2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

එස්.ටී.එෆ්. හිටපු අයි.පී.ගේ ටී 56න් එළියට ආ ඔස්මන් ඝාතන සැලසුම

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:02 190

ලංකාවේ පාතාලයෝ දැන් නිහඬ වී සිටිති. ඒ වෙන කිසිවක් නිසා නොව, වර්තමාන ආණ්ඩුවේ දිශානතිය උන්දැලාට පැහැදිලි නොවීමය. ජනාධිපතිවරණයෙන් පසුව භාරකාර ආණ්ඩුවක් කරගෙන යන වර්තමාන රජය පාතාලයට කුමක් කරන්නේදැයි නිශ්චිත ප්‍රකාශයක් නැත. එහෙත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා කීවේ අපරාධ, මත්ද්‍රව්‍ය සහ පාතාලය නවත්වන බවයි.

එහෙත් එය නැවැත්වීමට ලෙහෙසි නැත. ඒ වෙන කිසිවක් නිසා නොව, වින්දිතයන්ට වඩා විත්තිකරුවන් වුණු පාතාලයන්ට ඇති බලය සහ වල්බූරු මානව අයිතිවාසිකම් හේතුවෙනි. අමු අමුවේ රටේ අහිංසක මිනිසුන් පාතාලයන්ගේ නොහික්මුණු වෙඩි පහරින් මැරුම්කන විට එකී මිනිසුන් වෙනුවෙන් වචනයක් කට අරින්නේ නැති බොහෝ අය පාතාලයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම ගැන කතා කරති. පාතාලයන්ගේ, කුඩුකාරයන්ගේ මුදලින් සමාජ අවධානය දිනාගන්නට උත්සාහ කරන ඇතැම් පුද්ගලයන්, අමු අමුවේ පාතාලයන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්නේ එකී පාතාලයන් නිසා නිකරුණේ ජීවිත විනාශ වුණු පුද්ගලයන් හෝ පවුල් සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමකින් තොරවය. ඒ නිසා යූටියුබ්, අරක මේක අටවා ගත්තවුන් බොහොමයක් පාතාලයන්ගේ දුක, කරදර ගැන සොයනවා සේම කිසිදු වරදක් නොකර මහ මග මැරුම් කන පුද්ගලයන්, කාන්තාවන් සම්බන්ධයෙන්ද ඔවුන්ගේ උණු කඳුළු ගලනු ඇතැයි සිතමි.

එපමණක් නොව, ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් උත්තරය දාර්ශනික වන බොහොමයක් දෙනා සැබෑ ප්‍රශ්නයට මුහුණ දුන් දවසට සියල්ල වටහා ගනු ඇත.

පාතාලය වීරත්වයෙන් සලකන ටික් ටොක් නංගිලා මල්ලිලා, අයියලා අක්කලාට කියන්නටද තව දෙයක් ඇත. පාතාලයේ යැයි කියා ගන්නා, රත්රන් චේන් දම්වැල් ලෙස ඇඟ පුරා ඔතා සිටින, තවත් එකකුට බයේ වැලි කතරේ සැඟවී අහිංසක කොල්ලන් ලවා කොස් ඇට බාවන අයියලා පාතාලන් නොව “පීචං චණ්ඩි”‍ බවයි. අහිංසක මිනිසුන් මරා දමන, තරුණයන්ට කුඩු පොවන, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා මේ පීචං චණ්ඩින් දැන් දුසිම් ගණනින් හොයාගත හැක. ඒ අයියලාට සුබ පතමින් අම්මෝ අයියේ, සිංහයා, රජ්ජුරුවෝ කියන්නා වූ ටික් ටොක් දායක සභාවට කියන්නට ඇත්තේ වීරයන් යනු පලා යන්නන් නොව, නොබියව මුහුණ දෙන්නන් බවය. එලෙස පාතාලයන් කොහෝ හිටියත් වීරයන් වන්නේ නැත.

මේ වනවිට පාතාලයට දරදිය අදින්නේ ආරක්ෂක අංශයේ ඇතැම් දූෂිත නිලධාරීන්ය. එවන් නිලධාරීන් හසුවී එළියට දැමූ විට එම පිරිස් ඉක්මනින් රැකියාවක් සොයා ගන්නේ පාතාලයේ ඔඩොක්කු කුක්කන් හැටියටය. මේ එලෙස ගෞරවනීය විශේෂ කාර්ය බලකායේ සේවය කොට පසුව විනය ක්‍රියාමාර්ග මත සේවයෙන් පහ කළ පාතාල ඔඩොක්කු කුක්කකු පසුගියදා සිදු කරන්නට ගිය අපරාධයක් පිළිබඳ මෙසේ දිග හරිමු.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත පසුගියදා මෝටර් රථයක් අත්අඩංගුවට පත්වූයේ විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයකු සමඟිනි. පසුව ඔහු ගමන් ගත් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී අලු‍ත්ම ටී56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි විය. ඒ සැකකරුගේ මෝටර් රථයේ ආසනයක මෙම ගිනි අවිය සඟවා තිබියදීය.

මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ප්‍රබල කතා දෙකක් එළියට පැමිණියේය. පළමුවැන්න නම් කැරොකි වසන්ත ඝාතනය සඳහා මෙම ගිනි අවිය යොදාගත් බවට සැක කරන බවයි. දෙවැන්න වූයේ ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට මෙම ගිනි අවිය රැගෙන ගිය බවකි.

මේ කතා දෙක වෙන වෙනම ගතහොත් කැරොකි වසන්ත ඝාතනයට මෙම ගිනි අවිය යොදා ගත්තාදැයි සහතික කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුවය. ටැටූ මධ්‍යස්ථානයේ තිබී හමුවූ උණ්ඩ සහ කොපු මෙම ගිනි අවිය හරහා නිකුත් වූවාදැයි තහවුරු කරගත හැක්කේ අදාළ පරීක්ෂණයෙන් පමණි. සැකකරු මෙම ගිනි අවිය ඒ සඳහා යොදාගත් බවට පවසා ඇත්නම් ඉන් ගම්‍ය වන කාරණා දෙකකි. පළමුවැන්න නම් මේ කතාව සත්‍ය විය හැකි බවයි. එහෙත් මෙම කතාව අසත්‍ය නම් එය එම ඝාතනයේ සාක්ෂි සැඟවීම සඳහා සිදු කළ ප්‍රකාශයක්දැයි සැකයක් පවතී. කෙසේ වෙතත් ඒ සියල්ල තහවුරු කරගත හැක්කේ රජයේ රස පරීක්ෂකවරයා මගිනි.

දෙවැනි සිදුවීම නම් අදාළ ගිනි අවිය ගම්පහ ඔස්මන් ඝාතනයට සූදානම් කළ බව කියන කතාවයි. එය 100% ක් තහවුරු කළ හැකි ප්‍රකාශයකි. එනම් සැකකරුගේ පාපෝච්චාරණය මත මෙම සිදුවීමට අදාළව ගිනි අවිය රැගෙන යාමට කී ගණේමුල්ල සංජීවත්, ගිනි අවිය ගැනීමට සූදානම් වූ දිනේෂ් සහ පැට්ට මංජු යන අයත් මීට පෙර ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීම සඳහා සෘජුව සම්බන්ධ වූ අය වීමය.

ගම්පහ උඩුගම්පල කායවර්ධන මධ්‍යස්ථානයකදී හමුවූ තරුණයන් පිරිසක් අද කුණු ගඳ ගහන පාතාලයේ කෙරුමෝ වී සිටිති. ගණේමුල්ල සංජීව, කෙහෙල්බද්දර පද්මේ, දිනේෂ්, පැට්ටා මංජු යන මේ සියලු දෙනාම එකී කායවර්ධන මධ්‍යස්ථානයේ එකට සිටි පිරිසය. ගණේමුල්ල සංජීව ප්‍රකට කෝටි හතේ මංකොල්ලයෙන් පසුව පාතාලයට අකුරු කියූ අතර කාලයක් ඔහු බ්ලූමැන්ඩල් සංඛ, ආමි සම්පත් යන අයගේ ගෝලයෙක් ලෙස කටයුතු කළේය. එම කණ්ඩායම සහ දෙමටගොඩ චමින්දගේ කණ්ඩායම අතර කාලයක් ඇවිළුණු කුඩු ගැටුම, චමින්දට මරණීය දණ්ඩනයට නියම වීමත් සමඟ අවසන් වූ අතර සංඛ සහ සම්පත් දෙදෙනාම අපරාධ රැල්ලෙන් ඈත්වූහ. එහෙත් සංජීව කරළියේ සක්‍රිය වෙමින් හෙරොයින් ජාවාරම, කප්පම් සහ කුලියට මිනීමැරුම් සිදු කළේය.

මේ වනවිට සංජීව පාතාල නායකයෙකි. සංජීව කෙතරම් හයිරම් දැම්මත් ඔහුට හෝ ඔහුගේ ගෝලයකුට ගම්පහට ගොස් කුඩු කප්පම්, මිනීමැරුම් කරන්නට අවස්ථාව ලැබුණේ නැත. ඒ ඉහත කී ඔස්මන් හේතුවෙනි. ඔස්මන් ඒ සියල්ලට විරුද්ධ කටයුතු කළ අයෙකි. මේ  නිසා සංජීවට ඔස්මන් නයාට අඳු කොළ මෙනි විය.

ඒ අනුව සංජීව බන්ධනාගාරගතව සිටියදී සිය පළමු ප්‍රහාරය ඔස්මන්‍් වෙත එල්ල කළේ 2017 අප්‍රේල් 08 වැනිදාය. ඒ ඔහු ගම්පහ ජාඇල පාරේ ජිප් රථයෙන් ගමන් ගන්නා විට ටී 56 ගිනි අවි දෙකකින් වෙඩි තැබීමත් සමඟය. එම ප්‍රහාරයෙන් ඔහු ගැලවුණත් ඔහුගේ කොරියානු ව්‍යාපාරිකයෙක් බරපතළ තුවාල ලැබීය. එම ප්‍රහාරයෙන් පසුව අනාවරණය වූයේ ගණේමුල්ල සංජීව එම ප්‍රහාරය සිදු කළ බවයි.

සංජීව වැඩේ අතහැරියේ නැත. දෙවැනි වතාවටත් ඔස්මන් ඝාතනය සඳහා ඔහු පිරිස සූදානම් කරලීය. ඒ 2017 ඔක්තෝබර් 02 වැනිදාය. එවර ආයුධ සමඟ පැමිණි පිරිසක් ගම්පහ පොලිසියේ නිලධාරීන්ගේ කල්පනාකාරී බව නිසා කොටුකර ගැනීමට හැකි විය. අවසානයේදී සැකකරුවෝ ආයුධත් වාහනත් මග දමා පැන ගියහ. එහිදී ටී 56 ගිනි අවි තුනක් සහ උණ්ඩ 210 ක් පොලිසිය සොයාගෙන තිබිණි. අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අනාවරණය වූයේ එම කණ්ඩායමේ දිනේෂ්, පැට්ටා මංජු, චන්දන සහ මංගල යන අය සිටි බවයි. දිනේෂ් යනු පැට්ටා මංජුගේ බාල සොහොයුරාය. එම අවස්ථාවේදී මෙම පිරිස උත්සාහ ගෙන තිබුණේ මහ මගදී ඔස්මන්ගේ නිවෙසට පැන ඔහුව ඝාතනය කිරීමටය. එහෙත් එවරද සංජීවගේ උත්සාහය වැරදී ගියේය.

පසුව සංජීව රට රටවලට පැන යමින් ජීවිතය බේරා ගැනීමේ සටනක යෙදී අතර කාලය ගතවීමත් සමඟ එම සිදුවීම් යට ගියේය. එහෙත් ඔහු නැවත මෙරටට රැගෙනවිත් බන්ධනාගාරගත කිරීමත් සමඟ බූස්ස කඳවුරේ සිට සිය ජාවාරම නැවත ආරම්භ කළේය. ඒ දුරකතන දුසිම් ගණන් තබා ගනිමිනි. එසේ සිටි සංජීව නැවත වරක් සැලසුම් කළේ අප්‍රේල් 28 සහ මැයි 10 යන දින දෙකෙන් එකකදී අවුරුදු උත්සවයක් අතරතුර ඔස්මන් වෙඩි තබා ඝාතනය කිරීමටය. එහෙත් ටී 56 ගිනි අවියක්, රිවෝල්වරයක්, මැගසින් තුනක්, උණ්ඩ 150 ක් සහ හොරොයින් තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකි විය. එම අවස්ථාවේදීද සංජීවගේ මෙහෙයුම අනාවරණය විය.

එම සිදුවීමෙන් පසුව සංජීව සැලසුම් කළ ඊළඟ මෙහෙයුම වූයේ විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයා ලවා ගිනි අවිය දිනේෂ් සහ පැට්ටා මංජුගේ කණ්ඩායම වෙත ලබා දී ඝාතනය සිදු කිරීමය. ඒ පසුගිය දිනකදීය. එහෙත් එය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර ගැනිණි.

මොහු මෙලෙස එක් පුද්ගලයකු පසුපස හඹා යන්නේ කුමන අරමුණකින්දැයි මේ වන විට පැහැදිලිය. එනම් පාතාලයේ භීෂණය ගම්පහ ප්‍රදේශය තුළ පතුරවන්නට ඔස්මන්ගෙන් ඉඩක් නැති බැවිනි. ඒ හේතුවෙන් ඔස්මන් සහ ඔස්මන්ගේ පවුලේ අය ඝාතනය කරමින් මේ පාතාල හිවලු‍න් රජ වීමට සැරසෙන්නේ ධර්ම දෙසන්නට නොව කුඩු කප්පම් ලබා ගැනීමේ අරමුණෙනි. ඒ නිසා මොවුන්ගෙන් මහජනයා ආරක්ෂා කිරීම රජය සතු යුතුකමකි. එහෙත් සිදුවෙමින් ඇත්තේ රජයට සහාය දුන් අය බව පවසමින් ඇතැමුන් දිනෙන් දිනම ආරක්ෂක අංශ නිලධාරීන් එකිනෙකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමය. එබැවින් සාධාරණ විවේචන සහ සංවිධානාත්මක ප්‍රහාර ගැන විශේෂ අවධානය දිය යුතුය. එසේ නොවුණහොත් මේ රට චිකාගෝවක් වනු ඇත.

• ගයාන් ගාල්ලගේ