මේ වනවිට සහල් ගැටලුව උග්‍ර වී තිබේ. සමහර සහල් වෙළෙඳපොළේ නොමැති අතර සහල් මිල ද ක්‍රමයෙන් ඉහළ නගිමින් පවතී. අපේ රට සහල්වලින් ස්වයංපෝෂිත බවට වගකිවයුත්තන් ප්‍රකාශ නිකුත් කළේ දැන් සෑහෙන කාලයකට පෙරය. ඒ කාලයේ සහල් අපනයනය කිරීමටද කටයුතු ආරම්භ කළ බව අපට මතකය. එහෙත් අද වනවිට රට පටවන්න තබා ජනතාවට අවශ්‍ය සහල් ටික හෝ වෙළෙඳපොළේ හිඟය.
බොහෝ දෙනා කියන්නේ වෙළෙඳපොළේ සහල් හිඟවීම ද තියෙන සහල්වල මිල ඉහළ යාම ද කෘත්‍රිම තත්ත්වයක් බවයි. අද වනවිට රටේ නිපදවන සහල් කිලෝවක් හෝ රජය සතුව නැත. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සියල්ල හිස්ය. සහල් තොග මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් නොකරන බව සැල වේ.
මුළු සහල් වෙළෙඳපොළම අත්පත් කරගෙන ඇත්තේ පෞද්ගලික මුදලාලිලාය. ගොවියන් ලවා කුඹුරු අස්වැද්දවීම, වී මිලට ගැනීම, සහල් බවට පත් කිරීම, සිල්ලර වෙළෙන්දා ළඟට ප්‍රවාහනය කිරීම ආදී සියලු කාර්යයන්ම ඉටු කරනු ලබන්නේ පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිප දෙනකු විසිනි. බොහෝ දෙනා කියන්නේ සහල් මුදලිලාලි නොමැති වුණා නම් ගොවියාට සහල් අලෙවි කළ නොහැකිව මහ මුහුදට හලන්න සිදුවන බවය. වී අලෙවි මණ්ඩලය කියන්නේ ගොවියාගෙන් නිෂ්පාදන මිලට ගෙන ජනතාවට සාධාරණ මිලකට බෙදා දීම සඳහා ගොඩනැගූ ආයතනයකි. එහෙත් මණ්ඩලය නොකරන්නේම එයය. ඔවුන් ගොවියා පිළිබඳ විධිමත් ලෙස කටයුතු නොකිරීම නිසා ගොවියෝ පෞද්ගලික මුදලාලිලාට වී දීමට පෙළඹෙති. අස්වැන්න ගන්නටත් පෙර කුඹුරට පැමිණ මුදල් ගෙවා සහල් වෙන් කරති. එවකට වෙළෙඳපොළේ ඇති මිල ගෙවති. ඒ නිසා ගොවියන් ගොඩය. වෙළෙන්ඳන්ට සහ පාරිභෝගිකයන්ටද සහනය සැලසේ. රජයට දුනහොත් සිදුවන්නේ මුදල් ලබා ගැනීමට සති ගණන් බලා සිටීමටය.
මේ නිසා අද වනවිට සහල් ව්‍යාපාරය තනිකරම පෞද්ගලික අංශයට නතු වී ඇති අතර රජය දන්නා නොදන්නා ගාණට සිටී. අද පවතින තත්ත්වය යහපත් නොකළහොත් ජනතාවට සිදුවන්නේ කුසගින්නේ සිටීමටය. හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී සහ වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති දුමින්ද ප්‍රියදර්ශන පවසන්නේ ආණ්ඩුව දැන් ආරම්භ කර ඇති සහල් පිළිබඳ දත්ත රැස් කිරීමේ ක්‍රියාමාර්ගය අසාර්ථක බවය.
“ඔය කරන හැටියට සහල් ව්‍යාපාරිකයන්ගේ ගබඩාවලට ගොස් තොග ගණන් ගැනීම වැඩක් වෙන්නෙ නැහැ. එයින් ඔවුන් ළඟ තියෙන තොග පිළිබඳ සත්‍ය තොරතුරු එකතු කරන්න බැහැ. මේ රටේ ප්‍රධාන හාල් ව්‍යාපාරිකයන්ගේ තොග තියෙන්නෙ ඔය පෙන්වන ප්‍රධාන ගබඩාවල නොවෙයි. තවත් විවිධ තැන්වල වී සහ සහල් ගබඩා කර තබා ගන්නවා ඇති. ඒ නිසා ඒ අය පෙන්වන ස්ථානවලට ගිහිල්ලා කරන ගණන් ගැනීම්වලින් සත්‍ය සංඛ්‍යාලේඛන ගන්න බැහැ. නිෂ්පාදන කොහේ තියෙනවද කියලා දන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ සොයා ගන්නා තොරතුරු අසම්පූර්ණයි. ඒ දත්ත විශ්ලේෂණය කරලා ගන්න තීරණ නිවැරදි නැහැ. ඔය විදියට වී මෝලෙන් මෝලට යන එක වැඩක් නැහැ. මෙයට පෙරත් ව්‍යාපාරික ස්ථානවලට ගිහිල්ල තොග රැස් කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මේ පාර වෙන්නෙත් එයයි.
අනිත් අතට සහල් මිල ගණන් ඉහළ යාම, හිඟ ඇතිවීම ආදිය සෑම වසරේම කන්නවල ඇතිවෙනවා. ඒත් ඒවා වළක්වා ගන්න රජය කළ දෙයක් නැහැ. හිඟය ඇතිවී මිල ඉහළ ගිය පසු ඒ මේ අත දිවීමයි කළේ. වී අලෙවි මණ්ඩලය පවත්වාගෙන යන්නේ රටේ සහල් මිල පාලනය කිරීමටයි. අද වනවිට වී අලෙවි මණ්ඩලය කියලා නම තිබුණට එතැන කරන වී අලෙවියක් නැහැ. එහි ගබඩා හිස්ව තබාගෙන රටේ හාල් මිලට බලපෑම් ඇති කරන්න පුළුවන්ද? හාල් මිල ඉහළ යාම කවදත් සිදුවූ දෙයක්. ඉතින් ඒ බව දැනගෙන රජය මිල සමතුලිත කිරීමට පියවර ගත යුතුයි. එය කල් ඇතිව සැලසුම් කළ යුතු වැඩක්. එහෙම නැතිව එකපාරට කලබල වෙලා එහෙ මෙහෙ දිව්වාට වැඩක් නැහැ.
මෙහිදී වෙළෙඳුන්ට බලපෑම් කිරීමෙන් හෝ තරවටු කිරීමෙන් මේ ගැටලුව විසඳන්න බැහැ. ඒ අය කැමැත්තෙන්ම යම් යම් තීරණවලට පැමිණිය යුතුයි. අද රටේ නාඩු හිඟයක් ඇතිවෙන්න හේතුවක් නැහැ. නාඩු සහල් වගා කිරීම අඩු නැහැ. ඒවත් අනිත් සහල් වගේ නිෂ්පාදනය කරනවා. එහෙම නම් අඩු වෙන්නෙ කොහොමද? එයට හේතුව නිෂ්පාදිත සහල් වෙළෙඳපොළට නොපැමිණීමයි. පෞද්ගලික වෙළෙඳුන්ගෙන්ම යැපෙන්නේ නැතුව රජය සහල්වලට මැදිහත් වීම කළ යුතුයි. එසේ වෙළෙඳාමට එන්නෙ නැතිනම් වෙළෙඳාම කළමනාකරණය කළ යුතුයි. අද ඒ දෙකෙන් එකක්වත් හරියට සිද්ධ වෙන්නෙ නැහැ.
මම සභාපති වෙලා සිටිය කාලයේ වී අලෙවි මණ්ඩලයේ ආරක්ෂිත තොග රැස් කරලා තිබුණා. ඒ සහල් වෙළෙඳපොළට නිකුත් කරලා සහල් මිලට යම් බලපෑමක් කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරයා සැලසුම් කරලා තිබෙන හැටියට ලබන කන්නයේ සිට සහල් තොග ලබාගෙන ගබඩා පවත්වාගෙන ගියොත් යම් ලෙසකට සහල් මිලට බලපෑමක් කරන්න පුළුවන්. එහෙත් දැනට අවශ්‍ය වන්නේ අද පවතින තත්ත්වයට කෙටි කාලීන හෝ විසඳුමක් සෙවීමයි. මේ ආණ්ඩුවට විතරක් නොවෙයි, අද දක්වා පැවති සෑම ආණ්ඩුවකටම මේ ප්‍රශ්නය ඇතිවුණා. එහෙත් ස්ථිර විසඳුමක් ලැබුණෙ නැහැ.
මරදගහමුල හාල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ලක්සහල් ව්‍යාපාරයේ අධිපති බී.කේ. රංජිත්:
“සහල් පිළිබඳ ගැටලුවට අද හෙටම විසඳුමක් ලැබේවි කියලා කියන්න බැහැ. මෙය සැමදාමත් තිබුණු ප්‍රශ්නයක්. මෙතෙක් පත්වූ කිසිදු රජයක් මෙයට පිළිතුරක් නොදීම නිසා මේ වෙනකොට උග්‍ර වෙලා තියෙනවා. අද ජනාධිපතිගේ උපදෙස් පරිදි දත්ත රැස් කරන්නේ දිගු කාලීන සැලසුමක් උදෙසායි. මෙයින් වර්තමානයේ උද්ගත වී ඇති ගැටලුවට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒත් මේ විදියට හරි දත්ත රැස් කරලා අනාගතය පිළිබඳ විසඳුමක් ලබා ගැනීම හොඳයි. ජනාධිපතිතුමා සමඟ පසුගියදා පැවැති සාකච්ඡාවට මමත් සහභාගි වුණා. එහිදී මා පැවසුවේ උත්සාහය හොඳ වුණත් අද පවතින සහල් හිඟයට මෙයින් පිළිතුරක් ලබාගන්න බැහැ කියලයි. අද නාඩුවල හිඟයක් තිබෙනවා මෙය ඇත්තවශයෙන්ම සත්‍ය තත්ත්වයක්ද නොඑසේ නම් මවාගත් එකක්ද කියලා සොයන්න ඕනෑ. තිබෙන නාඩු සහල් වුවත් එකපාර වෙළෙඳපොළට දමන්නෙ නැහැ. ජනවාරි වෙනතුරු ටිකෙන් ටිකයි එවන්නේ. ඒක ඒ අයගේ ව්‍යාපාරික කටයුත්තක්. අපට ඒ ගැන කියන්න බැහැ. සම්බා සහල් පසුගිය දින තුනේදී 8500 සිට 8800 දක්වා රුපියල් 300 කින් ඉහළ ගියා. මෙලෙස මිල වැඩිවීම හා හිඟය නැති කරන්න නම් කෙටි කාලයකට හෝ සහල් ආනයනය කරනවා හැර වෙනත් විකල්පයක් නැහැ. ඒත් ජනාධිපතිවරයා එය කරන එකක් නැහැ.
ඩඩ්ලි සිරිසේන මාධ්‍යවලට කියන්නෙ බොරු. ඒත් බොහෝ අය එම කතා විශ්වාස කරන බව පෙනෙනවා. ඩඩ්ලිලා වගේ ව්‍යාපාරිකයන් ප්‍රායෝගිකව මිනිස්සු සමඟ සිටින අය නොවෙයි. ඒ සියල්ල කරන්නෙ ඒ අයගේ සේවකයෝ. ඒ අයගේ කරුණු අනුව තමයි ඩඩ්ලිලා කතා කරන්නෙ. අපි නම් ගොවියා, අතරමැදියා, තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා සමඟ ඉන්නවා. ඒ අය සමඟ කතා කරන හින්දා සැමගේම සිතුම් පැතුම්, දුෂ්කරතා ගැන අපට අවබෝධයක් තිබෙනවා. මේ වනවිට සති තුනක් තිස්සේ කුඩා සහල් මෝල් වහලා. අපටත් ඒ ඉරණම තමයි. සේවකයන්ට රැකියාව නැහැ. බැංකු ණය ගෙවන්න විදියක් නැහැ. පාලන මිලට අලෙවි කරන්න බැරි නිසා සහල් යන්නෙ නැහැ. කොහොම වුණත් පාරිභෝගිකයා දෙස බලලා හාල් පිටරටින් ගේන්න වෙනවා.
පාලන මිල ව්‍යාකූලයි. කවුරුත් පාඩුවට බිස්නස් කරන්න කැමැති නැහැ. 105 ට තෙත වී අරගෙන තමා නාඩු කිලෝව රුපියල් 200 ට අලෙවි කරන්නේ. මෙම ක්‍රමය වෙනස් කළ යුතුයි. පාලන මිලක් දැමීමෙන් වැඩක් නැහැ, එය ක්‍රියාත්මක නොවේ නම්. මේ ගැටලුවට දැන් විසඳුමක් නැති ගාණයි. ලබන කන්නයේදී හෝ රජය මැදිහත් වී වී මිලට ගෙන ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන දෙන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.”
එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා පවසන්නේ රටේ මහා පරිමාණ මෝල් හිමියන් සහ ව්‍යාපාරිකයන් රුපියල් 220 සහතික මිලට සහල් ලබාදෙන බවට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සිල්ලර වෙළෙඳසල්වලට රුපියල් 220 ගණනේ හාල් බාමින් විහිළු සපයන බවයි.
“අද පවතින සහතික සහල් මිල ප්‍රායෝගික නැති නිසා එය වහාම සංශෝධනය කළ යුතුයි. ඒ මිලට සහල් අලෙවි කරන්න බැහැ. ඇතැම් සිල්ලර වෙළෙඳුන් කඩයේ පිටුපස දොරෙන් තමන් දන්නා හඳුනන අයට රුපියල් 230 ට 250 ට නාඩු හාල් නිකුත් කරනවා. මේක හැමදාම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කළ වසර2 ½ තුළදී සහල් මිල පිළිබඳව ගැසට් දොළහක් නිකුත් කර තිබෙනවා. ගෝඨාභය ජනාධිපතිට ලණු ගිල්වූ කණ්ඩායම තමයි මේ වනවිට වර්තමාන ජනාධිපතිවරයාට උපදෙස් දෙමින් සිටින්නේ. ගෝඨාභය මහත්තයා රෑ වැටුණු වළේ දවල් වැටෙන්න එපා කියලා වර්තමාන ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා.
සහල් මිල ඉහළ නැංවීමේ කුමන්ත්‍රණයට හවුල් වී ඇත්තේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් පමණක් නොවෙයි. මුදල් අමාත්‍යංශය තුළත් මෙයට උඩගෙඩි දෙන නිලධාරීන් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ වී ඇටයක්වත් මිලදී ගන්න මුදල් වෙන් කළේ නැහැ. එය මුදල් අමාත්‍යංශ නිලධාරීන්ගේ විශාල කුමන්ත්‍රණයක්. අපට සාධාරණ සැකයක් තිබෙනවා මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් සහල් ආනයනය කරන තත්ත්වයට රට පත් කරලා එයින් ලැබෙන කොමිස් මුදල් සාක්කුවේ දාගන්න සැලසුම් සකස් කරලා තියෙනවද කියලා.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සහල් මිල පිළිබඳ අලුතින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසටයි. එහෙම නොකළොත් ලොකු මෝල් හිමියන් හිතූ හිතූ පරිදි පාරිභෝගිකයා ගසා කෑමට පටන් ගන්නවා නියතයි. මෙම යල කන්නයේ සිටවත් රුපියල් 130 වී මිල පදනම් කරගෙන නාඩු කිලෝවක මිල රුපියල් 240 ක් කරන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ වනවිට සුපිරි වෙළෙඳසල්වලින් පාරිභෝගිකයාට සහල් කිලෝ පහ බැගින් තමා නිකුත් කරන්නේ. සුපිරි වෙළෙඳසල්වලින් පවා නාඩු හාල් නිකුත් කරන්නෙ නැහැ. අනාගතයේදී සහල් ප්‍රශ්නය තවදුරටත් වර්ධනය වෙනවා නියතයි.”
සහල් මිල පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.ජී.එන්.එම්. වික්‍රමසිංහ පැවසුවේ සහල් මිල ස්ථාවරව තබා ගැනීමේ අපේක්ෂාවෙන් එළඹෙන මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇති බවය. “දැනට මිල ඉහළ ගොස් ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන් වෙළෙඳපොළට සපයන සහල් තොග සීමා කර කෘත්‍රිම හිඟයක් ඇති කිරීම නිසයි. පසුගිය රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලට නොගත් නිසා මේ වනවිට වී අලෙවි මණ්ඩලය සතුව තොග නැහැ. විශේෂයෙන් නාඩු වී තොග ඇත්තේම නැහැ. වී අලෙවි මණ්ඩලයේ අම්පාර ගබඩාවේ කීරි සම්බා සීමිත ප්‍රමාණයක් තිබුණා. ඒත් ජනාධිපතිවරයා සහල් ආනයනය නතර කරන බව පැවසූ නිසා කීරි සම්බා මිල ඉහළ ගියා. මේ වනවිට වී තොග වැඩියෙන් ලැබෙන දිස්ත්‍රික්කවල ඇති වී අලෙවි මණ්ඩලයේ ගබඩා පිළිසකර කිරීම පටන් අරගෙන තියෙනවා. ඒවා පුරවා ගැනීම අපේ අරමුණයි.”
මේ අතර ජාතික විගණන කාර්යාලය වාර්තා කරන්නේ 2021 – 2022 වර්ෂයේ මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය ලංකා බැංකුවෙන් ලබාගත් ණය මුදලෙන් 2023 සැප්තැම්බර් මාසය වනවිට රුපියල් තිස්හත් කෝටි විසිහතර ලක්ෂ අටදහස් හැට හතක මුදලක් හිඟහිටුවා ඇති බවයි. රුපියල් මිලියන 6500 ක් ණය දී ඇති අතර එම මුදල 2022 සැප්තැම්බර් 11 දින වනවිට පියවා අවසන් කළ යුතු නමුත් එසේ කර නැති අතර පොලිය හා දඩ පමණක් රුපියල් දහසය කෝටි හතළිස් ලක්ෂ අටදහස් හයසිය හැට හයක් දක්වා ඉහළ නැග ඇති බව විගණකාධිපතිවරයා දක්වා ඇත.
• යසවර්ධන රුද්රිගු