2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

මගේ ජීවිතයම පර්යේෂණයක් - සම්මානිත මහාචාර්ය වනිගසේකර දයා රත්නසූරිය

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 22

විසල් නුග රුකක් සදිසි මිනිසුන් ජීවිතයේදී හමුවේ නම් ඒ හමුවන තත්ත්පරයක් හෝ මහා අස්වැසිල්ලකි. මේ මොහොතේ මා විඳිමින් හිඳින්නේ එවන් සොඳුරු මිනිසකුගේ හමුවීමක මහා සතුටයි. එම මිනිසා අබිමුව හිඳ මා කියවමින් සිටින්නේ විසල් ගුරු ගීතයක රමණීය අක්ෂරයන්ගෙන් ලියවුණු පරිච්ඡේදයකි. තවත් වෙසෙකින් ඔහු මහා පර්‌යේෂකයෙකි. අවබෝධාත්මක දැනුම් සමුදායක සම්මිශ්‍රණයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්යවරයකු වශයෙන් එදා මෙදා තුර වසර හතළිස් ගණනක් මුළුල්ලේ ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්, විශ්වවිද්‍යාලයීය පර්‌යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මහාචාර්යවරයා කළ මෙහෙවර අක්ෂර වියමනකට ලඝු කරන්නේ කෙලෙසදැයි සැබැවින්ම මම අතරමං වී හිඳිමි. පර්‌යේෂණ පත්‍රිකා හාරසියයකට වැඩි සංඛ්‍යාවක් ලියූ, එයින් වැඩි සංඛ්‍යාවක් ජාත්‍යන්තර වශයෙන් එළිදැක්වූ මේ සම්මානිත මහාචාර්යවරයා වනිගසේකර දයා රත්නසූරියයි. ආචාර්ය උපාධිය සඳහා එංගලන්තයේ විශ්වවිද්‍යාලයකට ගිය ගමනේදී එංගලන්තයේ නවතින්නට ඔබට සිතුණේ නැද්දැයි මා ඇසූ ප්‍රශ්නයට මහාචාර්යවරයා දුන් පිළිතුර ඔහුගේ හදවත කෙලෙසදැයි නිර්වචනය කරගන්නට මට මහා සාක්ෂියක් විය.

“නෑ මට කවදාවත් එහෙම නවතින්න හිතුණෙ නෑ. මගේ බැඳීම, ළෙන්ගතුකම තිබුණෙ මගේ රටත් එක්ක. මගේ පවුලත් එක්ක. මගේ අයත් එක්ක. මට ඕනෑ වුණේ මම ලබපු දැනුම මගේ රටේ දරුවන්ට බෙදලා දෙන්න. එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධිය අරගෙන මම ලංකාවට ආවේ මට එහෙ නවතින්න කියලා කියද්දී. ඇවිත් කථිකාචාර්යවරයෙක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලය සෙවණේ ඉගෙන ගන්න දරුවන්ට මම මගේ දැනුම බෙදලා දුන්නා.”

හුදෙක් තම සුඛ විහරණය පසෙකලා මිනිසුන් වෙනුවෙන් එතරම් පරාර්ථකාමී විය හැකිනම් කෙනකුට ඒ මිනිස් ගුණය කෙතරම් නම් සොඳුරුදැයි මා ඔබට තවත් කියනු කෙලෙසද... එහෙයින්ම මා හදවතින් නැගෙන උත්තමාචාරයේ මල් කළඹ මහාචාර්යවරයා අස තබමින් ඔහු හා කැටුව මා ඇවිද යන්නේ ඔහුගේ ශාස්ත්‍රීය ජීවිතයේ නෙක මං ඔස්සේය.

මට මේ තත්ත්පරයේ සිහි ගැන්වෙන්නේ මහා පුරුෂයකුට බිරිඳක්ව යන තේමාවයි. මහාචාර්යවරයාගේ ආදරණීය බිරිඳ ඔහුගේ ජීවිතය පුරාම එවන් සෙවණැල්ලක්ව ඔහු අස නිබඳ රැඳුණු ආදරණීය ගැහැනියකි. ජීවිතයේ හැම තත්ත්පරයක්ම පර්‌යේෂණ හා ශාස්ත්‍රීය ජීවිතය වෙනුවෙන් කැප කරද්දී ඒ සියල්ල දොසක් නොකියා දරාගෙන ආදරයෙන් සැලකිල්ලෙන් ඔහු නිවමින් අංශුමාත්‍රයක්වත් මග නොහැර තම යුතුකම් ඉටු කරමින් තම දියණියටත් පුතාටත් වෛද්‍යවරුන් ලෙස ජීවිතයේ මග එළි පෙහෙළි කරගන්නට මඟ තැනූ ඒ ආදරණීය අම්මාට, ඒ ආදරණීය බිරිඳට සහ ඒ ආදරණීය ගැහැනියට මේ මොහොතේ මම හදවතින්ම ස්තූතියැයි කියමි. ඇය නොසිටින්න ලාංකික විශ්වවිද්‍යාල පර්‌යේෂණ ක්ෂේත්‍රයට පර්‌යේෂණ පත්‍රිකා හාරසිය ගණනක් තිළිණ කරන්නට ඇතැම් විටක මහාචාර්යවරයාට ඉඩ හසර සොයා ගැනීම දුෂ්කර වනු ඇත. සොයාගත්තත් නිස්කාංසු සුවයෙන් දිවිසැරිය ගෙවන්නට ඉඩහසරක් උදා නොවනු ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සාරසිප් සොයා ගිය රත්නසූරිය දරුවා ඉනික්බිති කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදයේ මහා අක්ෂර සොයා ගිය විද්වතෙකි. ලංකාවේ අඩුම වයසින් මහාචාර්ය ධුරය දරන්නට විවරණ ලැබූ මහාචාර්යවරයෙක් ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි. අඩුම වයසින් මහාචාර්ය ධුරයට පත් ජී.එල්. පීරිස් මහාචාර්යවරයාට සමගාමීවම ඒ විවරණය ලද අනෙක් මහාචාර්යවරයා ඔහුයි. අසන්නට මට පැනයක් තිබේ.

පර්‌යේෂණ පත්‍රිකා හාරසිය ගණනක් ලියන්නට තරම් ඔබ ඇත්තටම පර්‌යේෂණ කළේ මොනවා ගැනද?

මම හුඟාක් පර්‌යේෂණ කළේ ලංකාවේ කළු තේ ගැන. කළු තේ වලින් මනුෂ්‍ය ශරීරයට ලැබෙන ප්‍රයෝජන ගැන ආයුර්වේදයත් ගැඹුරට කතා කරනවා. නමුත් මට ඕනෑ වුණේ මේ කතා කරන දේවල් ඔප්පු කරලා පෙන්වන්න. මේ පර්‌යේෂණ හැම එකක්ම කළේ මීයන් යොදාගෙන. කළු තේ ගැන කරපු පර්‌යේෂණවලින් මට අනාවරණය කරන්න පුළුවන් වුණා, කළු තේ වලින් මිනිසුන්ගේ ශරීරයේ සීනි ප්‍රතිශතය අඩු කරනවා කියන එක. මේද හරණය සිදු කරනවා කියන එක. මිනිසුන්ගේ ආතතිය, කාංසාමය තත්ත්ව අඩු කරනවා කියන එක. ශරීරයේ තියෙන විෂ රසායන උරාගෙන ඒවා ලේ වලට මුදා හැරීම නවත්තනවා කියන එක. ඒ වගේම දිගුකාලීනව කළු තේ භාවිත කළා කියලා අක්මාවටවත් වකුගඩුවලටවත් කිසිම හානියක් සිදු නොවෙනවා කියන එක. ශරීරයේ විශේෂයෙන් මස්පිඬුවල වේදනා නැති කරනවා කියන එක. ඉදිමුම් තත්ත්ව අඩු කරනවා කියන එක. පිරිමින්ගේ ලිංගික ශක්තිය වැඩි කරනවා කියන එක. මේ සියල්ලම කළු තේ භාවිතයෙන් සිදු වෙනවා කියන එක මම සාක්ෂි ඇතුව මගේ පර්‌යේෂණ ඔස්සේ අනාවරණය කළා. ලංකාවේ ප්‍රධාන වශයෙන් කළු තේ වර්ග තුනක් තියෙනවා. දේශගුණික සාධක අනුව ඒ වගේ රසායනික සංයුතිය වෙනස් වෙනවා. උඩරට කියන්නේ අඩි තුන්දහස් දෙසීයට වැඩි ප්‍රදේශය. අඩි 3200 ත් 600 ත් අතර ප්‍රදේශය මධ්‍ය කඳුකරයයි. අඩි 600 ට වඩා අඩු ප්‍රදේශය පහතරට. මගේ පර්‌යේෂණය අනුව දේශගුණික සාධක පදනම් කරගෙන තේ වල තියෙන රසායන සංයුතිය ගත්තම හොඳම දේ තියෙන්නේ උඩරට. මගේ පර්‌යේෂණ අතර කළු තේ ගැන කරපු පර්‌යේෂණවලට මගේ වැඩි කාලයක් වැය කළා මම.

නමුත් මහාචාර්යතුමනි, ඔබේ පර්‌යේෂණ සීමා වෙන්නෙ කළු තේ වලට විතරක් නෙවෙයි?

ඔව්... ඇත්තටම පර්‌යේෂණ ඔස්සේ මම ලැබුවේ ශාස්ත්‍රීය දැනුමක්, ශාස්ත්‍රීය වින්දනයක් වගේම පුදුමාකාර ආත්ම තෘප්තියක් කියලා මට හිතෙනවා. මොකද මගේ ජීවිතේ දරුවන්ට ඉගැන්වීමට, පර්‌යේෂණ සිදු කිරීමට සහ විද්‍යාර්ථීන් පර්‌යේෂණ සඳහා යොමු කිරීමට තරම් මම කිසිම දෙයක් වෙනුවෙන්, මගේ දරුවන් වෙනුවෙන්වත් මම කාලය වැය කරලා නැහැ. මගේ බිරිඳ වෙනුවෙන්, මගේ ගෙදර වෙනුවෙන් කාලය වැය කරලා නැහැ. ඇත්තටම මට මාව දැනෙන්නෙම පර්‌යේෂණ සඳහාම ජීවිතය කැප කරපු මහාචාර්යවරයෙක් විදිහට. ඔබ අහපු ප්‍රශ්නයට ආවොත් ලංකාවේ කළු තේ වලට අමතරව මම පර්‌යේෂණ කළා, ලංකාවේ සාම්ප්‍රදායික හාල් වර්ග හතරක් ගැන. ඒ හාල් වර්ග හතර තමා සුදු හීනැටි, ගොඩ හීනැටි, මසුරන් සහ දික් වී. ඒ සාම්ප්‍රදායික හාල් පරිභෝජනයෙන් සීනි වැඩි වෙන්නේ නැහැ. හොඳ ප්‍රතිශක්තිමය ගුණයක්, නිරෝගිමත්භාවයක් ලබා දෙනවා. මගේ පර්‌යේෂණය යොමුවුණු තවත් දිශානතියක් තමයි හීලෑ අලි සහ ගල් ගුහා ආශ්‍රිතව ජීවත් වෙන කුඩා වවුලන්.

ලංකාවේ හීලෑ අලි ගැන පර්‌යේෂණ කරන්න ඇත්තටම ඔබට හිතුණෙ ඇයි?

ඇත්තටම ලංකාවෙ හීලෑ අලි ගැන මට පර්‌යේෂණ කරන්න හිතුණෙ අපවත් වී වදාළ ගංගාරාමයේ අපේ පොඩි හාමුදුරුවෝ ආචාර්ය ගල්බොඩ ඥානිස්සර හාමුදුරුවෝ නිසා. ගංගාරාමය කියන්නේ මට මගේ දෙවැනි ගෙදර. ගංගාරාමයත් එක්ක තියෙන බැඳීම, ආදරය ඇතිවුණේ පුංචි කාලෙ ඉඳන්මයි. මගේ අම්මා තාත්තත් ගංගාරාමයේ හාමුදුරුවරුන්ට හුඟාක් ආදරය කළ එහි භක්තිමත් දායකයන්. පුංචි කාලෙ ඉඳන්ම ගෙදර හැරුණම අපි වැඩියෙන්ම ජීවත් වෙච්ච, ගැවසිච්ච, අම්මා තාත්තගෙන් වගේම ගුරුහරුකම් ලබපු තැනක් තිබුණනම් ඒ තමයි ගංගාරාමය. හිතන්නකෝ ගංගාරාමයට දෙවැනි ගෙදර කියලා කියන්න තරම් කොයිතරම් බැඳීමක් තිබුණද කියලා. අදටත් මගේ දරුවනුත් එහෙමයි. අදටත් මගේ බැඳීමත් එහෙමයි. දවසක් අපේ පොඩි හාමුදුරුවෝ මට කිව්වා ලංකාවෙ හීලෑ අලි ගැන පර්‌යේෂණ කරන්න කියලා. ඒ අලින්ගේ සීනි තත්ත්වය, ඒගොල්ලන්ගේ ශරීර තත්ත්වය සහ ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිමය ගැටලු‍ තියෙනවානම් ඒ දේවල් ගැන වාර්තාවක් මේ අලි අයිතිකාරයන්ට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඇත්තටම උන්වහන්සේගේ මඟපෙන්වීම අනුව තමයි මටත් හිතුණෙ හීලෑ අලි ගැන පර්‌යේෂණ කරන්න. මේ පර්‌යේෂණයට අපි අලි සීයක් විතර යොදා ගත්තා. මේ පර්‌යේෂණය කරද්දී අලි අයිතිකාරයන්ගෙන් වගේම අලියා බලාගන්න කෙනාගෙනුත් මට ලොකු සහයෝගයක් හම්බවුණා. අලියව බිම දාලා කනෙන් ලේ අරගෙන තමයි මේ පර්‌යේෂණ කළේ. ඇත්තටම හීලෑ අලි ගැන මම කරපු පර්‌යේෂණයෙන් මට අදටත් හිතෙන්නෙ වැඩියෙන්ම සතුටු වුණු කෙනා තමයි අපවත් වී වදාළ අපේ පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ අලින්ට හරි ආදරෙයි. උන්වහන්සේට අවශ්‍ය වුණා, මේ නවම් පෙරහරට එන අලි ඇතුන් හොඳින් බලාගන්න ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. ඊට අදාළව තමයි මේ පර්‌යේෂණය කිරීම අරමුණු වුණේ.

අලි ඇතුන් ගැන පර්‌යේෂණ කරද්දි ඔබට කවදාවත් ගැටලු‍වක් හානියක් වෙන්න ගිය අවස්ථා තිබුණේ නැද්ද?

නෑ කවදාවත් එහෙම වුණේ නෑ. මොකද අලියාගේ අයිතිකාරයන්ගෙන් සහ බලාගන්න කෙනාගෙන් ලැබුණු සහයෝගය නිසා මම ඒ අය ගැන හරි අවබෝධයෙන් තමයි මේ පර්‌යේෂණය කළේ. හීලෑ අලින් පර්‌යේෂණය සඳහා යොදා ගත්තත් ඒ හීලෑ අලි ගැන අනාවරණය කරගත්ත පර්‌යේෂණ දත්ත සමස්ත අලියන්ට අදාළ වෙන තැන් හුඟක් වැඩියි.

මහාචාර්යතුමනි, අලියන් වගේම වවුලන් ඔබේ පර්‌යේෂණ මාතෘකාවක් බවට පත් වෙනවා?

ඔව්... ඒකත් මම හරිම ආසාවෙන් කරපු පර්‌යේෂණයක්. ලංකාවේ ප්‍රධාන වශයෙන් ගත්තම වවුල් ජාති දෙකක් ඉන්නවා. එකක් තමයි ගස්වල ජීවත් වන විශාල වවුලන්. අනිත් අය තමයි ගල් ගුහාවල ජීවත් වන පොඩි වවුලන්. මගේ පර්‌යේෂණ මාතෘකාවට අදාළ වුණේ ගල් ගුහාවල ජීවත් වන පොඩි වවුලන්. වවුල්පනේ ප්‍රදේශයේ වගේම ගලිගමුවෙත් වවුලන් ජීවත් වන විශාල ගල් ගුහාවක් මගේ පර්‌යේෂණයට අදාළ වුණා. ඒ ගල් ගුහා අස්සේ පැටවු සිය ගණනක් හිටියත් වවුල් අම්මට පුළුවන්කමක් තියෙනවා හරියටම තමන්ගේ පැටියව අඳුරගන්න. ඒක කරන්නේ ශබ්ද තරංග ඔස්සේ. ඇත්තටම ඒ හඳුනා ගැනීම හරි පුදුමයි. වවුලෙක් වුණත් ඒ අම්මා කෙනෙක් නේද කියන එක පර්‌යේෂණයේදී මටම හිතුණා. මොකද වවුලන්ට ඇස් පේන්නෙ නැහැ. නමුත් එයාට එක ක්ෂණයකින් පැටවුන් සිය ගණනක් අතරේ තමන්ගේ පැටියව නිවැරදිව තෝරලා හඳුනාගන්න පුළුවන්. මම හිතන්නේ ඒ දාරක බැඳීමක්, මාතෘ සෙනෙහස ගැන හුඟාක් දේවල් මට කියලා දුන්න තැනක්.
1948 සැප්තැම්බර් 20 වැනි දින උපන් මහාචාර්යවරයා තම ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ, එනම් අවුරුදු හතළිස් ගණනක් වැය කළේ විශ්වවිද්‍යාලයේ දරුවන්ට තමාගේ සාර සිප් නැණ බෙදා දීමට සහ පර්‌යේෂණ මාතෘකා දියත් කරමින් පර්‌යේෂණ ක්ෂේත්‍රයේ නියැලීමටය. ඒ පර්‌යේෂණාත්මක දැනුම් සම්භාරය ශාස්ත්‍රීය සඟරා ඔස්සේ ජනගත කරමින් සහ දරුවන් පර්‌යේෂණ සඳහා යොමු කරන පර්යේෂකයෙක් ලෙස මඟපෙන්වීම් ලබා දීමටය.

යුරෝපීය රටකට ගොස් යුරෝපීය විශ්වවිද්‍යාලයක මහාචාර්ය පදවි හොබවමින් සාරසුභාවට ජීවිතය සරිකර ගන්නට අවස්ථා කොතෙක් ලැබුණද ඔහු හැමදාමත් වෙහෙසුණේ තමන් නොමිලේ අධ්‍යාපනය ලද රටේ දරුවන්ට තමාගේ සිප් සාර බෙදා දීමටය. එවන් උතුම් මිනිසුන් සහ උතුම් වියතුන් විරල සමාජයක මහාචාර්ය රත්නසූරිය යනු සැබැවින්ම සොඳුරු ගුරු ගීතයක් යැයි මා පෙරවදන් තැබුවේ ඒ නිසාමය. තවද මහාචාර්යවරයා කිසි දිනක තම පර්‌යේෂණ පත්‍රිකා මිල කරමින් ඒ වෙනුවෙන් ඩොලර් හෝ රුපියල් ඉපයුවේ නැත. ඉඳින් ඔහු හදවත වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශාස්ත්‍රිය වූ බව කියන්නට මට තවත් සංනිදර්ශන කුමකට? තම පර්‌යේෂණ ජීවිතය සහ පර්‌යේෂණ දිශානතින් උදෙසා ජනාධිපති සම්මාන ඇතුළු විවිධ ප්‍රශංසනීය සම්මාන ඔස්සේ සම්මානනීය වූ මේ මහාචාර්යවරයා අද නිස්කාංසු සුවයෙන් කල් ගෙවන්නේ ඒ අතීත මතක සමුදාය අතරෙහි නිරන්තරයෙන් සැරිසරමින් යැයි මට සිතේ.

මහාචාර්යතුමනි, පර්‌යේෂණ සිදුකිරීම කවදාවත් වෙහෙසක් මහන්සියක් විදිහට දැනිලා නැද්ද?

නැහැ කවදාවත් දැනිලා නැහැ. මම පර්‌යේෂණවලට යොමු කරපු දරුවන් ඒ පර්‌යේෂණ ක්ෂේත්‍ර ඔස්සේ ආචාර්ය උපාධි ලබා ගනිද්දී මම ඇත්තටම සතුටු වුණේ, ඒ දරුවන් පර්‌යේෂණ සඳහා යොමු කරපු පර්යේෂකයා විදිහටවත් ගුරුවරයෙක් විදිහටවත් නෙවෙයි. ඇත්තටම තමන්ගෙ දරුවන් ජීවිතය හොයාගෙන යද්දී තාත්තා කෙනෙක් ලබන සතුට හා සමාන සතුටක් විඳිමින්. අදටත් පර්‌යේෂණ ක්ෂේත්‍ර තුළ සැරිසරපු ඒ කාලය මට මිහිරිම මතකයක්. නිවසේ වැටීම නිසා ඇතිවූ යම් ආබාධිත තත්ත්වයක් නිසා මම අද ගෙදරටම වෙලා කල් ගෙව්වත් අද මට නිස්කලංක මානසිකත්වයකින් ඉන්න එදා ඒ අතීතය ලොකු උදව්වක් වෙලා තියෙනවා. මට මගේ පුතත් මේ පර්‌යේෂණවලදී ගොඩාක් උදව් කරපු කෙනෙක්. ඇත්තටම මම හරි වාසනාවන්තයි මේ වගේ දරුවො දෙන්නෙක් සහ බිරිඳක් ලැබීමට. ඒ වගේම ආදරණීය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් සහ පවුලක් ලැබීමට. මට මගේ රටේ ජීවත් වෙමින් විශ්වවිද්‍යාල තුළ ගත කරපු ජීවිතය ගැන තියෙන්නේ විශාල ආත්ම තෘප්තියක්. ලංකාවේ මහාචාර්යවරු කිහිප දෙනෙක් ඉන්නවා, ආචාර්ය උපාධියෙන් පසුත් හිමිවන සම්මානනීය වටිනාකමක් අධ්‍යාපනික වශයෙන් හිමිකර ගත්ත. ආචාර්ය උපාධියෙන් එහාට ලබන්න වටිනාකමක් නෑ කියලා ගොඩක් අය හිතුවට එය විශේෂිත පිරිනැමීමක්. මම එම තත්ත්වය ලබපු මහාචාර්යවරයෙක්. ජීවිතයේ වටිනාම දේ තමයි සතුට. අපි සියල්ල කරන්නෙ සහ සියලු‍ දෙනා ප්‍රාර්ථනා කරන්නේ සතුට. මම මගේ ජීවිතේ මගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ මගේ පර්‌යේෂණ ඔස්සේ සතුට, ආත්ම තෘප්තිය උපරිමයෙන් ලබපු මහාචාර්යවරයෙක්. අවුරුදු 65 දී විශ්‍රාම ගියත් එතැනින් පසුත් මම මගේ දැනුම නොයෙක් ආකාරයෙන් විශ්වවිද්‍යාල දරුවන්ට බෙදා දී තිබෙනවා.

තම විසල් දැනුම ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයට පමණක් සීමා නොකර පර්‌යේෂණ පත්‍රිකා ඔස්සේ ඒ දැනුම විශ්වීය සම්පතක් බවට පත් කිරීමට තරම් ගැඹුරු පරිචයක් ලද මහාචාර්යවරයාට ස්තුතියි කීම පමණක් සෑහේ යැයි මට නොසිතේ. ප්‍රේමණීය භක්තියකින් දුලබ ගුරු ගීතයක් වන් මේ මහාචාර්යවරයාට නැවතත් මා උත්තමාචාරයේත් කෘතවේදීත්වයේත් මල් කළඹක් පිරිනමන්නේ එහෙයින්මය.

• සංජීවිකා සමරතුංග
සේයාරුව - ජයමාල් චන්ද්‍රසිරි