2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

බෙදුම්කරුවන්ගේ අවනඩුව: පෙට්‍රල් ෂෙඩ් හාන්සියි

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:03 150

පසුගිය සතියේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ විශාල රැස්වීමක් පැවැත්විණි. ඊට සහභාගි වූයේ දිවයින පුරා සිටින ඉන්ධන බෙදුම්කරුවන්ය. ඔවුන් සියලු‍ දෙනා එලෙස රැස්වූයේ ඔවුනට මුහුණ පෑමට සිදුව ඇති අර්බුදයක් හේතුවෙනි. අර්බුදය නිර්මාණය වී තිබුණේ ඛනිජ තෙල් සංස්ථාවේ නව සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරුන් විසින් ඔවුනට කරන ලද දැන්වීමක් සම්බන්ධයෙනි.

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ නිරත බෙදුම්කරුවන් හට මෙතෙක් හිමි වූයේ ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් සඳහා 2.75% ක් සහ පෞද්ගලික පිරවුම්හල් සඳහා 3% ක වට්ටමකි. එයට කැබිනට් අනුමැතිය සහ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබිණි. අර්බුදය නිර්මාණය වූයේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය එම ක්‍රමය අහෝසි කර අලෙවි කරන එක් ලීටරයකට රුපියල් 06 බැගින් ගෙවීමට ගත් තීරණයත් සමඟය. නව ක්‍රමය හේතුවෙන් තමන්ගේ ආදායම 50% කින් අඩුවන අතර පිරවුම්හල් හිමියන්ට අතින් වියදම් කර ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑමට සිදුවනු ඇතැයි ද, බොහෝ අලෙවිසල් වසා දැමීමට සිදුවනු ඇතැයි ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක සඳහන් කළේය.

දැනට ඇති බොහෝ ඉන්ධන පිරවුම්හල් මගින් මසකට අලෙවි කරනුයේ ලීටර් 6600 ලෝඩ් (බවුසර්) 20 ත් 25 ත් වැනි ප්‍රමාණයකි. ඒ අනුව මසකට එක් පිරවුම්හලකට ලැබෙන දළ ආදායම රුපියල් ලක්ෂ 9 ක් පමණ වන අතර ඉන් සේවක වැටුප්, විදුලි බිල්, ජල බිල්, නඩත්තු කටයුතු සහ 5.7% ක් වැට් බදු ද ගෙවිය යුතුය. එවිට පිරවුම්හල් හිමියාට ඉතිරි වන්නේ රුපියල් ලක්ෂයකට වඩා අඩු ආදායමකි. වර්තමානයේ ගෙවන 3% වට්ටම ද ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ එම ක්‍රමය වෙනස් කොට ඉන්ධන බෙදුම්කරුවන් අපහසුතාවට පත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගැනීම කනගාටුදායක යැයි ඔවුහු පෙන්වා දෙති. 3% වට්ටම යටතේ තෙල් මිල ඉහළ ගිය විට තමන්ගේ වට්ටම ඉහළ යන බව ද තෙල් මිල අඩු වූ විට වට්ටම පහත වැටෙන බව ද පෙන්වා දෙන උප සභාපතිවරයා නව ක්‍රමය යටතේ තෙල් මිල කොපමණ ඉහළ ගිය ද තමන්ට ලීටරයකට ලැබෙන්නේ රුපියල් 6 ක් පමණක් යැයි සඳහන් කරයි.

වර්තමානයේ පවතින තෙල් මිල සූත්‍රය අනුව ඉන්ධන ආනයනකරුවන්ට, ගබඩා පහසුකම් සඳහා සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගමට (CPS TL) සහ පරිපාලන හා බෙදාහැරීම් කටයුතු සඳහා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවනු ලබන්නේ ප්‍රතිශතයකට අනුවය. නව ක්‍රියාමාර්ගයෙන් බෙදුම්කරුවන්ට වෙනස් ක්‍රමයක් අනුගමනය කිරීම අසාධාරණ යැයි පෙන්වා දෙන කුසුම් සඳනායක ඉහත කී අනෙකුත් ආයතනවලට ලබා දෙන කොමිස් මුදලට වඩා තමන්ට ලැබෙන්නේ අඩු ප්‍රතිශතයක් බවද, තෙල් ගබඩා කිරීම වෙනුවෙන් ලංකා පෙට්‍රෝලියම් ගබඩා සංකීර්ණයට4% ක් ගෙවන අතර අයිඕසී සමාගමට ඉන්ධන අලෙවි කිරීම වෙනුවෙන් විශාල වට්ටමක් ලබා දෙන බවද ප්‍රකාශ කළේය. බෙදුම්කරුවන් හට ලීටරයට මිලක් නියම කරන්නේ නම් අනෙකුත් පාර්ශ්ව සඳහා ද එම ක්‍රමයම අනුගමනය කළ යුතු බව ද මෙම නව ක්‍රමය දේශීය ව්‍යාපාරිකයන් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන්නක් ද යන සැකය තමන් තුළ පැන නගින බවද ප්‍රකාශ කළේය.

බෙදුම්කරුවන්ගේ සංගමය තමන්ට සිදුවන අසාධාරණය පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්වත් කළ ද ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලද හෙයින් අධිකරණය හමුවට ගොස් තිබේ. ඒ අනුව නොවැම්බර් මස 12 දින තෙක් නව ක්‍රමය ක්‍රියාත්මක නොකරන ලෙසට අධිකරණය වාරණ නියෝගයක් පනවා ඇත. එවැනි පියවරකට යොමු වූයේ රජයට එරෙහිව ක්‍රියා කිරීමට නොව ඉදිරියට තමන්ට කිසිදු පිරවුම්හලක් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බැවින් යැයි කුසුම් සඳනායක සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල් වර්ග දෙකකි. එක් වර්ගයක් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් වන අතර අනෙක් වර්ගය පෞද්ගලික හිමිකරුවන් සතු ඒවාය. සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ පැවති අතර ඉන් 80% ක්ම සමුපකාර ඉන්ධන හල් විය. පසුගිය සමයේ විදේශ තෙල් බෙදුම්කරුවන් හට ලබා දුන්නේ මේවායින් කොටසකි. ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් බිම් කුලිය හා අලෙවි කුලිය වශයෙන් මසකට ලක්ෂ ගණනක් ඛනිජ තෙල් සංස්ථාව ලබාගනී. මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙවැන්නකි.

“බෙදුම්කරුවන් සියලු‍ වියදම් දරාගන්නේ තමන්ට ලැබෙන කොමිස් මුදලින්. මින් වසර 15 කට 20 කට පමණ ඉහත මෙම පිරවුම්හල් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම්ගත වීමේදී සංස්ථාවෙන් ලබා දී ඇති පහසුකම් වන ඉඩම, තීන්ත ගෑමට, උපකරණ නඩත්තුව වැනි දේවල් සඳහා අපට ගෙවන මුදලින් යම් මුදලක් කපා ගැනීමට කටයුතු කළා. දැන් සියලු‍ නඩත්තු කටයුතු අප විසින් කරගත යුතුයි. මින් වසර 12 කට ඉහත නියෝජිත පිරවුම්හල් ඇතුළු සියලු‍ පිරවුම්හල් නඩත්තු කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. පිරවුම්හල් නවීකරණය සඳහා පොලී රහිත ණය ද ලබා දුන්නා. වර්තමානයේ මෙම සියලු‍ කටයුතු පිරවුම්හල් හිමියන් වෙත පටවා තිබීම හේතුවෙන් ඉදිරියේ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාම විශාල ගැටලු‍වක්.” යනුවෙන් සඳහන් කළේය.

පසුගිය රජය සමයේ ඉන්ධන බෙදුම්කරුවන්ට ලබා දුන් කොමිස් මුදලින් 35% ක් යළි අයකර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව කළ උත්සාහයට ඉන්ධන බෙදුම්කරුවෝ විරුද්ධ වූහ. ඊට ප්‍රතිචාර ලෙස ඉන්ධන සඳහා අලු‍තින් එක් වූ වැට් බද්ද පිරවුම්හල් හිමියන්ගෙන් අයකර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත්තේය.

සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම්හලක් ලබාගන්නේ ටෙන්ඩර් ක්‍රමය යටතේය. ඒ සඳහා අවම වශයෙන් ලක්ෂ 200 ක් 300 ක් පමණ ගෙවිය යුතු වේ. ඊට අමතරව තවත් ලක්ෂ 60 – 70 ක් අතයට ගෙවීම් ලෙස ලබා දීමට සිදුවන බවද පැවසේ. ඒ සියලු‍ වියදම් යළි පියවා ගැනීමට ඉන්ධන බෙදුම්කරුවන්ට ඇත්තේ 3% වට්ටම යැයි ඉන්ධන පිරවුම්හල් හිමියෙක් දේශයට ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් විශාල මුදලක් අයකර ගැනීමට ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් වරක් කෝප් කමිටුවට ප්‍රකාශ තිබිණි. එහෙත් එය සත්‍යයක් නොවන බව බෙදුම්කරුවෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වා දෙන්නේ එවැනි ප්‍රකාශ සිදු කරන්නේ සංස්ථාවේ නිලධාරීන්ගේ ඇතැම් වැරදි වසා ගැනීමට බවයි.

“ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් රජයට පෙන්වන්නේ බෙදුම්කරුවන්ට ඉතා විශාල මුදලක් ලැබෙන බවටයි. ඔවුන් බිල්ලෙක් මවාපාමින් සිටිනවා. ඒක වැරදි මතයක්. ඉදිරියේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් මැතිවරණයෙන් පසු අප මේ සම්බන්ධයෙන් රජයට කරුණු ඉදිරිපත් කරනවා. 12 වැනිදාට අපේ වාරණ නියෝගය අවසන් වෙනවා. ඉන්පසු රජය සමඟ සාකච්ඡා කිරීමට අප තීරණය කර තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇති ලීටරයට රුපියල් හයේ තීරණය අනුව ලංකාවේ කිසිදු ඉන්ධන හලක් පවත්වාගෙන යා නොහැකි බැව් අප ඔවුනට පෙන්වා දුන්නා. අපට ගෙවන කොමිස් මුදල වැඩි නම් එය වැඩි වන්නේ කෙසේද කියා පෙන්වා නොදී කිසියම් පිරිසකගේ අවශ්‍යතාව අනුව කටයුතු කිරීම පිළිබඳව දේශපාලන නායකයන් ද දැනුම්වත් කර තිබෙනවා.” යැයි කුසුම් සඳනායක ප්‍රකාශ කළේය.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:05