දිවයින පුරා පිහිටි ෆාමසි රැසක් වැසීයෑමේ අවදානමක් මතුව පවති. මේ බවට අනතුරු අඟවන්නේ සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයයි. ඔවුන්ට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015 අංක 05 දරන පනතේ වගන්ති අල්ලාගෙන ක්‍රියාත්මක කරන දැඩි ක්‍රමවේදය හේතුවෙන් රට පුරා පාමසි 5000 ක් පමණ ජනවාරි මාසය වන විට වැසී යනු ඇත. රජයේ රෝහල්වලත් බෙහෙත් පාමසියෙන් ගන්න යැයි නිතර උපදෙස් ලැබෙන මේ අබුදස්ස කාලයේ තිබෙන ෆාමසි ටිකත් වැසි යෑම මේ රටේ සමස්ත ජනතාව කබලෙන් ලිපට ඇද දමන තත්ත්වයකි.
සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවැසුවේ 2015 අංක 05 දරන පනතේ සඳහන්ව ඇති “බලපත්‍ර දරන්නකු විසින් තම ඔසු සලෙහි අවම වශයෙන් සුදුසුකම්ලත් එක් ඖෂධවේදියකු හෝ සේවයේ යොදවනු ලැබිය යුතුය” සහ “නිෂ්පාදන නිකුත් කිරිම ඖෂධවේදියකු හෝ ඖෂධවේදියකු ගේ ඍජු අධීක්ෂණය යටතේ ලියාපදිංචි ආධුනික ඖෂධවේදියකු විසින් සිදුකළ යුතුය” යන වගන්ති පෙරට ගනිමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නව වසර සඳහා බලපත්‍ර නිකුත් කිරිමේදී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නිසා මෙලෙස පාමසි දහස් ගණනක් වැසී යාමේ අනතුර මතුව ඇති බවය.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත ප්‍රායෝගිකව මතු කළ හැකි ගැටලු පිළිබඳව තමන් එය ඉදිරිපත් වූ සමයේ සිටම විවිධ අවස්ථාවල පැවැති රජයන්ට කරුණු දැක්වුවද ඒ පනත නිසි ලෙස සංශෝධනය කිරීම තවමත් සිදු නොවීම නිසා ඇතැම් නිලධාරීන්ට මේ පනත දඩමීමා කර ගනිමින් ෆාමසිකරුවන් පීඩාවට පත්කිරීමට හැකියාව ලැබී ඇති බව ඔහු පෙන්වා දෙයි. පසුගිය කාලය තුළ සිය සංගමයේ සාමාජිකයන් හට “අලුත් ඖෂධවේදියෙක් හොයාගන්න” යැයි වාචිකව උපදෙස් දෙමින් බලපත්‍ර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු කියයි. පනතේ ආකාරයට මේ ලෙස වාචික කරුණු දැක්වීමක් මගින් බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කළ නොහැකිය.
එසේම ඔවුන් මේ කියන අන්දමට ඖෂධවේදීන් අලුතෙන් සොයා ගන්නට සිදුව ඇත්තේ වසරකට සියයට 4ක් පමණ සමත් කරන විභාගයකින් තේරී පත්වන සහ දැනට පිටරටකට නොගොස් හෝ වෙනත් සේවයක නොයෙදී හෝ මිය නොගොස් මෙරට තුළ රැඳී සිටින රජයේ රෝහල් සහ වෙනත් රෝහල් ආයතන තුළ රැකියාවන්හි යෙදෙන ලියාපදිංචි ඖෂධවේදීන් හයදහසකට ආසන්න ප්‍රමාණය තුළින්ම බවත් මෙරට ඇති ෆාමසි ගණනට එක ෆාමසියට එක ගණනේ ඖෂධවේදීන් සොයාගැනීමට නොහැකි තරමට මේ වෘත්තිකයන්ගේ හිඟයක් රට තුළ පවතින බවත් ඔහු පෙන්වා දෙයි. මේ නිසා කාලයක සිට බොහෝ විට සිදුවන්නේ වෙනත් තැනක රාජකාරි කරන ඖෂධවේදියකුම බඳවා ගැනීම බව ඔහු පෙන්වා දෙයි. රජයේ සේවයේදී ඔවුන්ට ඇති විශ්‍රාම ප්‍රතිලාභ ඇතුළු වෙනත් වාසි නිසා බොහෝ දෙනා මෙලෙස ෆාමසියක රැඳී සිටීමට කැමැති වන්නේ නැත. ඒ නිසාම ෆාමසි ගණනට ඖෂධවේදීන් තබන්නට නම් මේ පුහුණු වෘත්තිකයන් අලුතෙන් මීට වඩා බිහිකළ යුතුය. එය රජයේ වගකීමකි. එසේ නොමැති නම් ඇතැම් පෞද්ගලික රෝහල්වල දැනටමත් ඉන්දියාවෙන් ඖෂධවේදීන් ගෙන්වා සේවයේ යොදා ඇති ආකාරයට පිටරටින් ආනයනය කළ යුතුව ඇත. රජය මැදිහත්ව එසේ ගෙන්වා දෙනවා නම් ඔවුන් සේවයේ යොදා ගන්නට තමන්ද සූදානම් බව ඔහු පෙන්වා දෙයි. ප්‍රායෝගික භාවිතයේදී මෙවන් ප්‍රශ්න සහගතවන 2015 පනතේ වගන්ති නිසි ලෙස සංශෝධනය නොකර සහ ප්‍රමාණවත් ඖෂධවේදීන් පිරිසක් වාර්ෂිකව බිහි නොකර “පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නාක් සේ” සිදුකරන නියාමන අධිකාරියේ මේ අන්තනෝමතික ක්‍රියාකාරීත්වය මතු කර ඇති අනතුරුදායක තත්ත්වය හේතුවෙන් සිය දහස් ගණනකගේ ව්‍යාපාර අහිමිව යාමත් ඒ සමඟ තවත් දහස් ගණනකගේ රැකියා අහිමිව යාමත් ඔවුන්ගෙන් යැපෙන තවත් පිරිසකට බත් පත අහිමිව යාමත් ලෙසින් දසදහස් ගණනකගේ යහපැවැත්මට බලපැම් මතුව ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි. පනතේ ප්‍රායෝගික දුර්වලතා නිසාම එය සංශෝධනය කරන ලෙස විවිධ අවස්ථාවන්හි සාකච්ඡා බලපෑම් තීන්දු තීරණ ගෙන තිබේ.
ඒ අන්දමට 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම සඳහා 2019 මාර්තු මස 12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවා අනුමැතිය ලබා දී තිබුණි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීම සඳහා එකී පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මහජන අදහස් ලබාගනිමින් තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගැනීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, හඳුනාගනු ලබන එකී සංශෝධන ඇතුළත් කරමින් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී යනුවෙන් ඒ ගැන සඳහන්ය.
2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත හඳුන්වා දීමෙන් පසු ඖෂධවේදීන් හිඟ වුවත් ඒ අවශ්‍යතාව සපුරාගන්නා තුරු බලපත්‍ර අලුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දුවක් ගෙන තිබුණි.
මෙවන් පසුබිමක දැන් බලපත්‍ර අලුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් වටපිටාව සැකසෙමින් ඇත්තේ රටේ ෆාමසි ගණනාවක දොර වැසීමටය.
ඒ සඳහා ඉඩකඩ විවර වන ආකාරයට ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ෆාමසි පරීක්ෂා කිරීම හෝ බලපත්‍ර නිර්දේශ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔක්තෝබර් මස 10 වැනි දින තීන්දුවක් ගෙන තිබේ.
එම තීන්දුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. මෙ ක්‍රියාන්විතය සිදුවුවහොත් අලුත් වසරට බලපත් නොලත් ෆාමසි තහනමට ලක්ව වැසී යනු ඇත. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුවට විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීන්දු කර තිබුණේ තමන්ට පැවරී නැති රාජකාරියක් ආවරණය නොකළ හැකි බව කියමිනි. එම සංගමය පෙන්වා දෙන්නේ පාමසි බලපත්‍ර මෙතෙක් සාමාන්‍ය පරිදි දුන් අතර එම ක්‍රියාවලිය බරපතළ අර්බුදයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් කටයුතු කරන බවයි. බලපත්‍ර මෙතෙක් නිර්දේශ කිරීමේ බලය තිබුණේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ටය.
මේ අතර උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ හදිසි සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය විසින් සෞඛ්‍ය ලේකම් වෙතින් ඉකුත් 7 දා ඉල්ලා තිබුණු අතර ඒ සඳහා 13 වැනි බදාදා දින අවස්ථාව ලබා දී තිබුණි.
මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ ෆාමසි හිමියන් රැසක්ම පෙන්වා දුන්නේ මේ හදිසි තීන්දුව මගින් සාමාන්‍ය සිල්ලර අලෙවියේ යෙදෙන ඖෂධ අලෙවිකරුවන් දැඩි ගැටලුවකට මුහුණ පාන බවය. සාමාන්‍යයෙන් සියයට 12-14 අතර ලාභයක් තබා කෙරෙන ඖෂධ අලෙවිය මගින් අධික ලාභ නොලැබෙන බවත් විවිධ බදු, කඩ කූලී, ලයිට් වතුර බිල් බැංකු ණය, ගෙවූ පසු පුහුණු සහතිකලාභී ඖෂධවේදියකු පූර්ණකාලීනව සේවයේ යොදා ගනිමින් ඔවුනට අඩු තරමේ රුපියල් 50,000කවත් ගැලපෙන වැටුපක් ගෙවීමේ හැකියාවක් තමන්ට නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති. ඖෂධවේදී හිඟයක්ද ඇති නිසා දැනට සිටින පිරිස වෙතින් රජයේ මෙන්ම සිය ඖෂධහල්වලද අවශ්‍යතා සපුරා ගැනීමට සිදුවන බවත් මේ ගැටලුව මෙලෙස ක්ෂණිකව නීති ක්‍රියාත්මක කිරීම මගින් එක රැයින් විසඳිය හැකි ගැටලුවක් නොවන බවත් ඔවුහු පෙන්වා දෙති. මේ අන්තනෝමතික පියවර ක්‍රියාත්මක වුවහොත් ෆාමසි ආශ්‍රිත මෙම රැකියාලාභීන් දහස් ගණනක් සහ ඔවුන්ගේ යැපෙන්නන් දස දහස් ගණනක ජීවන මාර්ග අහිමිව යන බවත් බදු බර, බැංකු ණය ආදිය හේතුවෙන් දැනටමත් දැරිය නොහැකි පීඩාවකට පත්ව සිටින තමන් කබලෙන් ලිපට ඇද දැමීමක් බඳු විය හැකි බවත් ඔවුහු කියා සිටිති.
• සුගත් පී. කුලතුංග ආරච්චි