සජබට මැද කොළඹත් අහිමියි
විපක්ෂයේ ඡන්ද සෑහෙන්න අඩුවෙලා
අලුත් දේශපාලන සංස්කෘතියකට ජනපති අනුර කළ ඉල්ලීමට ජනතාවගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්
ඉදිරි වසර පහක කාලය සඳහා රටේ දිශානතිය තීන්දු කෙරෙන නොවැම්බර් 14 දින පැවැත්වූ 2024 පාර්ලිමේන්තු මැතිවරණය අවසන්ය. පාර්ලිමේන්තුවේ 225 ම එපා යැයි කියා සිටි ජනතාව නවතම කණ්ඩායමක් පත්කර ගැනීමට මෙවර ඡන්දය භාවිත කර ඇති බැව් පැහැදිලිය. දශක ගණනක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කළ මහා බලකණු විශ්‍රාම ගන්වා පැරණි බලකොටු බිඳ දැමීමට මෙවර මැතිවරණ ප්‍රතිඵලය සමත්ව සිටී. සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ඡන්ද 6,863,186 ක් (61.56%) ලබා ආසන 159 ක් හිමිකර ගනිමින් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය හිමි කරගෙන තිබේ. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තනි පක්ෂයක් තුනෙන් දෙකක බලයක් ලබා පාර්ලිමේන්තුවේ බලය හිමිකරගත් ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
සමගි ජනබලවේගය ඡන්ද 1,968,716 ක් (17.66%) ලබා ආසන 40 ක්ද, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 257,813 ක් ලබා ආසන 8 ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835 ක් (4.49%) ලබා ආසන 5 ක්ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 350,429 ක් ලබා (3.14%) ආසන 3 ක්ද ලබා තිබිණි.
2024 මහ මැතිවරණය පාර්ලිමේන්තු ඉතිහාසයේ 17 වැනි පාර්ලිමේන්තු මැතිවරණය වූ අතර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය විය. මෙවර මැතිවරණයට ඡන්දදායකයන් 17,140,354 දෙනෙක් සුදුසුකම් ලැබූහ. ඡන්ද මධ්‍යස්ථාන 13,314 කදී මැතිවරණය පැවැත්වුණු අතර ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 ක ඡන්දය ගණන් ගැනීම සිදු විය.
පාර්ලිමේන්තුවේ ආසන 225 න් මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගැනෙන මන්ත්‍රීන් 196 දෙනා සහ ජාතික ලැයිස්තුවට තෝරා ගැනෙන 29 දෙනා සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 49 ක් නියෝජනය කරමින් අපේක්ෂකයන් 5531 ක්ද, ස්වාධීන කණ්ඩායම් 284 ක් නියෝජනය කරමින් 3357 ක්ද, වශයෙන් අපේක්ෂකයෝ 8888 ක් ඉදිරිපත්ව සිටියහ. ජාතික ලැයිස්තුවට පිළිගත් දේශපාලන පක්ෂවලින් 516 දෙනකු නම් කර තිබූ අතර ස්වාධීන කණ්ඩායම්වලින් 11 දෙනකු නම් කර තිබිණි.
මෙවර වැඩිම ඡන්දායකයන් පිරිසක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එහි ඡන්දදායකයන් සංඛ්‍යාව 1,881,129 විය. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ගණන 17,65,351 කි. අවම ඡන්දදායකයන් පිරිසක් සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේය. ඒ 86,889 කි. කෙසේ නමුදු වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කළේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 18 සඳහා තරග කළ අපේක්ෂක සංඛ්‍යාව 966 ක් විය. මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 64000 ක් පමණ පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන් 1,52,000 කට අධික පිරිසක් මැතිවරණ රාජකාරි සඳහා සහභාගී වූහ.
නොවැම්බර් 11 දින මධ්‍යම රාත්‍රියෙන් පසු නිහඬ කාලය ආරම්භ විය. එම කාලය තුළ කිසිදු ආකාරයකින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ නොහැකි බවට මැතිවරණ පනතේ සඳහන්ව තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සියලු අපේක්ෂකයන්ගෙන් හා ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ මෙම නිහඬ කාලය තුළ මැතිවරණ නීතිවලට අනුගතව කටයුතු කරන ලෙසටය. කෙසේ නමුදු මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 2811 ක් ලැබී තිබිණි. මෙවර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේද යම් වෙනසක් දැකිය හැකි විය. පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා තනි පේලියේ ඡන්ද පත්‍රිකාවක් ද, අනෙක් මැතිවරණ කොට්ඨාස 19 සඳහා පේළි දෙකකින් යුත් ඡන්ද පත්‍රිකාවක් ද නිකුත් කර තිබිණි. ඡන්ද පෙට්ටි 14350 ක් මැතිවරණය සඳහා යොදාගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයන් අට දහසකට අධික පිරිසක් ඉදිරිපත් වුවද සක්‍රිය ලෙස මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූයේ අපේක්ෂකයන් 1500 ත් 2000 ත් අතර පිරිසක් පමණක් යැයි ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේය. පෙර මැතිවරණ හා සසඳන විට මෙවර මැතිවරණයේදී ප්‍රචාරණය හා රැස්වීම්වලද අඩුවක් පෙනෙන්නට තිබිණි. වෙනත් මැතිවරණවලදී අපේක්ෂකයන් හට අවශ්‍ය තරම් මුදල් වැය කළ හැකිව තිබුණ ද මෙවර මැතිවරණය සඳහා වැය කළ මුදල් ඔවුනට ලැබුණු ආකාරය පිළිබඳව තොරතුරු ලබා දිය යුතු හෙයින් මුදල් මූලාශ්‍ර ලබා දිය නොහැකි අපේක්ෂකයන් විශාල පිරිසක් ප්‍රචාරණ කටයුතුවලින් බැහැර වූ බැව් පෙනෙන්නට තිබූ බව ගජනායක මහතා සඳහන් කළේය. අතීතයේ සිට පැවැති මැතිවරණවලදී බොහෝ අපේක්ෂකයන් වැය කළේ අයථා අන්දමින් උපයාගත් කළු සල්ලි බවට රාවයක් ජනතාව අතර පැතිර තිබිණි.
මෙවර මැතිවරණ ප්‍රචාරක වේදිකාවේ විවිධ කතා ප්‍රකාශ විය. විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කළේ හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අධික බවත් ජනාධිපතිවරයා පොරොන්දු ඉටු කර නොමැති බවටත්ය. රාජ්‍ය සේවක වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ද විවිධ කතා අසන්නට ලැබිණි. ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා එක් ඡන්දයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගෙන පෙන්වන ලෙසට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ආණ්ඩුවට අභියෝග කළේය. එයට, ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේ සැප්තැම්බර් 21 දා ජනාධිපතිවරණයට තරග කළ සියලු පක්ෂ එදා ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා එක ඡන්දයක් හෝ වැඩියෙන් ලබාගෙන පෙන්වන ලෙසටය. ජනතාවට සියලු සහන ලබා දීමට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි ඔහු අලුත්ම දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරනු සඳහා පළපුරුදු යැයි කියන අය නොව දූෂණයෙන්, වංචාවෙන් තොර අලුත්ම පිරිසක් පාර්ලිමේන්තුවට පත් කර යවන ලෙසට ඉල්ලා සිටියේය. ජනතාව එම ඉල්ලීම ඉටු කර තිබේ. විපක්ෂයේ සියලු පක්ෂ තමන්ට ආණ්ඩුවක් නොව ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම සඳහා බලය ලබා දෙන ලෙසට ඉල්ලා සිටීම මෙවර මහ මැතිවරණයේ කැපී පෙනෙන සිදුවීමකි. ඔවුහු මැතිවරණයට පෙර සිටම තමන් ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අපේක්ෂා භංගත්වයට පත්ව සිටි බවක් පෙනෙන්නට තිබූ අතර බොහෝ පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වීමෙන් වැළකී ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්ව සිටියහ.
අලුතින් හඳුන්වා දුන් මැතිවරණ වියදම් නියාමන නීතිය යටතේ අපේක්ෂකයන්ට ඡන්දදායකයකුට වැය කළ හැකි උපරිම මුදලක් තීරණය විය. ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා එක් ඡන්දදායකයකු සඳහා වැය කළ හැකි උපරිමය ලෙස දක්වා තිබුණේ රුපියල් 20කි. ජනාධිපතිවරණයේදී එය එක් ඡන්දදායකයකු සඳහා රුපියල් 109 ක් විය. මෙවර මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා වැය කළ හැකි උපරිමය එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් සංඛ්‍යාව අනුව වෙනස් විය. මෙවර වැඩිම මුදලක් වැය කළ හැකි වූයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහාය. ඒ එක් අපේක්ෂකයකු සඳහා රුපියල් 114 කි. අවමය වාර්තා වූයේ මොණරාගල දිස්ත්‍රික්කයෙනි. එය රුපියල් 84 කි.
මෙවර මැතිවරණයේ විශේෂත්වය වූයේ මෙතෙක් පැවැති පාර්ලිමේන්තු මැතිවරණ අතර සාමකාමීම මැතිවරණය වීමය. කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවුණු අතර පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉතිහාසයේ සාමකාමී පූර්ව සහ පශ්චාත් මැතිවරණ සමය මෙවර යැයි සඳහන් කළේය. රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය නොසැලකිය යුතු මට්ටමක පැවැති බවද පෙර පැවැති ආණ්ඩු සෑම මැතිවරණයකදීම තම බලය තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය බලය උපරිම ලෙස භාවිත කළ ද මෙවර මැතිවරණයේ එවැන්නක් නොවූ බවත් ඔහු සඳහන් කළේය.
ඡන්දදායකයන් යම් උද්‍යෝගයකින් ඡන්දය භාවිත කළ බවක් පෙනී ගිය අතර අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටි මාතර දිස්ත්‍රික්කයේ ජනතාව එම පීඩා මධ්‍යයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළ කරා පැමිණියහ. සමස්තයක් ලෙස ගත් කල මෙවර ඡන්දය භාවිත කර තිබුණේ 60% ත් 65% ත් අතර ප්‍රතිශතයකි. සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේදී සමස්තයක් ලෙස 79.46% ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මෙවර ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 10% ත් 15% ත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බවත් දැකිය හැකිය. ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 77.39% ක් වුවද මෙවර එය 65% දක්වා පහත වැටී තිබිණි. (2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඡන්ද ප්‍රතිශතය 73.94% ක් විය.) වැඩිම ඡන්දදායකයන් පිරිසක් ලියාපදිංචිව සිටි දිස්ත්‍රික්කය වූයේ ගම්පහ දිස්ත්‍රික්කයයි. ජනාධිපතිවරණයේදී 79.09% ක් ඡන්දය ප්‍රකාශ කළ ද මෙවර එය 66% දක්වා පහත වැටිණි. (2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 73.01 කි.) අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලද මෙම පසුබෑම දැකිය හැකි විය. මෙවර වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වූයේ මන්නාරම් දිස්ත්‍රික්කයෙනි. ඒ 70% කි. අඩුම ප්‍රතිශතය පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය 56% ක් විය.
පළමු ඡන්ද ප්‍රතිඵලය රාත්‍රි 7 වන විට නිකුත් විය. ඒ ගාල්ල ආසනයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඉන් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කර තිබිණි. ආසන එකක් දෙකක් හැර ඉන්පසු ප්‍රකාශයට පත් සියලු තැපැල් ඡන්ද සහ ආසන මට්ටමේ ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය විශාල ලෙස ඉදිරියට පැමිණ තිබිණි. සමස්තයක් ලෙස ගත් කල ඔවුහු සෑම ඡන්ද කොට්ඨාසයකම 61% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූහ.
ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ඡන්ද 56,34,915 (42.31%) ක්ද, සජිත් ප්‍රේමදාස 43,63,035 (32.76%) ක්ද, රනිල් වික්‍රමසිංහ 2,299,768 (17.27%) ක්ද, නාමල් රාජපක්ෂ 342,781 (2.57%) ක්ද ලබා තිබිණි. මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලය අනුව සජබය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) විශාල පසුබෑමකට ලක්ව තිබේ. ජනාධිපතිවරණයට වඩා ඡන්දය භාවිත කළ ප්‍රතිශතය අවම වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද සංඛ්‍යාවේ සුළු වර්ධනයක් දැකිය හැකි විය.
මෙවර මැතිවරණයේදී දළ වශයෙන් ලක්ෂ 45ක පමණ පිරිසක් ඡන්දය භාවිත කර නොමැති බව පෙනී යයි. එම ඡන්ද සියල්ලම පාහේ විපක්ෂයේ ඡන්ද බවට පැහැදිලිය. එහි වාසිය ද ජාතික ජනබලවේගයට හිමිව ඇති බව පෙනේ. එමෙන්ම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය ද විශාලය. එලෙස ප්‍රතික්ෂේප වූයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී සිදු වූ දෝෂ හෝ කිසිවකුට ඡන්දය ප්‍රකාශ නොකරමියි සිතා උවමනාවෙන්ම ඡන්දය කටුගා දැමීම හේතුවෙන් දැයි පැවසිය නොහැකිය. විපක්ෂයට ජනාධිපතිවරණයේදී ලැබුණු ඡන්ද සංඛ්‍යාවෙන් යම් ප්‍රමාණයක් ජාතික ජනබලවේගයට හිමිවූවා යැයිද අනුමාන කළ හැකිය. කෙසේ නමුදු ජනතාව විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කර ඇති බැව් පැහැදිලිය. විපක්ෂය සෑම මැතිවරණ වේදිකාවකම ප්‍රකාශ කළේ එකම කතාවකි. නව ජනාධිපතිවරයා පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇති අතර තමන් පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යළි සාකච්ඡා කරන බව පිරිසක් පැවසූ අතර මාලිමා රජයක් පත් වුවහොත් ඩොලරය රුපියල් දහස දක්වා ඉහළ යන බවද, ගෑස්, ඉන්ධන නොමැති වන බවද තවත් පිරිසක් ප්‍රකාශ කළහ. එහෙත් ජනතාව බඩ ගැන නොව රට ගැන සිතා ඡන්දය භාවිත කළ බැව් පැහැදිලිය.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 21 කම බලය තහවුරු කර ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. ඔවුනට අහිමි වූයේ මඩකලපුව දිස්ත්‍රික්කය පමණි. එම දිස්ත්‍රික්කය ජයගත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයයි. කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ඡන්ද 788,636 ක් දිනා ගත්තේය. එහි ප්‍රතිශතය 68.63% ක් වූ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 18 න් 14 ක් දිනාගෙන තිබිණි. සමගි ජනබලවේගය 208,249 ක් ලබා තිබූ අතර එය ප්‍රතිශතයක් ලෙස 18.12ක් විය. ඒ අනුව ඔවුනට ආසන 4 ක් හිමි විය. මෙවර වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්කය වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබලවේගයට ඡන්ද 898,759 ක් හිමි විය. එහි ප්‍රතිශතය 72.76% කි. ඒ අනුව එම දිස්ත්‍රික්කයේ ආසන 19 න් ආසන 14 ක්ම දිනා ගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. ඡන්ද 150,445 ක් හිමිකරගත් සමගි ජනබලවේගය ආසන 3 ක් දිනා ගත්තේය. එහි ප්‍රතිශතය 12.18% කි. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද 452,398 ක් ලබාගත් ජාතික ජනබලවේගයට ආසන 8 ක් හිමිවිය. ඡන්ද 128,932 ක් හිමිකරගත් සමගි ජනබලවේගය ආසන 2 ක් දිනා ගත්තේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) ඡන්ද 34,257 ක් ලබා එක් ආසනයක් හිමිකර ගැනීමට සමත් විය. අනුරාධපුර දිස්ත්‍රික්කය ද ඡන්ද 331,692 ක් හිමිකර ගනිමින් ජයගත්තේ ජාතික ජනබලවේගයයි. ඒ අනුව ඔවුනට ආසන 7 ක් හිමි විය. ඡන්ද 98176 ක් දිනාගත් සමගි ජනබලවේගයට ආසන 2 ක් හිමි විය. සාමාන්‍යයෙන් දෙමළ පක්ෂ හා එක්සත් ජාතික පක්ෂයට පමණක් ජයග්‍රහණ හිමි වූ යාපනය දිස්ත්‍රික්කය ද මෙවර ජයග්‍රහණය කළේ ජාතික ජනබලවේගයයි. ඔවුන් ඡන්ද 80,830 ක් ලබාගත් අතර ආසන 3 ක් දිනා ගත්තේය. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 63,327 ක් ලබා එක් ආසනයක්ද, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ස්වාධීන කණ්ඩායම (17) එක් ආසනය බැගින් ද හිමිකර ගත්තේය. ජාතීන් වශයෙන් වෙන්ව සිටීම නොව උතුරත් දකුණත් එකට අත්වැල් බැඳගෙන සිටීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඔවුන් මෙවර මාලිමාව ජයග්‍රහණය කිරීමට කටයුතු කර තිබිණි.
දක්ෂිණාංශික පක්ෂවල බලකොටුවක් වූ මහනුවර දිස්ත්‍රික්කය මෙවර ජයගත්තේ ජාතික ජනබලවේගයයි. ඡන්ද 500,596 ක් ලද ඔවුන් ආසන 9 ක් දිනාගත් අතර ඡන්ද 145,939 ක් දිනාගත් සමගි ජනබලවේගය ආසන 2 ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එක් ආසනයක්ද දිනා ගත්තේය. ඔවුන් ඡන්ද 50,889ක් ලබා තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලකොටුවක් වූ කුරුණෑගල දිස්ත්‍රික්කය ද මෙවර ජයගත්තේ ජාතික ජනබලවේගයයි. ඡන්ද 651,476 ක් ලද ඔවුන් ආසන 12 ක්ද, 198,384 ක් ලද සමගි ජනබලවේගය ආසන 3 ක්ද හිමිකරගත් අතර ශ්‍රී ලංකා පොදු පෙරමුණට එකදු ආසනයක් හෝ හිමි නොවීය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලකයකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දුට මෙවර පාර්ලිමේන්තු අසුන අහිමි විය. සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ රාජධානිය වූ නුවරඑළිය දිස්ත්‍රික්කය ද ජයගන්නට ජාතික ජනබලවේගයට හැකි විය. පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ ජීවන් තොණ්ඩමන් මෙවර තරග කළේ අලියා ලකුණිනි. ඔවුනට එක් ආසනයක් දිනාගත හැකි වූ අතර වතුකරයේ ආධිපත්‍යය තොණ්ඩමන්ලාගෙන් ගිලිහී යමින් තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කය ද දිනාගන්නට ජාතික ජනබලවේගයට හැකිවිය. ඔවුන් ආසන 6 ක් දිනාගත් අතර සමගි ජනබලවේගය ආසන 2 ක්ද, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් ආසනයක් ද හිමි විය. ප්‍රථම වරට වතු කම්කරු කාන්තාවක් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටී. ඒ ජාතික ජනබලවේගයේ අම්බිගා සැමුවෙල්ය.
නවක මන්ත්‍රීවරුන් සමඟ අලුත් ආණ්ඩුවේ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය නොවැම්බර් මස 21 දින පැවැත්වීමට නියමිතය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා