කොටවෙහෙර ගමේ විහාරයේ ගාල් කර තිබූ ගිලන් රථයට විවේකයක් නොලැබෙන තරම්ය. විටෙක පිළිකා රෝගියකු රැගෙන කොළඹ අපේක්ෂා රෝහලට යන ගිලන් රථය තවත් විටෙක වකුගඩු රෝගියකු රැගෙන නිකවැරටිය රෝහලට යයි. ඒ සෑම මොහොතකම රියැදුරු ආසනයට යාබද අසුනේ සිටින්නේ ස්වාමීන් වහන්සේ නමකි.
මහමිතව පඤ්ඤාරතන හිමියන් වැඩ වාසය කරන්නේ නිකවැරටිය සුධීරගම ශ්‍රී ජිනරතන සදහම් සෙවණ නම් විහාරස්ථානයේය. ඒ හිමියන් වසර ගණනාවක් වැඩවිසූයේ එංගලන්තයේ විහාරස්ථානයකය. 2016 වසරේදී උන්වහන්සේට එක්තරා තරුණයකු දුරකථන ඇමැතුමක් ලබා දී “හාමුදුරුවනේ... නිකවැරටියේ එක්තරා විහාරයක ස්වාමීන් වහන්සේ කෙනෙක්වත් නැතිව ගමේ මිනිසුන් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ පානවා. පුළුවන් නම් එම විහාරයට ස්වාමීන් වහන්සේ නමක් වැඩමවන්න” යැයි ඉල්ලීමක් කළේය.
“ඒ තරුණයා මගෙන් වෙනත් ස්වාමීන් වහන්සේ නමක ඉල්ලා සිටියා. මම පන්සලේ නායක හාමුදුරුවන්ට මගේ අම්මා අසනීප වෙලා කියලා පොඩි බොරුවක් කියලා ලංකාවට වැඩම කළා. ඒ 2016 මැයි මාසේ දෙවැනිදා. ඒ එද්දී මේ විහාරයේ පොඩි ආවාසයක් විතරමයි තිබුණේ. දායක පිරිස සීයක්වත් හිටියේ නැහැ. එංගලන්තෙ මට උදව් කළ, මම දන්න අය මට මේ විහාරය ගොඩනගන්න උදව් කළා. ගමේ මිනිසුන් ඔවුන්ට හැකි අයුරින් මුදලින්, ශ්‍රමයෙන් මට උදව් කළා. අපි හැමෝගෙම මහන්සියෙන් 2021 වන විට අංගසම්පූර්ණ විහාරස්ථානයක් මෙතැන ගොඩනැගුණා. එංගලන්තේදීත් මට ඉලක්කයක් තිබුණා. කොන්ක්‍රීට් රටක සුව පහසු ජීවිතයක් ගත නොකර ලංකාවට ගොස් දුෂ්කර පළාතක විහාරස්ථානයක් ගොඩනගන ඉලක්කයක් මට තිබුණා. කෙසේ හෝ වසර පහක් තුළදී අංගසම්පූර්ණ විහාරස්ථානයක් මම ගමට හදල දුන්නා.” යැයි මහමිතව පඤ්ඤාරතන හිමියෝ දේශයට අදහස් දක්වමින් පැවසූහ.
බොහෝ දෙනකුගේ ඉල්ලීම වූයේ විහාරස්ථානයේ සංඝාවාසයක්ද ඉදිකරන ලෙසය. ස්වාමීන් වහන්සේ එයට කැමති වූයේ නැත. යුරෝපයේ සිටියදී විඳි ඒ සුවපහසුවෙන් මිදී ලංකාවට වැඩම කළ තමන්ට එවැනි පහසුකමක් අවශ්‍ය නොවන හෙයින් ඒ මුදලද විහාරස්ථානය වෙනුවෙන් යොදවන්නට ස්වාමීන් වහන්සේ තීරණය කළහ. ඒ අනුව 2021 වසරේදී සංඝාවාසය හැර අනෙකුත් සියලු අංග විහාරස්ථානයේ ඉදි කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණි. ඒ වන විටත් විහාරස්ථානයේ වැඩසිටියේ මහමිතව පඤ්ඤාරතන හිමිපාණන් පමණි. “ගමෙන් පන්සලට” යන තේමාව වෙනස් කොට “පන්සලෙන් ගමට” යන තේමාව යටතේ ගමේ මිනිසුන් වෙනුවෙන් යමක් කිරීම ස්වාමීන් වහන්සේගේ ඊළඟ බලාපොරොත්තුව විය.
ඒ වනවිට එංගලන්තයේදී මහමිතව පඤ්ඤාරතන හිමිපාණන් ඇසුරු කළ, දන්නා කාගේත් ඉල්ලීම වූයේ ස්වාමීන් වහන්සේට යාමට ඒමට වාහනයක් මිලදී ගන්නා ලෙසය. විහාරස්ථානය පිහිටා තිබුණේ නිතර අලින් ගැවසෙන ප්‍රදේශයකය. ඒ අනුව ලක්ෂ හැටක පමණ මුදලකට උන්වහන්සේ විහාරස්ථානයට වාහනයක්ද මිලදී ගත්හ.
2024 වසර මුලදී මහමිතව පඤ්ඤාරතන හිමිපාණන්ට අපූරු අදහසක් පහළ විය. ඒ වෙනුවෙන් උන්වහන්සේ ලංකාවේ සෞඛ්‍ය අංශ ගණනාවකටම ගියහ. ඒ අතහැර දැමූ, අබලන් ගිලන් රථයක් සොයා ගැනීමටය. එවැනි අතහැර දැමූ අබලන් ගිලන් රථ බොහොමයක් උන්වහන්සේගේ නෙත ගැටුණි. නමුත් ඒ කිසිදු තැනකින් උන්වහන්සේට සුබදායී බලාපොරොත්තුවක් ලැබුණේ නැත. එයින් අධෛර්යමත් නොවුණු උන්වහන්සේ තම ඉලක්කය වෙත යාමට තව තවත් උනන්දු වූහ. උන්වහන්සේ තමන් පරිහරණය කළ රථය විකුණූහ. ඒ මුදලද අතේ තබාගෙන ගිලන් රථ මෙරටට ගෙන්වන සමාගම් වෙත ගියහ. නමුත් ඒවායේ මිල උන්වහන්සේට දරාගත නොහැකි විය.
“ඔය අතරේ එක්තරා මහත්තයෙක් “හාමුදුරුවනේ අපි වෑන් එකක් අරගෙන ඒක ගිලන් රථයක් කරමු” කියලා යෝජනා කළා. ඒ අනුව අපි කුරුණෑගල ගිහින් ලක්ෂ හතළිස් හතරකට වෑන් එකක් මිලදී ගත්තා. ඒ වෑන් රථය ඇඳක්, සේලයින් පහසුකම්, ඔක්සිජන් පහසුකම්, ප්‍රථමාධාර පහසුකම් ඇතුළු සියලු පහසුකම්වලින් යුත් ගිලන් රථයක් බවට අපි පත් කළා.” යැයි මහමිතව පඤ්ඤාරතන හිමියෝ පැවසූහ.
ඒ අනුව සාමාන්‍ය වෑන් රථයක් ගිලන් රථයක් බවට පත් කරමින් උන්වහන්සේ මේ වසරේ ඇසළ මාසයේදී එය තම ගම්වාසීන් වෙනුවෙන් භාර කළහ. මේ වන විට එම ගිලන් රථය පිළිකා, අංශභාග, ළමා රෝග, වකුගඩු රෝගවලින් පීඩා විඳින අසරණ රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇත. ලංකාවේ ඕනෑම රෝහලක් වෙත මෙම රෝගීන්ව රැගෙන යාමට මෙම ගිලන් රථය සූදානම්ය.
ගිලන් රථය සඳහා රියැදුරු මහතෙක්ද ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටියි. ඔහුට සුළු වැටුපක්ද හිමි වේ. නමුත් එය සැලකිය යුතු වැටුපක් නොවේ. නමුත් රියැදුරු මහතා මෙය සිදු කරන්නේ රැකියාවක් ලෙස නොව සත් ක්‍රියාවක් ලෙස සිතමිනි. ගිලන් රථය රෝහල කරා රැගෙන යාමට අවශ්‍ය ඉන්ධන මෙන්ම වාහන නඩත්තු කටයුතු සඳහා ද මසකට විශාල මුදලක් දැරීමට සිදුවේ. මේ වෙනුවෙන් ගමේ සණස සමිතිය මසකට රුපියල් විසිදහසක මුදලක් ලබා දෙයි. නමුත් එය ප්‍රමාණවත් නොවේ. අදටත් එංගලන්තයේ තම හිතමිතුරන්ගෙන් ලැබෙන සහයෝගයද ස්වාමීන් වහන්සේට මහඟු උපකාරයකි. නමුත් ඒ ලැබෙන සුළු ආධාර මෙය පවත්වාගෙන යාමට ප්‍රමාණවත් වන්නේ නැත.
ගිලන් රථයක් නඩත්තු කළ හැකි ආගමික ස්ථාන ඕනෑ තරම් ලංකාවේ පවතී. නිකවැරටිය වැනි දුෂ්කර පළාතක පිහිටි විහාරස්ථානයක් මෙවැනි සත් ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඉතා පහසුකම් ඇති විහාරස්ථාන, පල්ලි, කෝවිල් ද මේ සඳහා එකතු වුවහොත් එය කෙතරම් සහායක් වනු ඇතිද? රථ කිහිපයක් ඇති විහාරස්ථාන මේ රටේ කීයක් නම් පවතීද? මහමිතව පඤ්ඤාරතන හිමියෝ මේ රටේ බලධාරීන්ගෙන් එක් ඉල්ලීමක් සිදු කරති. මෙතෙක් පාවිච්චියට නොගත්, අබලන් වූ, නැවත අලුත්වැඩියා කරගත හැකි ගිලන් රථ විසි පහක් ලබා දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලා සිටිති. මේ රටේ ස්වාමීන් වහන්සේලා විසිපස් නමක් එකතු කරගනිමින් උන්වහන්සේලාගේ අධීක්ෂණය හරහා රජයට බරක් නොවන ලෙස ගිලන් රථ සේවාවක් දුෂ්කර ගම්මානවල ආරම්භ කිරීමට උන්වහන්සේගේ බලාපොරොත්තුවයි.
අද වන විට කෙතරම් අබලන් ලංගම බස් රථ ඩිපෝවල ගාල් කොට ඇතිද? මේවා සැබවින්ම සම්පත්ය. උන්වහන්සේ පවසන්නේ ලක්ෂ දහයකට අලුත්වැඩියා කරගත හැකි අබලන් ගිලන් රථ තිබුණද වර්තමානය වන විට ඒවා දිරාපත් වෙමින් යන බවය. මේ වන විටත් මෙම සත් ක්‍රියාවට එකතු වීමට කැමැත්ත පළ කළ ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද උන්වහන්සේ සමඟ එකතු වී සිටිති. “සුවසහනය” ගිලන් රථයෙන් රෝහලකට රෝගියකු රැගෙන යද්දී රියැදුරු සමඟ මහමිතව පඤ්ඤාරත හිමියෝද එක් වෙති. නිකවැරටිය රෝහලේ හදිසි අනතුරු සේවාව ඉදිරිපිට මෙම ගිලන් රථය ගාල් කිරීම සඳහා කොටසක්ද වෙන්කර දී තිබේ.
මේ පිළිබඳ නිසි බලධාරීන්ගේ අවධානය යොමුවී උන්වහන්සේගේ ඉල්ලීමට යම් සුබදායී පිළිතුරක් ලැබෙනු ඇතැයි අපි ද බලාපොරොත්තු වෙමු.
• දිශානි ජයමාලි කරුණාරත්න