2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අලුත් ආණ්ඩුවේ ආර්ථික අභියෝග

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:03 104

අලුත් ආණ්ඩුවක් බලයට පත්කිරීමට ජනතාව ඡන්දය පාවිච්චි කළේ සැබැවින්ම තම ආර්ථික ගැටලුවලට විසඳුමක් ලැබේ යැයි අපේක්ෂාවෙනි. ඡන්ද පවත්වන දිනය වනවිට අපේ රට ආර්ථිකය අතින් ප්‍රපාතයට වැටී බංකොලොත් රාජ්‍යයක්ය යන විරුදාවලිය ලබා සිටියේය. සමස්ත රටේ මෙන්ම ජනතාවට තිබූ ආර්ථික ප්‍රශ්න උග්‍රව තිබූ අතර රටේ ජනගහනයෙන් තුනෙන් එකකට පමණ දවසේ තුන්වේල කෑමට නොහැකි තත්ත්වයට පත්ව තිබුණි. දරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට පෝෂ්‍යදායක ආහාර නොලැබීම නිසා මන්දපෝෂණයෙන් පෙළීමට සිදුවිය. ජනතාව වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට ප්‍රධාන හේතුව වූයේ රටේ පැවැති ආහාර අහේනියයි. එයට බද්ධ වූ විවිධ හේතු සාධක තිබුණද සියල්ලටම ප්‍රධාන වූයේ ආහාර ගැටලුවයි.

බලයට පත්වූ ආණ්ඩුවද නිතරම කතා කළේ තමන්ට බලය ලැබුණු විට රටේ ආර්ථික තත්වයට පිළියමක් යෙදීමට ප්‍රමුඛස්ථානය දීමේ අවශ්‍යතාව පිළිබඳවය. රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් තිබුණු අතර ඇතැම් ද්‍රව්‍ය නැත්තටම නැතිව ගොස් තිබිණ. ඒ නිසා මුලින්ම අවශ්‍ය වූයේ මිල මට්ටම පාලනය කර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමය. එසේම එම භාණ්ඩ මිලට ගැනීමට මුදල් අවශ්‍ය විය. එයට පිළියමක් වශයෙන් ජනතාවගේ ආදායම වැඩි කළ යුතු වූයේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමද ස්වයංරැකියාලාභීන්ට වැඩි ආදායමක් ලබා ගැනීමටද පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප ජීවන වියදමට සරිලන සේ වැඩි කිරීමට ද අවශ්‍ය විය.

ජනාධිපතිවරයා බලයට පත්වූ විගස මේ සියලු ආර්ථික ප්‍රශ්න විසඳේ යැයි යමකු බලාපොරොත්තු වන්නේ නම් එය සාධාරණ නැත. එහෙත් ප්‍රමාද නොවී ඒවා ඉටු කළ යුතුය. විපක්ෂයේ ඇතැම් කොටස්වලට අවශ්‍ය වී තිබුණේ ජනාධිපති තමන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලබා දුන්නේ නැතැයි යන සිතුවිල්ල ජනතාවගේ සිත් සතන් තුළ රෝපණය කර ආණ්ඩුව කෙරෙහි කලකිරවා දේශපාලන වාසි ලබා ගැනීමට විය හැකිය. තමන් බලයට පත්ව සිටි කාලයේ ජනතාව පිළිබඳ යම්තම් හෝ නොසැලකූ ඇතැම් දේශපාලනඥයෝ මේ වනවිට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලීමට පටන්ගෙන සිටිති.

අලුත් ආණ්ඩුව මුලින්ම කළ යුත්තේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට තාවකාලිකව ඉක්මන් විසඳුමක් සෙවීමය. ඒ පිළිබඳ අදාළ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹීම වැදගත් වේ. අනතුරුව රටේ ඇති ආර්ථික අවශ්‍යතාවලට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් යෙදීම අවශ්‍ය වෙයි. අමාත්‍යංශ නම් කර මාස හයක් ගතවීමට පෙර දීර්ඝ කාලීන විසඳුමක් සෙවීමට පියවර ගත යුතු බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. දැනට උග්‍ර ප්‍රශ්න බවට පත්ව ඇති වී සහ සහල් ගැටලුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල විටින් විට වෙනස් වීම, ඉන්ධන මිල පිළිබඳව ස්ථිරසාර විසඳුමක් සෙවීමද අත්‍යවශ්‍ය වෙයි.

දැනට අවුලක් බවට පත්ව ඇති රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය සමනය කිරීමද අත්‍යවශ්‍යය. ඒ සඳහා ඔවුන්ගේ වැටුප් සමාලෝචනය කර දැනට පවතින සුවහසක් වූ වැටුප් ක්‍රම හා වැටුප් තල සරල බවට පත් කළ යුතුය. එවිට සේවකයාට මෙන්ම රජයට ද සහනයක් සැලසේ. ඒ හැර අපේ බදු ක්‍රමය සරල කිරීම අත්‍යවශ්‍යම කාර්යයකි. ඍජු බදු පිළිබඳ අද පවතින විචල්‍යතාව වෙනස් කර බද්ද ඉහළ දැමීම වෙනුවට බදු නොගෙවා සිටින වැඩි කොටස බදු දැලට හසුකර ගැනීමට ක්‍රියා කළ යුතු වෙයි. එසේම වැඩ කරන ජනතාවට මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට අසාධාරණයක් වී ඇති උපයන විට බදු ගෙවීම සහ බදු ගෙවන ආදායම තීරණය කිරීම පිළිබඳව යළි සමාලෝචනයක යෙදී එම ජන කොටස්වලට යම් සහනයක් දීම කෙරෙහි නව ආණ්ඩුවේ අවධානය යොමු කළ යුතුය. මේ සියලු තීරණ ගත යුතු වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව බව සිහියේ තබාගෙන ඔවුන් බලාපොරොත්තු වන ආදායම් ඉලක්කවලට ළඟා වීම කෙරෙහි දෙවරක් සිතීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඊළඟ අයවැය ලේඛනය සකස් කිරීමේදී මේ සියලු අවශ්‍යතාවලට එකඟ වෙමින් යම් යම් තීරණවලට එළඹීමට පාලකයන්ට සිදුවනු නොඅනුමානය.

නව රජය බලයට පත්වීමට පෙර එහි ඇතැම් අය පසුගිය දිනවල රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ගැන චෝදනා එල්ල කළා අපට මතකය. ඔවුන් වේදිකාවල පැවසුවේ අයි.එම්.එෆ්. එකට ගිහින් ගොඩගිය රටක් නැති බවය. එහෙත් රජය බලයට පත්වීමෙන් පසු එහි සහය ලබා ගැනීමට ඔවුනට සිදුව තිබේ. එහිදී රජය පවසා ඇත්තේ ජනතාව මත වැටී ඇති දරුණු ආර්ථික පීඩනය මගහරවා ගැනීම සඳහා විකල්ප යෝජනා මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන බවය. මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති අතර එම යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට කැමැත්ත ප්‍රකාශ වී ඇත. ඒවා පිළිගෙන ඒ අනුව කටයුතු කළ හැකි වුවහොත් ගැටලුවක් ඇති නොවන බව මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. යම් ලෙසකින් ඒවා එකිනෙකට පෑහීමක් නැති වුවහොත් ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. කෙසේ වුවද මෙම ගිවිසුම් ශ්‍රී ලංකා රජය හා අරමුදල යන දෙපාර්ශ්වයම අත්සන් කර ඇති නිසා සංශෝධනයකට යාමේදී දෙපාර්ශ්වයම එකඟ විය යුතු වෙයි. අත්සන් කළේ කුමන ආණ්ඩුවද යන්න අදාළ නොවේ.

කෙසේ වුවද පිටත සිට බලා සිටින විට පෙනෙන අඩුපාඩු ඇතුළට ගිය පසු නොපෙනෙන තත්ත්වයට පත්වීම අපේ රටේ බොහෝ ආණ්ඩු මාරු වූ විට බෝවන රෝගයකි. කියූ දෙය කරන්නට බැරි බව තේරුම් යන්නේ වැඩට බැස්ස පසුය. සියල්ල කළ නොහැකි නම් මේ වනවිට ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට හෝ ඉක්මන් විසඳුමක් ලබා දී ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් නොකිරීමට ආණ්ඩුව වග බලාගත යුතු බව බොහෝ දෙනාගේ මතය වේ. අනතුරුව ආණ්ඩුවේ මුළු ජීවන කාලයම යොදා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ආණ්ඩු මාරුවන විට මාරු නොවන ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව දේශහිතෛෂීන්ගේ බලාපොරොත්තුව වේ.

රටේ ආර්ථිකයේ පැන නැගී ඇති ගැටලු සහ අලුත් ආණ්ඩුව ඒ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ පවතින ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ලැබීමෙන් පසු ඒ අය මැතිවරණයට පෙර පවසා තිබූ කරුණු හා ජනාධිපතිවරයා පත්වීමෙන් පසු විටින් විට ප්‍රකාශ කළ යෝජනා ක්‍රියාත්මක කිරීම විශාල අභියෝගයක් වනු ඇති බවය. ජනතාව ඒ පිළිබඳ බලාපොරොත්තු තබාගෙන ඇති නිසා ඒවා ඉටු කිරීමට ආණ්ඩුවට අනිවාර්යෙන්ම සිදුවන බව හෙතෙම කියයි.

“2024 අයවැය ලේඛනය සකස් කිරීමේදී එම රජය උපකල්පනය කළේ රාජ්‍ය ආදායම පවතින මට්ටමෙන් සියයට 43 ක් පමණ වර්ධනය වේවි කියලයි. එය කෙසේ වෙතත් මේ වනවිට බලාපොරොත්තු වූ රාජ්‍ය ආදායමෙන් ලැබී ඇත්තේ සියයට 57 ක් පමණයි. ඉතිරි 43 පියවීමට කොහොමටත් ණය ගන්න වෙනවා. හිටපු ජනාධිපති අලුතෙන් විශාල බදු වර්ග කිහිපයක් හඳුන්වා දුන්නා. ඒවාට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබාගෙනයි තියෙන්නේ. ආරෝපිත කුලී ආදායම් බද්ද, ධන බද්ද ආදිය ඒ අතර වෙනවා. ඒවා ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. වැඩි වේ යැයි බලාපොරොත්තු වූ මුදලින් අගෝස්තු මාසය වනවිට සියයට 28 යි වැඩි වී ඇත්තේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරට අපේක්ෂා කළ ආදායමෙන් ඔක්තෝබර් 30 දින වනවිට සියයට 70 යි ලැබිලා ඇත්තේ. කෙසේ වුවත් වසර අවසාන වනවිටද බලාපොරොත්තු වූ මුළු ආදායමට යන්න බැහැ. විශාල පරතරයක් ඇතිවෙයි.

ආණ්ඩුවට තවත් අමතර වියදම් ඇතිවෙලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට වියදම් අයවැය ලේඛනයට ඇතුළත් වෙලා තිබුණේ නැහැ. එයට රුපියල් බිලියන 11 ක් පරිපූරක ඇස්තමේන්තුවකින් ලබා ගන්න සිද්ධ වුණා. දැන් මේ අමතර වියදම් සහ අලුතෙන් යෝජිත කාර්යයන් සඳහා ආදායම වැඩි කරගන්න වෙනවා. නැතිනම් ණය ගන්න වෙනවා. 2026 වසර වනතුරු අපට විදේශ ණය ගන්න බැහැ. එයට හේතුව අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙලා තිබීමයි. දේශීය ණය පමණයි ගන්න වෙන්නෙ. ඒ අනුව තමා පරතරය පියවා ගන්න වෙන්නෙ.

අනිත් ගැටලුව වන්නේ මේ ආණ්ඩුවට 2025 සඳහා තවම අයවැය ලේඛනයක් නොමැති වීමයි. සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ 2024 ඔක්තෝබර්වල අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය නොවැම්බර් වනවිට සාකච්ඡා කර විවාද කර සම්මත කර ගැනීමයි. එහෙත් අද පවතින තත්ත්වය අනුව එම ක්‍රියාමාර්ගය ගන්නට බැහැ. ඒ සඳහා කෙටි කාලයකට හෝ අතුරු සම්මත ගිණුමක් පවත්වාගෙන යා යුතු වෙනවා.
ජාතික ජනබලවේගය මැතිවරණ දිනවල පැවසුවා, බදු ‘0’ ට බස්සනවා කියලා. එහෙත් දැන් ආර්ථික උපදේශකයන් පවසන්නේ බදු ‘0’ බැස්සීම ප්‍රායෝගික නොවන බවයි. සියයට 5 කට පමණ බදු මට්ටම අඩු කළ හැකි බවයි. ඒ අනුව අයවැය ලේඛනයේ අවශ්‍ය සංශෝධන කළ යුතු වෙනවා.

රටේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම අංක 1 ට තබාගෙන මේ රජය කටයුතු කළ යුතු වෙනවා. මෙතෙක් කලක් අපට ආර්ථිකය නිසි මගට ගැනීමට නොහැකි වූයේ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසයි. එක එක වෙලාවට එක එක දේවල් තමා කරන්නේ. එහෙත් අලුත් පාර්ලිමේන්තුව පත්වූ පසු අතීත වැරදි සියල්ල නිවැරදි කරගෙන ඉදිරියට යාම අත්‍යවශ්‍ය වෙනවා. අලුත් ආණ්ඩුවේ පත්වන මන්ත්‍රීවරුන්ට එය විශාල අභියෝගයක් වනවා ඇති.”

• යසවර්ධන රුද්රිගු

 

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:05