ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අලුත්ම මුහුණු රැසක් එක් කරමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය අවසන් විය. එය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය වූ අතර ඡන්දදායකයන් 17,140,354 දෙනෙක් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ. ඡන්ද මධ්‍යස්ථාන 13,314 ක මැතිවරණය පැවැත්විණි.
කිසිවකුත් අපේක්ෂා නොකළ පරිදි 2/3 ක බලයක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවේ ආසන 141 ක් ජයග්‍රහණය කළ ජාතික ජනබලවේගයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 18 ක් හිමි වූ අතර සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා ගත්තේ ඉතිහාසයේ පළමු වරටය.
උදෑසන 7 ට ආරම්භ වූ ඡන්දය ප්‍රකාශ කිරීම සවස 4 ට අවසන් වන විට දිස්ත්‍රික්ක 22කේ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ කොළඹ 65%, ගම්පහ 66%, නුවරඑළිය 68%, දිගාමඩුල්ල 62%, වන්නි 65%, කුරුණෑගල 64%, මඩකලපුව 61%, මාතර 64%, පුත්තලම 56%, අනුරාධපුර 65%, බදුල්ල 66%, ත්‍රිකුණාමලය 67% පොළොන්නරුව 65%, රත්නපුර 65%, ගාල්ල 64%, යාපනය 69%, හම්බන්තොට 60%, මාතලේ 67%, කෑගල්ල 65%, මොනරාගල 63%, මහනුවර 62%, කළුතර 64% ආදී වශයෙනි. සමස්තයක් ලෙස ගත් කල ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතය 68.93% ක් වැනි අගයක පැවතියේය.
සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේදී සමස්තයක් ලෙස 79.46% ක් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. මෙවර මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 10% ත් 15 % ත් අතර ප්‍රතිශතයකින් පහත වැටුණු බව පැහැදිලිය. ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 77.39% ක් වුවද මෙවර එය 65% දක්වා පහත වැටිණි. (2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඡන්ද ප්‍රතිශතය 73.94% ක් විය.) වැඩිම ඡන්දදායකයන් පිරිසක් ලියාපදිංචිව සිටි දිස්ත්‍රික්කය වූයේ ගම්පහ දිස්ත්‍රික්කයයි. එහි ජනාධිපතිවරණයේදී 79.09% ක් ඡන්දය භාවිත වුවද මෙවර එය 66% දක්වා පහත වැටිණි. (2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 73.01% කි.) අනෙකුත් සියලු දිස්ත්‍රික්කවලද මෙම පසුබෑම දැකිය හැකි විය.
ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන ශ්‍රී ලංකාව තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අතර රටේ පාලනයට සම්බන්ධ වීමට ජනතාවට ලැබෙන එකම අවස්ථාව වන්නේ, ඡන්දය භාවිත කරමින් සුදුස්සන් තෝරා ගැනීමට සම්බන්ධ වීමය. එම අවස්ථාව හිමි වන්නේ, වසර 5 කට වරකි. කිසිවකු ඡන්දය භාවිත නොකරන්නේ නම් එය රට පාලනය කිරීම සඳහා සුදුස්සන් පත් කිරීම වෙනුවෙන් ජනතා වගකීම පැහැර හැරීමකි. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් සියලු දෙනා තම යුතුකම හා වගකීම ඉටුකරන්නේ ද යන ගැටලුව මේ වන විට රට හමුවේ පවතී.
මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කරන්නේ මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ උනන්දුවේ අඩුවීමක් දක්නට ලැබුණු බවය. මෙවර ඡන්දය හිමි පිරිස 17,140,354 ක් වුවද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 11,815,246 කි. ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ නොකළ සංඛ්‍යාව 53,25,108 කි. ප්‍රකාශිත ඡන්දවලින්ද ඡන්ද 667,240 ක් ප්‍රතික්ෂේප විය. එය 5.65% කි. ඒ අනුව පිළිගත් ඡන්ද සංඛ්‍යාව වූයේ 11,148,006 ක් පමණි. ඉන් 68,63,186 ක් ඡාතික ජනබලවේගය දිනාගත් අතර දෙවැනි ස්ථානයට පත් සමගි ජනබලවේගයට හිමිවූයේ ඡන්ද 1,968,716 කි.
ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයට හිමි වූ ඡන්ද ප්‍රමාණය (දෙවැනි වර ගණනය කිරීමෙන් පසු) 57,47,179 කි. සමගි ජනබලවේගය (දෙවැනි වර ගණනය කිරීමෙන් පසු) ඡන්ද 45,30902 ක් දිනා තිබිණි. ගෑස් සිලින්ඩරයෙන් තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද 22,99,767 ක් ලබා ගත්තේය. මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගය ඡන්ද 68,63,186 ක් ලබා ගනිමින් ජනාධිපතිවරණයේදී ලද ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද එකොළොස් ලක්ෂයක පමණ වර්ධනයක් පෙන්නුම් කළේය. එහෙත් ඡන්ද 45,30,902 ක් ලබාගත් සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගයට මෙවර හිමි වූයේ ඡන්ද 19,68,716 ක් පමණි. ඒ අනුව ඔවුන්ට ඡන්ද 25,62,186 ක් අහිමි වූ අතර රනිල් වික්‍රමසිංහගේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත්තේ ඡන්ද 500,835 කි. ඒ අනුව ඔහුට ලක්ෂ 17,98,932 ක ඡන්ද ප්‍රමාණයක් අහිමිව තිබිණි. හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ සාමාන්‍යයෙන් ලංකාවේ ඡන්දදායකයන් අතරින් 12% ක පමණ පිරිසක් මැතිවරණවලදී තම ඡන්දය භාවිත නොකරන බවයි. ඒ අනුව මෙවර ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස ගණනය කළ යුත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කර නොමැති සංඛ්‍යාව අනුව යැයි ඔහු කියා සිටියේය. මෙවර මැතිවරණයේදී 53 ලක්ෂයක පමණ පිරිසක් ඡන්දය භාවිත නොකිරීමට සාධක ගණනාවක් ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කරයි. ලක්ෂ 53 ක පමණ පිරිසක් ඡන්දය භාවිත කර නැතැයි සංඛ්‍යාලේඛන අනුව පෙනී ගියද නිවැරදි සංඛ්‍යාව එය නොවන බව ඔහු පෙන්වා දෙයි.
“මැදපෙරදිග රටවල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 26 ක් පමණ සිටිනවා. වෙනත් රටවල ලක්ෂ 6ක් පමණ සිටිනවා. එම ලක්ෂ 32ට කොහොමත් ඡන්දය ප්‍රකාශ කළ නොහැකියි. රටේ සිටියත් විකල්ප ඡන්ද ක්‍රමයක් නොමැති බැවින් ඡන්දය භාවිත කිරීමට නොහැකි තවත් ලක්ෂ 7 ක් පමණ පිරිසක් සිටිනවා. ඒ ධීවර කර්මාන්තයේ යෙදෙන පනස්දාහක පමණ පිරිස, ඔවුන් බොහෝ විට සිටින්නේ සාගරය මැද. බන්ධනාගාරගතව සිටින විසි දහසක් පමණ පිරිස සහ රෝහල්ගතව සිටින විසි දෙදහසක් පමණ පිරිස. ඇතැම් රාජ්‍ය සේවකයන්ටද ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව ගිලිහී යනවා. මේ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නොගිය සංඛ්‍යාව ලක්ෂ 12 ක පමණ පිරිසක්. එමෙන්ම ඡන්දය පැවැත්වූ දිනයත් ඡන්ද ප්‍රකාශ කිරීම අවම වීමට බලපෑවා. එය පැවැත්වුණේ බ්‍රහස්පතින්දා දිනයක. සාමාන්‍යයෙන් කොළඹ සේවය කරන කම්කරු වැනි ඇතැම් වෘත්තින්හි නිරත අය දෛනික වැටුප් ලබන්නන්. ඔවුන්ට තම ගම්බිම්වලට ගොස් ඡන්දය පාවිච්චි කළ නොහැකියි. මන්ද එසේ ගියහොත් ඔවුන්ගේ දෛනික වැටුප අහිමි වනවා.
එමෙන්ම මාධ්‍යවේදීන්, සුපිරි වෙළෙඳසල් සේවකයන්, පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්, ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන් නිවාඩු ලබා ගතහොත් එම නිෂ්පාදන ක්‍රියාදාමය බිඳ වැටෙනවා. ඡන්දය ප්‍රකාශ කරන දිනය සති අන්තයක ගත්තා නම් මීට වඩා ඡන්ද වැටෙන්න තිබුණා. මෙම සේවකයන්ට නිවාඩු ලබා නොදුන්නා කියලා සේවායෝජකයන්ට දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් ලංකාවේ නැහැ. ඡන්දය ප්‍රකාශ කිරීම අවම වීමට එවැනි කරුණු බලපෑවා.” යනුවෙන් සඳහන් කළේය. මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුවක් ඇතිවීමේ වගකීම එම පක්ෂවලට පැවරෙන බව මහින්ද දේශප්‍රිය කියා සිටියේය. දේශපාලන පක්ෂ මෙන්ම තමන්ගේ ඡන්ද අයිතිය පැහැර හැර ඡන්දය ප්‍රකාශ නොකළ ජනතාව ද වැරැද්දක් කර ඇතැයි ඔහු සඳහන් කරයි. මාලිමාව ජනාධිපතිවරණයේ ලද ඡන්ද සංඛ්‍යාව වැඩි කරගෙන ඇති නමුදු ඔවුන් තවදුරටත් උනන්දු වූයේ නම් තවත් ඡන්ද ප්‍රමාණයක් වැඩි කරගත හැකිව තිබූ බවද ඔහු සඳහන් කළේය.
විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශ නොකිරීමට පසුගිය කාලය පුරා මෙරට දේශපාලනයේ පැවැති අර්බුද බලපා බැව් පෙනී යයි. විශේෂයෙන්ම පසුගිය කාලය පුරාම රටේ පැවතියේ තට්ටුමාරු දේශපාලනයකි. එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාලයක් රට පාලනය කළ අතර පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද යහපාලන ආණ්ඩුව ද මෙරට පාලනය කළේය. පක්ෂ නාම හා ලාංඡන වෙනස් වුවද මේ සෑම ආණ්ඩුවකම සිටියේ එකම පිරිසකි. ඔවුන්ගෙන් යම් පිරිසක් විවිධ දූෂණ, අක්‍රමිකතා, වංචා මිනිමැරුම් හා මත්ද්‍රව්‍ය වැනි ක්‍රියාවලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වූවන් බව ජනතාවට රහසක් නොවීය. ජනතාව කාලයක් පුරා ජීවත් වූයේ දැඩි අසහනයකි. එම අසහනය පුපුරා ගියේ අරගලයත් සමඟිනි. අරගලයෙන් හිටපු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා එළවා දැමිණි. එහෙත් රටේ පාලනය පැවතියේ ඔවුන්ගේම ආණ්ඩුව අතය. ඔවුන් යළි ජනාධිපති ලෙස පත්කර ගත්තේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ නායකයෙකි. ඉන් ජනතා කලකිරීම තවදුරටත් වර්ධනය විය. ජනතාවට අවශ්‍ය වූයේ සැබෑ වෙනසකි. තවත් පිරිසකට කිසිදු දේශපාලකයකු කෙරෙහි විශ්වාසයක් නොවීය. තමන් ප්‍රිය කළ පක්ෂය කෙරෙහි කලකිරුණු ඔවුන් තම විරෝධය ප්‍රකාශ කළේ එම පක්ෂවලට ඡන්දය දීමෙන් වැළකී සිටීමෙනි. සමගි ජනබලවේගයට හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද විශාල ප්‍රමාණයක් අහිමි වූයේ ඔවුන්ගේ පාක්ෂිකයන්ට එම පක්ෂ කෙරෙහි තවදුරටත් විශ්වාසයක් නොමැතිවීම මතය.
ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කැඩී බිඳී ගොස් විවිධ සන්ධාන මගින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් ද මව් පක්ෂවලට දැඩිව බැඳී සිටි ඇතැම් ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවද පෙනී යයි. මේ වන විට සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය දියවී ගොසිනි. එකල තනි පක්ෂ ලෙස පැවැති මෙම පක්ෂ මේ වනවිට විවිධ කුඩා පක්ෂ රැසක් සමඟ සන්ධානගතව සිටී. උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පක්ෂ 34 ක් එක්ව තිබේ. සමගි ජනබලවේගය ද එසේමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබලි කිහිපයකට කැඩී ගොසිනි. එවැනි තත්ත්වයක් යටතේ ප්‍රධාන ධාරාවේ පක්ෂවලට ඡන්දය දුන් පිරිස ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි බවක් පෙනී යයි. එමෙන්ම ජාතික ජනබලවේගයට ඡන්දය භාවිත කිරීමට අකමැති එහෙත් ඔවුන් ජයග්‍රහණය කරන බව වටහාගත් පිරිසක් ද ඡන්දය භාවිත කිරීමෙන් වැළකී ඇති බවක් ද පෙනෙන්නට තිබේ.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා