ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මහ මැතිවරණයකදී තනි පක්ෂයක් සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ 2/3 ක බලයක් ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය (මාලිමාව) දසවැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පසුගිය සිකුරාදා (15) දහවල් තහවුරු කළේය. ඒ අනුව ජාතික ජන බලවේගය මනාප 6,863,186 ක් (හැට අටලක්ෂ හැට තුන්දාස් එකසිය අසූ හයක්) ලබා ගනිමින් ආසන 141 ක්ද, ජාතික ලැයිස්තුවෙන් ආසන 18 ක්ද එක්කර ගනිමින් සමස්ත ආසන 159 ක් ලබාගෙන පාර්ලිමේන්තු බලය ස්ථාපිත කර ගත්තේය. ප්‍රතිශතයක් ලෙස එම ඡන්ද ප්‍රමාණය 61.56% කි.
ඊට අමතරව විපක්ෂයේ බලය සමගි ජනබලවේගය විසින් ලබාගත් අතර ඔවුන්ට හිමි ඡන්ද සංඛ්‍යාව 1,968,716 (දහනව ලක්ෂ හැට අටදහස් හත්සිය දාසයකි) කි. එම ඡන්ද සංඛ්‍යාවට අදාළව ආසන 35 ක් ලබාගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 5 ක් ලැබීමත් සමඟ 40 දෙනකුට විපක්ෂයේ අසුන් ගැනීමට හැකි වී තිබේ. ප්‍රතිශතයක් ලෙස ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව 17.66% කි. ඊට අමතරව තුන්වැනි ස්ථානය ඡන්ද 257,813 (2.31%) ක් ලබා ගනිමින් ඉලංගෙයි තමිල් අරුසි පක්ෂය ආසන 7 ක් සහ ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ලබා ගනිමින් සමස්ත ආසන 8 ක බලය ලබා ගැනීමට හැකිවිය.
එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද 500,835 (4.49%) ක් හිමිවූ අතර ඡන්දයෙන් ආසන තුනක්ද ලැයිස්තුවෙන් ආසන දෙකක්ද වශයෙන් ආසන පහක් ඔවුහු හිමිකර ගත්හ.
2019 වසරේ 69 ලක්ෂයක ජනවරමකට උරුමකම් කී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සහ 2024 වසරේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජාතික සංවිධායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 350,429 (3.14%) ක් ලබා ගනිමින් දිනාගත හැකි වූයේ ඡන්දයෙන් ආසන දෙකක්ද, ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක්ද වශයෙන් ආසන තුනක් පමණි. එසේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038 ක් (0.78%) ලබා ගනිමින් ඡන්දයෙන් ආසන දෙකක් සහ ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ලබා ගනිමින් ආසන තුනක් හිමිකර ගත්තේය.
ඊට අමතරව සර්වජන බලය (178,006) ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක්ද, එක්සත් ජාතික පක්ෂය (66,234) එක් ආසනයක්ද, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (65,382) එක් ආසනයක්ද, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය (39,894) එක් ආසනයක්ද, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (33,911) එක් ආසනයක්ද, ස්වාධීන කණ්ඩායම් 17 (27,855) එක් ආසනයක්ද, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය (17,717) එක් ආසනයක්ද වශයෙන් හිමි කරගෙන තිබේ.
මෙවර මහ මැතිවරණය සඳහා එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් (1,71,40,354) ලියාපදිංචි වී සිටි අතර ඉන් එක්කෝටි දහඅට ලක්ෂ පහළොස් දහස් දෙසිය හතළිස් හයක් (1,18,15,246) ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉන් හය ලක්ෂ හැටහත් දහස් දෙසිය හතළිහක් (667,240) ප්‍රතික්ෂේප වී ඇති අතර වලංගු ඡන්ද සංඛ්‍යාව එක්කෝටි එකළොස් ලක්ෂ හතළිස්අට දහස් හයකි.
මෙවර සුවිශේෂීත්වය වන්නේ ජනාධිපතිවරණයේදී 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් මාලිමාව මෙවර මහ මැතිවරණයේදී 61.56% ක ප්‍රතිශතයක් දක්වා ඉහළට පැමිණීමයි.