මේ සටන අතරතුරදී තමයි ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ සහෝදරයා නිසා මට පක්ෂයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ පක්ෂයේ කාන්තා හා තරුණ කටයුතු ලේකම් විදිහට මම වැඩ කරනවා. ජනාධිපතිවරණයට දේවගේ සහෝදරයා ඉදිරිපත් වුණා. මේ වෙලාවෙ ඡන්දෙ ඉල්ලන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. අපිට කාගෙන්වත් ආධාර ලැබෙන්නේ නෑ. අපි අපේ මහන්සියෙන් තමයි ජීවත් වෙන්න පාර හදාගන්නේ. මෙවර මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික් 6 කට කාන්තා නියෝජනයක් සහිත කණ්ඩායම් හැදුවා. ඒ වෙලාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කාන්තා නියෝජනයේ පුරප්පාඩුවක් ආවා. ඒ නිසයි මම කෑගල්ලෙන් මැතිවරණයට එන්න ඉදිරිපත් වුණේ.”
චානූ පවසනුයේ තමන් යම් හෙයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් තමන් ඉදිරිපත් වූ කෑගල්ල දිස්ත්‍රික්කය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරන බවයි.
“මේ ගතවූ වසර 76 ක කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ සමහර පැතිවල වනවදුළුවල දිවිගෙවමින් කුසට අහරක් නැතිව දුෂ්කර ජීවිත ගත කරන බොහෝ පිරිසක් සිටිනවා. මම කෑගල්ලේ නෙමෙයි. ඒත් මේ ඡන්දය නිසා මට කෑගල්ලේ ඇවිදින්න වුණා. මේ කාලයේදී කෑගල්ල දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් මම බොහෝ අධ්‍යයන කළා. ඒ අහිංසක මිනිසුන් ජීවත් වෙන්න කරන අරගලය දෑසින්ම දුටුවා. ඔවුන් සියලු අතින් නගා සිටුවීමට හැකි ශක්තිමත් වැඩපිළිවෙළක් ගේනවා.
ඒ වගේම චානූ පවසනුයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දරුවන්ට පාසල් යාමට ප්‍රවාහන පහසුකම්වල සහ මාර්ග පහසුකම්වල බරපතළ ගැටලු පවතින බවත් මේ හේතුවෙන් දරුවන් සහ මවුපියන් සිය දරුවන් පාසල් වෙත ගෙන යාමට අපහසුවෙන් දැඩි අර්බුදවලට ලක් වී සිටින බවත්ය. පීඩිත පන්තියේ මිනිසුන්ට අනාගතයක් දීමට තමන් පෙනී සිටින බවද ඇය පැවසුවාය.
“එමෙන්ම වතුකරයේත් උතුරුකරයේත් නැගෙනහිර පළාත්වලත් කුල ජාති ආගම් ආදී මාතෘකාවලින් ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවක් සිටිනවා. ඔවුන් වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඔවුන්ට ස්වයංව නැගිටින්න හැකි ජීවනෝපාය මාර්ගයක් සකසා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම එල්.ජී.බී.ටී ප්‍රජාව මෙරට සමාජයේ නිසි තැන නොලැබීම ඇතුළු යම් යම් අසාධාරණවලට ලක් වෙනවා. ඔවුන් වෙනුවෙන් නිසි අධ්‍යාපනයක් මෙන්ම වෘත්තීය පුහුණුවක් ලබා දී ස්වාධීනව නැගී සිටින්න හැකි ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වෘත්තීය පුහුණු පාසලක් මම හදනවා. මේ සමාජ සංකීර්ණ වටපිටාව ඇතුළත ජීවත් වීමේ අරගලය වශයෙන් රටේ ලිංගික ශ්‍රමිකයන් බවට පත් වී සිටින පිරිමි සහ ගැහැනු පිරිසක් සිටිනවා. ඔවුන්ගේ සමාජ සුබසාධනය නගා සිටුවීමත් ඔවුන් එම වෘත්තියෙන් මුදවා සිය හැකියාවලට ගැලපෙන ගෞරවනීය මිනිසකු ලෙස සමාජයේ ජීවත් වීමට හැකි පරිසරයකට මගපෙන්වීමත් අවශ්‍යයි.”
අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවාද? ඇයගේ කතාවේ බොහෝ තැන් අසා සිටියද මම අවසන් වරට ඇයගෙන් එසේ ඇසුවෙමි.
“මම විවාහයක් ගැන හිතන්නේ නෑ. මගේ මේ දේශපාලනික ක්‍රියාකාරකම් එක්ක සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න නම් මම වගේම දේශපාලනයට ලැදි සහකරුවකු සිටින්න අවශ්‍යයි. පීඩිත පන්තියේ සිටිමින් පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් මම එදත් අදත් හෙටත් සටන් කරනවා. ඔවුන් සිතන පතන ලෝකයේ දොරගුළු හැර ඔවුන් නොදුටු හිරුගේ රශ්මිය දකින්නට විඳින්නට අවස්ථාව ලබා දෙන්න මම දිවිහිමියෙන් කැප වෙනවා. කෙසේ වෙතත් කවුරුන් හෝ හොඳ කෙනකු ලැබුණොත් මගේ ජීවිතය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අනාගතය කෙසේ වෙයිද දන්නේ නෑ. ඒත් ආදරයට සහ විශ්වාසයට පුළුවන් මිනිසුන් සදාකාලිකව ජීවත් කරවන්න. මම ඉගෙනගත් කෙනෙක්. මට මගේ ජීවිතය ගැන පසුතැවීමක් නෑ. මොන තරම් බාධක කම්කටොලු ආවත් මගේ ගමන මම ඉදිරියට යනවා.”
• සසංක චලන ගිම්හාන