2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

සෙරෙප්පු දෙකක්වත් නැතුව කොළඹට ඇවිත් ලෝකයක්ම දිනුවා

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

දුර ඈත දවසක දුරු කතර ගෙවාගෙන සාංචියට සපැමිණි ඇයට පදමට තේ සීනි සම්මිශ්‍රණය වී යතිවර දෑතින් පිරිනැමුණු තේ කෝප්පයේ අමුතු රසක් දැනුණා නිසැකය. ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් කවුළු පියන්පත් හැරුණු හදවතක ආදරය හා යාවුණු ළතෙත් හැඟුම්හි රස සුවඳ හදන තේ කෝප්පයකට පවා ස්නෙහ මාත්‍රා ලෙස මුසු වෙතැයි මට හිතෙන නිසාමය. ඉතින් දුරාතීතේ දවසක තේ කෝප්පයෙන් ඇරඹුණු ඒ මිත්‍රත්වය විසින් සදාලූ මහා පවුර යොෂිඩා සමාජ සේවා පදනම යැයි නම් ලද්දේය.

තේ කෝප්පය සමානයි සොෂිඩා සමාජ සේවා පදනම යැයි සිතෙන තරමට මනුෂ්‍යත්වය හා සබැඳි ඒ ආදරවේදයේ ආල අක්ෂර වියමන සුන්දරය. සවිබරය. ඉතින් ඔබට දැනෙනවානම් ඒ තේ කෝප්පය සදාලූ අයිතිකාර පින්සාර දෑත කාගේදැයි දැනටමත් ඔබට මතකයට නැඟුණාට සැක නැත.

එහෙත් එය එසේම වේදැයි මම නැවතත් සිතමි. හේතු සහේතුකය. දුලමිණි සඳක් සේ දිලුණත්, උන්වහන්සේ පරාර්ථකාමී මෙහෙවරක් උදෙසා දරාගත් වගකීම් සමුදාය කොතෙක් වුවත්, ලාංකිකයන්ට සහ ලාංකික බෞද්ධයන්ට, සිංහලයන්ට උන්වහන්සේගේ අගය, මෙහෙවර සහ වටිනාකම දැනිය යුතු වෙසින්ම, දැනිය යුතු වෙසෙසින්ම දැනුණාදැයි මේ තත්ත්පරයේත් මම සිතමින් සිටිමි. එහෙත් වදනින් මෙතෙකැයි නිර්වචනය කළ නොහැකි  උන්වහන්සේගේ මෙහෙවර සහ ප්‍රශංසනීය වටිනාකම ජාත්‍යන්තරයත්, බෞද්ධ සහ බෞද්ධ නොවන මානව ප්‍රජාවක් සහ නායකත්වයන් අප්‍රමාණිකව වටහාගත් පසුබිමක් අස උත්තමාචාරයේ මල් කළඹක් තබමින් බානගල උපතිස්ස නම් යතිවර මුද්‍රාවෙහි ස්වර්ණවත් යටගියාවන් අද දවසත් මම මෙලෙසින් අකුරු කරමි.

අවසරයි ස්වාමීන් වහන්ස....

ජපානයේ ප්‍රධාන සංඝනායක මහාබෝධි සමාගමේ සභාපති, ඉන්දියාවේ සාංචියේ චේතියගිරි විහාරාධිපති බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේ මගේ නිර්වචනය තුළ තේජවන්ත සිංහයෙකි. උන්වහන්සේ කිසි දිනක දේශපාලනඥයන්ගෙන් සිඟමන් නොයැද්දහ. කිසිදා දේශපාලනඥයන්ගෙන් කිසිවක් නොඉල්ලූහ. ශාසනික සහ සමාජ මෙහෙවරේ වගකීම් මිස දේශපාලන කාර්යභාරයන් හෝ අරමුණු දෙවුර නොදැරුවහ. දේශපාලනය හෝ දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී නොසිටියහ. ඒ සියල්ල තුළ උන්වහන්සේ සද්දන්ත කුලයේ යතිවර මුද්‍රා තැබූ තේජවන්ත සිංහයෙකි. ඒ සිංහයා ජාත්‍යන්තරයම දිනන මාවතකට සපැමිණියේ රන්, රක්ත, රිදීවන් පලක් එලාලූ සඳළු තල මතින් නොවේ. ඒ මහා සිංහයා ඉපදුණේ සිංහරාජ වනාන්තරයේ කෙළවරක වූ බානගල නම් දුප්පත් ගම්මානයේය. සිංහරාජයේ මහා වනාන්තරයේ කෙළවර ගමක ඉපදුණු සිංහ පැටවාගේ දුප්පත් ගැමි ගෙදර සහෝදර සහෝදරියන් නව දෙනෙකි. අගහිඟකම් කොතෙක් තිබුණත් ඒ ගැමි ගෙදර උතුරා පිටාර ගලන තරම් ආදරය තිබුණෙන් උන් කල් යල් යැවුවේ සතුට පපුවටම තුරුල් කරගෙනය.

අවසරයි හාමුදුරුවනේ යමුද අපි ඇවිදින්න මතකය දිගේ සිංහරාජයේ කෙළවරටම?

ඒ මතක දිගේ ඇවිදිද්දිත් හිතට හරි සනීපයි. හයේ පන්තියට එනකම් ගමේ ගෙදරට වෙලා ඉගෙන ගන්න මට ලැබුණා. ගමේ හැම කෙනෙක්ම හැම කෙනෙක්වම අඳුරනවා. හරි ළෙන්ගතුයි. නිහතමානියි. සාමකාමීයි. අද ඒ ලස්සන ගම කොහෙද කියලා මට හිතෙනවා.

බානගල සීලරතන හාමුදුරුවන්ට හොඳ සම්බන්ධයක් තිබුණා අනගාරික ධර්මපාලතුමාගේ ගෝලයෙක් වුණු මැටිවල සංඝරතන හිමි එක්ක. සිරි දේවමිත්ත හිමිගේ අභාවයෙන් පසු බරණැස මූලගන්ධිකුටි විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළේ උන්වහන්සේ. උන්වහන්සේ ලංකාවට ඇවිත් බානගල සීලරතන හිමියන්ගෙන් ඉල්ලීමක් කළා, දඹදිව ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ලංකාවෙන් දරුවන් ටිකක් හොයලා දෙන්න කියලා. ධර්මදූත සේවය සහ ධර්ම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන්න තමයි ඒ දරුවන් හෙව්වේ. ඒ අනුව බානගල සීලරතන හාමුදුරුවන් මගේ මව්පියන්ගෙන් ඉල්ලීමක් කරලා මාව තෝරා ගත්තා. උන්වහන්සේගේ කැමැත්තට තමයි මාව තෝරාගෙන තියෙන්නෙ. ඉතින් අවුරුදු 12 දී දුෂ්කර ඒ නමුත් ලස්සන ගමේ ජීවිතයට භෞතිකව සමුදීලා මම ගියා බරණැස ඉසිපතනාරාමයට.

ඇයි අපේ හාමුදුරුවනේ භෞතිකව සමුදීලා කීවේ. හිතින් ගම අත්හරින්න අමතක වුණාද ඒ දරුවට එදා?

ඔව්... අවුරුදු 12 කියන්නේ අම්මගේ තුරුල්ලේ අම්මගේ උණුහුමේ දැවටෙන්න, හුරතල් වෙන්න ආසා වයසක්. ගිහි දරුවෙක් විදිහට බරණැස ඉද්දි අම්මා මතක් වුණා. ඒ වගේම ඒ සමාජය, දේශගුණය වෙනස්. මම අසනීප වුණා. නිතර උණ, හෙම්බිරිස්සාව හැදුණා. මට ඉක්මනට ලංකාවට යන්න හිතුණා. මම ඉන්දියාවේදි මගේ අම්මට ලියුමක් එව්වා, හැකි ඉක්මනින් මාව ලංකාවට ගෙන්වා ගන්න කියලා.
1962 වසරේ සිට 1967 දක්වා බරණැස ඉසිපතනාරාමයේ ගෙවූ ගිහි ශිෂ්‍ය අවධිය තුළ මේ දරුවාට ලංකාවට පැමිණෙන්නට ලැබුණේ එක් වතාවක් පමණි.

“මම දැකලා නැත්තේ අනගාරික ධර්මපාලතුමා විතරයි. එතුමාගේ ආභාෂය ලද යතිවරයාණන් වහන්සේලා හුඟ දෙනෙක් මම ඇසුරු කළා. හැඬිගල්ලේ පඤ්ඤාතිස්ස වැනි මහා යතිවරයාණන් වහන්සේලා ඒ අතරේ සුවිශේෂීයි.
ලංකාවේ මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේදී හැඬිගල්ලේ පඤ්ඤාතිස්ස මහානාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් ලෙස බානගල උපතිස්ස නමින් පැවිදි දිවියේ විවරණ ලද උන්වහන්සේගේ 1967 දී යතිවර දිවියේ සමාරම්භය සනිටුහන් කිරීමෙන් ඉනික්බිති තම ගුරු හාමුදුරුවන්ගේ ඉල්ලීමට අවසඟව නොයමින් පුරුදු ඉන්දියාවටම වැඩම කළහ.

“සාංචියේ චේතියගිරි විහාරයේ ඉගෙන ගන්න අතරතුරම මම සමාජ සහ ශාසනික සේවාවන් කළා. ඉන්දියානු ජනතාවට මම හරි සමීප වුණා. ලංකාවේ ඉඳන් වන්දනාවට එන මිනිස්සුන්ට උදව් කළා.”

එදවස හින්දී සහ ඉංග්‍රීසි භාෂාවන්ද මැනවින් හදාරණ අතරතුරේම ගෝපාල් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද උන්වහන්සේ සාංචිය සෙවණේ ලද අත්දැකීම් හි වර්ණ සුන්දර වග ඒ අතීතය වදන් ලෙස මා සවන් හා යා වෙද්දී මට දැනේ. මට හැඟේ.
සාංචිය නරඹන්න සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඉන්දියාවට එද්දි මට අවුරුදු විසි දෙකයි. විලියම් ගොපල්ලව මැතිතුමාත් සාංචියට ආවා. ඒ කාලේ ඉන්දීය ජන නායකයන් එහෙ ආවොත් මහා බෝධි සමාගමට එනවමයි. සුව පහසුවට තේක්ක බොන්න ඇත්තටම ඒ කාලේ තැනක් තිබුණේ එතැන. හැඬිගල්ලේ පඤ්ඤාතිස්ස හාමුදුරුවන්ට ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහල්ලාල් නේරු, ඉන්දියාවේ ප්‍රථම ජනපති  රාජේන්ද්‍ර ප්‍රසාද්, ඉන්දියාවේ තෙවැනි අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රි වැනි අයගේ ආභාෂය ලැබුණා. ඒ කාලේ ඉන්දියාවේදි මා සමඟ ඉගෙනගත් සමකාලීන මිත්‍රයන් දේශපාලන ජීවිතයට ආවා. එන හැම කෙනකුටම තේ කෝප්පයක් හදලා දීලා හොඳින් සැලකුවා. ජනපති වීවී ගිරි, ජනපති ශංකර් දයාල් ශර්මා වැනි අය ඒ කාලේ සාංචියට ආවා. නරේන්ද්‍ර මෝදි තුමා මම හඳුනා ගත්තේ එයා මහාරාෂ්ට ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස ඉද්දි. එතුමාගේ ආරාධනය අනුව මම එතුමාගේ ගමට ගියා. 

අගමැති නරේන්ද්‍ර මෝදි හා උන්වහන්සේගේ මිත්‍රත්වය නොගිලිහෙන, නොබිඳී යන රැහැනක් මෙන් සවිමත්ය. මෝදි අගමැතිවරයාගේ හිස මත අත තබා ආශිර්වාද කරන්නට තරම්, ඒ ආශිර්වාදය ස්නේහ සිතින් ලබන්නට තරම් ඒ මිත්‍රත්වයේ වපසරිය ගැඹුරුය.

1976 වර්ෂයේදී බානගල උපතිස්ස යතිවරයාණන් වහන්සේ මුල්වරට ජපානයට වැඩම කළහ. ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 26 කි.

“මගේ කැමැත්තක් තිබුණා යුරෝපයට ගිහින් අධ්‍යාපනය ලබන්නත්. නමුත් ජීවිතය කියන්නෙ අපි ඉල්ලා සිටින දෙයම නෙවෙයි. අපි නොඉල්ලා සිටියත් අපට ලැබෙන දේත් ජීවිතයට අයිතියි. ජීවිතය කියන්නේ ලැබීම් සහ නොලැබීම් සියල්ලෙහි සම්මිශ්‍රණයක්.”

එහෙත් මෝරන තල මල සේම සාර සුබාවට පෙති දිගහැර පිපුණු මහා වනස්පතියක් සේ සරු පොළොවක දළු ලා වැඩුණු බානගල උපතිස්ස නම් සුගන්ධවත් කුසුම, මහා වෘක්ෂය යනු වාසනාවේ ඉරණම් උල්පත් ගලා ගිය සාර පොළොවක පැළවුණු සංසාර ජීවනයකි.

එය එසේ නොවන්නට තේ කෝප්පයක් හා ගැටගැසී යොෂීඩා ආර්යාව වැනි උත්තමාවියක් උන්වහන්සේට මුණගැසෙන්නට හැටියක් නැත.
“මම ජපානයට ගියාට පස්සේ මගේ අතේ එක යෙන් එකක් නෑ. හොඳ තැනක නවතින්න පහසුකම් ඔක්කොම ලැබුණට මගේ අතේ සල්ලි නැහැ. එදා යොෂීඩා ආර්යාව සාංචියට ආව දවසේ මට එතුමියගේ ලිපිනය ලියලා දීලා ගියා. මගේ ගාව ඒ කොළය තිබුණා. එතුමිය පෞද්ගලික රෝහලක හිමිකාරියක්. එතුමිය එදා සාංචියට ඇවිත් තේ කෝප්පය බීපු වෙලාවේ කීවා කවදා හරි ඕනෑ වුණොත් ඕනෑ උදව්වක් මගෙන් ඉල්ලන්න කියලා. මම එතුමියගේ නොම්බරය හොයා ගත්තා. මම ජපානයට ගිය ගමන්. මම එක ජපන් අකුරක් දන්නෙ නෑ. මම එතුමියට කියන්න ඕනෑ ටික ජපන් බසින් ලියා ගත්තා. අහන දේට උත්තර දෙන්න දන්නෙ නෑ. දැන් මම මට අවශ්‍ය දේ කියලා ඉවරයි. එතුමිය අනේ තව පිරිසක් සමඟ පැමිණියා. ඇවිත් මට ත්‍යාගයක් ලෙස කවරයක් දුන්නා. ඇය මට දී තිබුණේ මුදල්. ඒ ජපන් ආව ගමන දෛවෝපගත ගමනක්. මම ජපානයේ නැවතුණා. ජපන් භාෂාව ඉගෙන ගැනීම, ළදරු අධ්‍යාපනය ගැන ඉගෙන ගැනීම වැනි හේතු යොෂීඩා ආර්යාව මට හදලා දුන්නා. ඒ වෙද්දි ලංකාවේ දරුවන්ගෙන් 5% ක් විතර තමයි ළදරු පාසලකට ගියේ. එහෙත් මට පසු කාලෙක පුළුවන් වුණා යොෂීඩා පදනම ඔස්සේ ලංකාවේ ළදරු පාසල් විස්සක් පමණ ගොඩනගන්න. ඒ සියල්ල ජාත්‍යන්තර ප්‍රමිතිය සහිත ළදරු පාසල්. ජපානයේ ඉද්දි ළදරු පාසල්වලට යද්දි මට මගේ රටේ දුප්පත් දරුවන් මතක් වුණා. මගේ රටේ ඉන්න කොම්පියුටර් දැකලා නැති දරුවන්ට කවදා හරි කොම්පියුටර් අරන් දෙනවා, ළදරු පාසල් යන්න නැති ළමයින්ට ළදරු පාසල් හදලා දෙනවා කියලා මම හිතුවා. යොෂීඩා මැතිනිය මට දවසක් කීවා මට දරුවෝ පහක් ඉන්නවා. ඒ ඔක්කොටම මම මගේ යුතුකම් ඉටු කරලා ඉවරයි. මට දැන් ඔබවහන්සේට යුතුකම් ඉටු කරන්න අවශ්‍යයි. ඔබවහන්සේට මොනවද ඕනෑ ඇහුවා. මට එතුමිය සැලකුවේ දරුවෙකුට වගේ.”

ඒ මිත්‍රත්වයේ සොඳුරුතම ඵලය වූයේ ජපානයේ ලංකාජී ආරාමය ගොඩනැංවීමය. ජපානයේ හැදූ ලංකාවේ පළමු ථෙරවාද පන්සල ලෙස ලංකාජී ආරාමය ගොඩනැගුණේය. ධෛර්ය, අධිෂ්ඨානය උන්වහන්සේ එතැනට රැගෙන ආවේය.
“ආචාර්ය වල්පොල රාහුල හිමියන් මට කතා කළේ මගේ ආදරණීය පුතා කියලා. මිහිඳු මහහිමි සහ සංඝමිත්තා තෙරණිය ලංකාවට එන්න ඉස්සර වැඩහිටියේ දඹදිව සාංචි චේතියගිරි විහාරයේ. අශෝක රජු සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සහ බුදුන් වහන්සේගේ ධාතුන් නිධන් කර චෛත්‍ය හැදුවා. එය මහ කැලයට යටවී තිබී 1818 දී ඉන්දීය පුරාවිද්‍යාඥයෙක් විසින් සොයා ගත්තා. එම කැණීම්වලදී චෛත්‍ය ගර්භයේ තිබී ගලින් සාදන ලද ලස්සනට කරපු වීදුරු වැනි කරඬුවක බහාලූ ධාතුන් වහන්සේලා හමුවුණා. එම කරඬුව ගලින් නිමැවූ විශාල ගල් පෙට්ටියක දාලා තිබුණේ. එය සාරිපුත්ත, මොග්ගල්ලාන රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බව බ්‍රාහ්මී අක්ෂරවලින් සඳහන් කර තිබුණා. එම ධාතුන් වහන්සේලා එංගලන්තයේ ඇල්බට් වික්ටෝරියා ප්‍රධාන කෞතුකාගාරයේ තැන්පත් කළා. නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලංකාවට නිදහස ලැබෙන්න ටික කාලයකට පෙර මහාබෝධි සමාගමේ දැවැන්ත කැපවීම තුළ ධාතුන් වහන්සේලා නැවත ලබා දෙන්න කියන ඉල්ලීම කළා. ඊට ඇහුම්කන් දුන්න බ්‍රිතාන්‍යයන් නැවත එම ධාතුන් වහන්සේලා ලබා දුන්නා. ඒ කාලයේ සාංචිය බාරව හිටියේ මුස්ලිම් රජෙක් නවාස් ගෝපාල් කියලා. එතුමා ප්‍රකාශ කළා මෙම ධාතුන් වහන්සේලා නැවත තැන්පත් කරන්න ඕනෑ සාංචියේමයි කියලා. ඒ වගේම එම ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න විහාරයක් හදනවනම් ඉඩමක් හා මූල්‍ය අනුග්‍රහයක් ලබා දෙන්නම් කීවා. ඒ වෙලාවේ මහබෝධි සමාගම ඊට ඉදිරිපත් වුණා. චෛත්‍යයට නුදුරින් විශාල ඉඩම් ප්‍රමාණයක් මහාබෝධි සමාගමට ලබා දීලා 1947 දී මුල්ගල තියලා 1952 ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා, රාධා ක්‍රිෂ්ණන් මැතිතුමා, දලයිලාමා මැතිතුමා වැනි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ධාතුන් වහන්සේලා චේතියගිරි විහාරයේ තැන්පත් කළා. මහාබෝධි සමාගම එතෙන්දි ජවහර්ලාල් නේරු තුමාගෙන් ඉල්ලීමක් කළා ධාතුන් වහන්සේලාගෙන් කොටසක් අනික් රටවල්වලටත් දෙන්න කියලා. ඒ ඉල්ලීමට අනුව ලංකාවට හා බුරුමයට ඒ ධාතුන් වහන්සේලා ලැබුණා. ඇත්තටම ලෝකයේ ස්ථාන තුනක විතරයි සැරියුත් මුගලන් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නෙ. කොළඹ අග්‍රශ්‍රාවක විහාරය ඒ එක් තැනක්.”

වයස අවුරුදු විසි ගණනකදී හැඬිගල්ලේ පඤ්ඤාතිස්ස හිමි නමින් මාර්ගයක් සිංහල අකුරින් ඉන්දියාවේ නම් කිරීමට තරම් ශක්තියක් තිබූ, සිංහල අකුරින් සාංචියේ පුවරු තනන්නට තරම් ආදරණීය ශ්‍රී ලාංකික කැක්කුමක් තිබූ උන්වහන්සේගේ චරිතාපදානය ලියා හිඳින්නට බොහෝ අය ඉල්ලීම් කළත් එයට වරම් ලැබුණේ උන්වහන්සේ හා සමකාලීනව මහාබෝධියේ ඉගෙනීම ලද ඉන්දියානු ජාතික ඉස්ලාම් බැතිමතකුය. අංජලීකරණියෝ නම් එම චරිතාපදානය 1979 දී ආරම්භ කරන ලද යොෂීඩා පදනම ප්‍රමුඛ උන්වහන්සේගේ ශාසනික, ආගමික, මානුෂික සේවාවන් පිළිබඳව එක් අක්ෂරමය සාක්ෂියක් පමණි. ලෝකයේ රටවල්වල ඇවිදිද්දි උන්වහන්සේගේ මතකයට නිරන්තරයෙන් පැමිණියේ තම දුප්පත් ගම, නෑදෑයින් හා ගම්වැසියන්ය.

“දවසක් මගේ අම්මාට අසනීප වෙලා වාහනයක් යන්න පාරක් නැතුව වින්ද දුක මම දැක්කා. මට ගමේ ඉඳන් කොළඹ එද්දි දාගෙන එන්න සෙරෙප්පු දෙකක් තිබුණේ නෑ. මම බානගල ඉඳන් කොළඹට ආවේ සෙරෙප්පු නැතුව. මම දැක්කා එදත් ඉස්කෝලෙ යන්න සෙරෙප්පු නැති දරුවන්. මගේ අතේ කැමරාවක් තිබුණා. මම ඒ දරුවන්ගේ පින්තූර ගත්තා. ගමට උඩින් ෆැක්ටරිවලට විදුලිය දෙන්න විදුලි රැහැන් යනවා. ඒත් ගමට විදුලිය නෑ. එක්තරා පුවත්පතකට මම ලිපියක් ලියුවා ගමට උඩින් රැහැන් ඒත් ගම අඳුරේ කියලා. ජපන් යද්දි මම ඒ පත්තර පිටුව අරගෙන ගියා. මාත් එක්ක හුඟාක් හිතවත් ජපන් හාමුදුරුනමකට මම ඒ විස්තරය කීවා. මම කීවා මගේ ගමට යන්න පාරක් නෑ කියලා. කීයක් යනවද ඇහුවා. මම කියන්න දන්නෙ නෑ. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ කාලේ මා එක්ක හරි යාළුයි. මම එතුමාට ෆැක්ස් එකක් යැව්වා මට ඒ ගණන් විස්තර කියන්න කියලා. එතුමා සතියක් ඇතුළත ඒ ෆැක්ස් එක මට එව්වා. ගණන ලක්ෂ 24-25 අතරේ කීවා. හාමුදුරුවන් කීවා ඔය ගණන මදි කියලා. මට සල්ලි දුන්නා. තානාපතිවරු මාර්ගයෙන් සල්ලි යවලා ඒ වැඩේ කරනවට උන්වහන්සේ කැමති වුණේ නෑ. මමම ඊට මැදිහත් වුණා. අවසානයේ මගේ ගමට විදුලිය, පාරවල්, බස්, පාලම් ඔක්කොම ලැබුණා.” ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික භික්ෂුවක් සෞදි අරාබියට වැඩම කළා නම් එම ගෞරවයට පාත්‍ර වන්නේද උන්වහන්සේමය. මුස්ලිම් ලෝක ලීගයේ මහලේකම් සහ මුස්ලිම් විද්වතුන්ගේ සංවිධානයේ සභාපති ෂෙයික් ආචාර්ය මොහොමඩ් බීන් අබ්දුල් කරීම් අල්-ඉඩා ප්‍රධානත්වයෙන් ආගමන අනුගාමිකයන් අතර පොදු සාරධර්ම ප්‍රවර්ධනය කිරීම තේමා කරගෙන සෞදි අරාබියේ මක්කම කේන්ද්‍රස්ථානය කරගත් අන්තර්ජාතික ඉස්ලාමීය රාජ්‍ය නොවන සංවිධානයක් වන මුස්ලිම් වර්ල්ඩ් ලීගය සංවිධානය කළ සමුළුවට උන්වහන්සේ වැඩම කළහ.

බානගල උපතිස්ස හිමියන් යනු මහා වනස්පතියකි. අතු අගිසි පුරා සුවඳවත් පුෂ්පයන් සහ ඵල දරා හිඳින බෝධිසත්ව ගුණ ඇති යතිවර සිංහයෙකි. කවුරුන් විසින් හඳුනා ගත්තත් නොගත්තත් උන්වහන්සේ කර ඇති මෙහෙවරෙහි ගැඹුර අනන්ත සාගරයකි. මා විසින් අකුරු ලෙස ලියා තැබුවේ ඒ මහා සාගරයේ දිය බිඳු මාත්‍රයක ගුණ සුවඳ වරුණ පමණකැයි මට සිතේ.

• සංජීවිකා සමරතුංග

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:05